නිව්යෝර්ක් ගිය අපේ ජනපති සහ නිව්යෝර්ක් ගිය ප්‍රංශ ජනපති – විශ්වමිත්‍ර දේශබන්දු ලියයි

(26.09.2017 – 17:50 +0530 – lankaenews.com)

ශ්‍රී ලංකාවේ නායකයන් කෙතරම් දුරට ලෝක නායකයන්ගෙන් ඉගනගන්නේ දැයි පෙනෙන්නට නැත.

අපේ නායකයන් (බොහෝ විට සිය පවුල් ද සමග) විදේශ සංචාරවලට යති, එති. එක්සත් ජාතීන් ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධනවල සමුලුවලට යති, එති. ලෝක නායකයන් මුණ ගැසෙති. එහෙත් එම රටවලින්, එම නායකයන්ගෙන් උගත හැකි යමක් තිබේ දැයි නොසිතති.

එසේ සිතුවා නම් ශ්‍රී ලංකාව අද එකම තැන කරකැවෙන සෙක්කුවක් බවට, එකම මඩ ගොහොරක් බවට පත් වන්නේ නැත.

එහෙත් යහපාලන ආණ්ඩුවේ නායකයනට එසේ ක්‍රියා කිරීමට ඉඩක් නැත. මන්ද, ඔවුන් බලයට පැමිණියේ පක්ෂයක් රජ කරන්නට නොවන නිසාය. ජනතාව ඔවුනට ජනවරමක් දෙන ලද්දේ නිශ්චිත ජාතික න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියා කිරීම වෙනුවෙන් නිසාය. දින 100 වැඩපිවෙලින් ප්‍රකාශයට පත් වුනු එම නිශ්චිත න්‍යාය පත්‍රය ඡන්ද දෙකක දී ජනතාව විසින් අනුමත කර ඇත. (නමුත් අද ඊට වඩා පක්ෂයක් රජ කරවීමේ අරමුණ ඉස්මත්තට පැමිණ ඇත.)

රටේ හෙට දවස ගැන සිතන කළා කරුවන්, උගතුන් ප්‍රමුඛ සිවිල් සමාජයේ අප්‍රතිහත කැපකිරීම් හා 62 ලක්ෂයක් ජනතාවගේ ඡන්දය විසින් අනුමත කෙරුණු මෙම වැඩපිළිවෙල රටේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සඳහා වූ වැඩපිළිවෙලකි. වර්ගවාදය, ජාතිකවාදය වැනි මානසික කොටු පවුරු බිඳ දමන වැඩපිළිවෙලකි. අවනීතිය සහ අශීලාචාර කම පිටු දැක, පුද්ගලයා හෝ තරාතිරම නොතකා නීතියේ ආධිපත්‍යයය තහවුරු කෙරෙන වැඩපිළිවෙලකි. ලෝකය විසින් පිටු දැක ඇති යල් පැනගිය සංවෘත ආර්ථික ප්‍රතිපත්ති කුණු කුඩයට දමා, සියල්ලන්ට පුළුල් අධ්‍යාපන අවස්ථා, ආර්ථික අවස්ථා සහ රැකියා අවස්ථා උත්පාදනය කළ හැකි සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් වැඩපිළිවෙලකි.

එබැවින්, යහපාලන ආණ්ඩුව පීලි නොපැන එම වැඩපිළිවෙල තුළ තරයේ පිහිටා කටයුතු කළ යුතුව තිබේ.

එහෙත් රට මෙම න්‍යාය පත්‍රය තුළ ඇති අභියෝගයත් එය විනාශ කිරීමට සිය පූර්ණ බලය යොදා තවමත් ක්‍රියා කරමින් සිටින ජාතියේ සතුරන් ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලත් සැලකිල්ලට ගෙන මෙවැනි තත්වයකට මුහුණ දිය හැක්කේ කෙසේදැයි යහපාලන නායකයන් අධ්‍යයනය කළ යුතුව තිබේ. අවශ්‍ය නම් ජාත්‍යන්තර ආදර්ශ අපට ලබා ගත හැකිය.

අපේ අය නයගරා යද්දී මැක්‍රෝන් සීඑන්එන් බලා ගියේ ය

ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුවට සමාන න්‍යාය පත්‍රයක් සහිතව බලයට පැමිණි නායකයෙකි, ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන්.

ඔහු ජනාධිපතිවරණට තරග කළේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක්‌ නොමැතිවය. ඔහුට තරග කරන්නට සිදු වූයේ වර්ගවාදය පාදක කරගත් ප්‍රංශ ජාතිකවාදී ප්‍රබල සාම්ප්‍රදායික අපේක්ක්ෂිකා මාරීන් ලෙ පෙන්ට එරෙහිවය. ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ, ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සේම ලෙ පෙන් ද අන්ත දක්ෂිනාංශික අන්ත ජාතිවාදී සටන් පාඨ ඉදිරිපත් කරමින් මැතිවරණයට ඉදිරිපත් වී සිටියාය. යුරෝපීය සංගමයෙන් ඉවත් වීම, ප්‍රංශ ජාතිකත්වය යලි තහවුරු කිරීම සහ සරණාගත විරෝධය ඇගේ සටන් පාඨ අතර විය. ඊට එරෙහිව මැක්‍රෝන් තරග කළේ රට තුළ ඇති විවිධත්වය තුළ රට සංවර්ධනය කිරීම අරමුණු කරගත් සමාජ, ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමිනි.

ඓතිහාසික තීන්දුවක් දුන් ප්‍රංශ ජනතාව ජාතිකවාදී අන්ත දක්ෂිනාංශිකයත් එරට සාම්ප්‍රදායික වමත් යන දෙකම මුළුමනින් ම ප්‍රතික්ෂේප කර මැක්‍රෝන් ජනාධිපති ලෙස තෝරා ගත්හ.

දැන් ජනතාව විසින් අනුමත කරන ලද සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සැරසෙන එම්මෑනුවෙල් මැක්‍රෝන්ට සාම්ප්‍රදායික දේශපාලන විපක්ෂයෙන් ප්‍රතිරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ. මේ නිසා ඔහු සිය වැඩපිළිවෙල අකුලා ගනීවිද? නැතහොත් ප්‍රමාද කරාවිද? ඔහු ජනතා සතුරන් ගේ ප්‍රතිරෝධ වලට මුහුණ දෙන්නේ සතුරන් සමග සන්ධාන ගත වීමෙන් ද? සතුරන් සමග අත යට ඩීල් දමා ගැනීමෙන්ද ?

ජනාධිපති මැක්‍රෝන් සිය දර්ශනයත් රටේ විරුද්ධ පාර්ශවයෙන් එල්ල වන ප්‍රතිරෝධයට මුහුණ දෙන ආකාරයත් ඉකුත් දා එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි අවස්ථාවේ විස්තර කළේය. අපේ අය නයගරා බලන්න යද්දී මැක්‍රෝන් CNN වෙත ගියේ ය. ඔහු මෙම අදහස් පල කළේ CNN ප්‍රවෘත්ති ජාලයේ “අමන්පෝ” නමැති ජනප්‍රිය ජාත්‍යන්තර දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි. එහි සම්පාදක ක්‍රිස්ටියාන් අමන්පෝර් ඇසූ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දෙමින් ඔහු සිය දැක්ම හා වැඩපිළිවෙල ඉදිරිපත් කළේය.

ගෝලීයකරන විරෝධී සහ අන්ත ජාතිකවාදී විරුද්ධව දේශපාලන පක්ෂයක් හෝ නොමැතිව මැක්‍රෝන් ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය ජයගනු ඇතැයි ඔහු විශ්වාස කළේ කෙසේදැයි ක්‍රිස්ටියාන් අමන්පෝර්, මැක්‍රෝන්ගෙන් විමසුවාය.

‘‘මොකද, මම දන්නවා ඔවුන් ගේ වැඩපිළිවෙලේ අවසන් ප්‍රතිඵලය යුද්ධය කියලා’’ මැක්‍රෝන් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය. ‘‘ජාතිකවාදය කතා කරන්නේ යුද්ධය ගැන. අවුරුදු 80 කට පෙර මෙය අපි යුරෝපයේ අත්දැක්කා. ඉතින් කවුරු හරි විශ්වාස කරනවා නම් මේ නැඹුරුව වෙනස් කරන්නට කිසියම් දෙයක් නැත කියලා, එහෙම නම් අපට සිදුවෙනවා ගෝලීය කරන විරෝධය, අන්ත ජාතිවාදය, ආරක්ෂණවාදය වැනි දේ පිළිගන්නට. මේ සියල්ල කතා කරන්නේ එකිනෙකා අතර සටන් කිරීම ගැන. ගැටුම් ඇති කරගැනීම ගැන. මේ සියල්ලේ අවසානය යුද්ධය.’’

මේ නිසා ජනප්‍රිය මත වාදය වෙනුවට සත්‍යයට මුහුණ දෙමින් උඩුගම් බලා පිහිනන්නට තමා තීරණය කළ බවත්, ජනතාව එය පිළිගත් බවත් ඔහු විස්තර කළේය.

ජනප්‍රිය වාදයට එරෙහි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර උඩහට පීනා ජයගත් යහපාලන නායකයන්ට නොවැටහෙන, නොහොත් ඔවුන් අමතක කර ඇති යතාර්ථය මෙයයි.

2015 ට කලින් ශ්‍රී ලංකාව ද අන්තවාදයේ, ජාතිකවාදයේ, කොදෙව් වාදයේ ගින්නෙන් දැවෙමින් තිබිණි. යුද්ධය අවසන් කොට තිබුනත් මෙම ජාතිවාදය කර පින්නාගත් දේශපාලකයන් සේ ම පණ්ඩිතයන් ද යලිත් ඉල්ලා සිටියේ යුද්ධයයි. මෙම යුදවාදීන් 2015 ජනාධිපතිවරණයට එක් වූයේ ද එම සටන් පාඨ ඔස්සේ මය. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහ දෙමළ දේශපාලන පක්ෂ අතර රට බෙදීමේ ගිවිසුමක් ඇති බවට තිස්ස අත්තනායකද අල්ලාගෙන පට්ට කෙබරයක් ප්‍රචාරය කළේ මේ නිසාය.

එහෙත් රට යලිත් යුද්ධයකට ගෙන යමින් තිබු මෙම ජනප්‍රිය මතවාදය ජනවාරි 8 වැනිදා පහන් වන විට එල්ල වූ දැඩි ‘ජනතා ප්‍රහාරය’ හමුවේ සම්පුර්ණයෙන් ම පාහේ නිහඬ කරනු ලැබිණ. එම මතවාදයට අවසානයේ එල්ලෙන්නට සිදු වූයේ ජනෙල් කූරු වලය. එම මතවාදය ජනෙල් කූරු මතම එල්ලී සිටින්නට ඉඩ දුන්නේ නම්, රට තුල අද හටගෙන තිබෙන මහා අවුල් ජාලය ඇතිවන්නේ නැත.

ඒ වෙනුවට අර කුප්‍රකට ‘සයනයිඩ්’ කතාව කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළේ ඒ යුදවාදී මතවාදයට යලිත් ඔක්සිජන් දී නැගිටුවාලීම ය. එතෙකින් නොනැවතී යහපාලන නායකත්වයත් ඇතැම් දේශපාලකයිනුත් ජනවාරි 8 වැනිදා ජනතාව නිහඬ කල ජාතිවාදී සටන් පාඨ වලටම පණ පොවමින් සිටිති. මේ සියලු දෙනා මැක්‍රෝන්ගේ මේ කතාවට කන් දිය යුතුය : ‘‘මේ සියල්ල කතා කරන්නේ එකිනෙකා අතර සටන් කිරීම ගැන. ගැටුම් ඇති කරගැනීම ගැන. මේ සියල්ලේ අවසානය යුද්ධය.’’

විපක්ෂයේ ප්‍රතිරෝධය ඉදිරියේ ඔබට ඔබගේ පොරොන්දු ඉටු කළ හැකි වනු ඇත්දැයි මෙම වැඩසටහනේ දී ක්‍රිස්ටියානා අමන්පෝර් ජනාධිපති මැක්‍රෝන් ගෙන් විමසුවාය.

‘‘ඔව්. මම ඉටුකරනවා.’’ ඔහු ස්ථිරසාරව පිළිතුරු දුන්නේය. ‘‘ඇයි ? මම ඉතා පැහැදිලිව මගේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළා. මේ ප්‍රතිසංස්කරණ මතයි ජනතාව මා තෝරා පත්කර ගත්තේ.’’

දේශපාලන ප්‍රාග්ධනය

ජනතාවගෙන් ලද මෙම ජනවරම මැක්‍රෝන් හැඳින්වූයේ ‘දේශපාලන ප්‍රාග් ධනයක්’ ලෙසය. මේ ප්‍රාග් ධනය ආයෝජනය කර රටේ ප්‍රතිසංස්කරණ සිදුකරන බව ඔහු කියා සිටියේය. තම පෞද්ගලික අපේක්ෂා නොව රටක හෙට දිනය ගැන සිහින දකින නායකයන් දේශපාලන ප්‍රාග් ධනය ආයෝජනය කරන්නේ එසේය.

ශ්‍රී ලංකාවේ යහපාලන ජනාධිපතිවරයා ස්වකීය ‘දේශපාලන ප්‍රාග්ධනය’ වන තමන්ට චන්දය ප්‍රකාශ කළ ජනතාවත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජයත් වසර දෙකක් තුල කැත විදිහට පාවා දී තිබේ. ඒ වෙනුවට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දශකයක් පුරා රට විනාශ මුඛයට ගෙන ගිය දේශපාලකයන් හා ඔවුන් ගේ දැක්ම වැළඳ ගනිමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් තිබේ. ඔහු කියන්නේ තම පක්ෂයේ අනාගත ජයග්‍රහණ වෙනුවෙන් එසේ කිරීමට සිදුවන බවයි. මෙය කෙතරම් දුර දිග ගොස් ද යත් ඔහුගේ පක්ෂය අද විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් තබා ගත යුතුය යන ස්ථාවරයට පවා පැමිණ තිබේ.

යහපාලන ජනාධිපතිවරයා තම කුහක පිළිවෙත අතහැර, බොහෝ අපේක්ෂා භංගත්වයට පත්ව සිටින නමුත් තවමත් බලාපොරොත්තු දල්වා ගෙන සිටින සිය ‘දේශපාලන ප්‍රාග්ධනය’ වෙත යලි හැරිය යුතුය. රටේ හෙට දවස වෙනුවෙන් එම ප්‍රාග්ධනය නිසි ලෙස හා ප්‍රඥාවන්තව ආයෝජනය කළ යුතුය.

ක්‍රිස්ටියානා අමන්පෝර් විමසූ ඊ ළඟ ප්‍රශ්නය ද ශ්‍රී ලංකාවේ සන්දර්භයට ඉතා අදාළ හා වැදගත් වෙයි.

ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් ආරම්භ කරන්නට යන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව විරෝධතා එල්ල වෙමින් නොතිබෙන්නේ දැයි ඇය විමසුවාය.

‘‘විරෝධයක් එල්ල වෙනවා. ප්‍රතිරෝධයට මුහුණ දෙනවා. මේ ප්‍රතිසංස්කරණ වලින් නොසතුටට පත්වන පිරිසක් ඉන්නවා. ඒකට කමක් නැහැ. එහෙත් මේ ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ ඉදිරියට යනවා. මේ විරෝධතා, මේ පෙළපාලි හුඟ කල් තිබේවිද නැද්ද මම දන්නේ නැහැ. හැබැයි මම එකක් දන්නවා. මම ප්‍රජාතන්ත්‍රවාදියෙක්. විරෝධතා පවත්වන අයට මම ගරු කරනවා. හැබැයි මම ප්‍රංශ ඡන්ද දායකයාට ඊට වඩා ගෞරව කරනවා. ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේ වෙනසක් වෙනුවෙන්. ඒ වෙනස ඇති කළ යුතුව තිබෙනවා’’ මැක්‍රෝන් පිළිතුරු වශයෙන් කියා සිටියේය.

නායකයකු ගේ ප්‍රධාන නායකත්ව ලක්ෂණයක් වන්නේ අධිෂ්ඨාන පූර්වක බවයි. නොසැලෙන ගතියයි. කවර බාධක මතු වූවත් සිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ ශක්තිය හා හැකියාවයි. මැක්‍රෝන් මෙම ප්‍රකාශයෙන් තහවුරු කරන්නේ ඔහු තුළ වන එම ශක්තියයි.

ජනවාරි 8 වැනිදා පෙරළියෙන් ජනතාව අපේක්ෂා කළ ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීම සඳහා යහපාලන ආණ්ඩුවේ නායකත්වයද මෙලෙස ක්‍රියා කළ යුතුව තිබේ. රටක ඉදිරියක් වෙනුවෙන් කරන ප්‍රතිසංස්කරණ ‘නාකි බල්ලන් මීගමු ගාටන්නා සේ’ කළ නොහැකිය. එක්සත් ජාතීන්ගේ සමුළුවට ද ගොස් ‘‘මට සෙමින් වැඩ කරන්න දෙන්නැයි’’ කීම විහිළුවකි. දින 100 වැඩපිළිවෙල මේ වන විට දින 970 කටත් වැඩියෙන් ඇදී ගොස් තිබේ. උදා වන දිනෙන් දින රටේ හෙට දිනයේ සතුරන් රට, සමාජය, ආර්ථිකය සහ දේශපාලනය අවුලෙන් අවුලට පත්කරමින් සිටින්නේ නායකත්වය අධිෂ්ඨාන පූර්වක බවින් තොර වීම නිසාය. නායකත්වය තුළ පැහැදිලි දැක්මක් නොමැති බව පෙනෙන්නට ඇති නිසාය.

විරුද්ධවාදීනට මුහුණ දී සිය වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට තමා ගන්නා උපක්‍රමය ද එම්මෑනුවෙල් මැක්‍රෝන් විස්තර කළේය.

‘‘වඩා වැදගත් වන්නේ තමා ඉදිරිපත් කළ වැඩපිළිවෙල ඉටු කිරීමයි. ඒ ගැන ජනතාවට විස්තර කිරීමයි. යළි යළිත් විස්තර කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකලොත් සාධාරණ ක්‍රමයක් ඇති වන්නේ නැහැ….’’

හඬවල් දෙකකින් නොව එකහඬකින් සංවාදයක්

ජනතාව සමග සංවාදයක නිරත වෙමින් ස්වකීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවේය.

ජනවාරි 8 ජනමතය ඉටු කිරීමට යහපාලන ආණ්ඩුවට බාධා කරන බලවේග දෙකක් තිබේ. එකක් ‘මළ බද්ධ විපක්ෂය’යි. මේ ‘බද්ධයේ’ ඩ්‍රැක්‍යුලා රජවරුන්, කුමාරවරුන් සහ උන් ගේ සගයෝ වනචර මිනීමරු දශකය පුරා මහ දවල් ජාතික දේහයේ සම්පත් නමැති රුධිරය සිත් සේ උරා බොමින් සිටියහ. ජාතිය මිය යමින් පැවතිනි. යහපාලන ආණ්ඩුව යම් තරමකින් හෝ ජාතිය ගොඩ ගනිමින් සිටින විට දැන් උන්ගේ උත්සාහය යළිත් පණ ලබා පරණ ඩ්‍රැක්‍යුලා රස්සාවට අවතීර්ණ වීම ය.

දෙවැනි බලවේගය මෙම ඩ්‍රැක්‍යුලා වරුන්ගෙන් යැපුණු ජඩමාධ්‍ය සමූහයයි. සිය පැවැත්ම සඳහා සිය ස්වාමී වරුන් යළි බලයට ගෙන ඒමට ඔවුනට අවශ්‍යව තිබේ. මේ නිසා යහපාලන ආණ්ඩුවේ කිසිදු ක්‍රියා මාර්ගයකට නිසි ප්‍රචාරයක් ලබා නොදීමත් ඒවාට දැඩි සේ පහර දීමත් පමණක් ඔවුන් ගේ ‘එදා වේල’ බවට පත් වී තිබේ.

මෙම වාතාවරණය තුළ යහපාලන ජනාධිපති වරයාත් අගමැති වරයාත් කළ යුත්තේ සිය වැඩසටහන් පිළිබඳව ඍජුව ජනතාව සමග සංවාදයකට පිවිසීම නමුත් ඔවුන් කරන්නේ තම තමන්ට හිතවත් මාධ්‍ය යොදා ගෙන දෙපාර්ශවයට මඩ ගසා ගැනීමයි. ඉන් ඉදිරියෙන්ම ඉන්නේ ජනාධිපතිවරයා ය. ජනමාධ්‍ය මගින් සිය පණිවිඩය ජනතාව අතරට ගෙන නොයන්නේ නම් ඔවුන් තමන්ගේම වූ වැඩසටහන් මගින් ජනතාව දැනුම්වත් කරමින් ඔවුන් එම සංවාදයට සම්බන්ධ කරගන්නා ක්‍රියාමාර්ගයකට යොමු විය යුතුය. මේ වන විට පාර්ලිමේන්තු කතා සහ ප්‍රවෘත්ති සාකච්ඡා ජනතාව අතරට නොයන අසාර්ථක සන්නිවේදන ක්‍රම බවට පත් වී තිබේ. එබැවින් වඩා නිර්මාණශීලීව ජනතාවට කරුණු පහදා දී ඔවුන් ප්‍රතිසංස්කරනවලට සම්බන්ධ කරගන්නා සංවාදයක් ඇතිකර ගත යුතුය.

මෙම සංවාදයට පෙර ස්වකීය වැඩපිළිවෙල ගැන ජනාධිපති වරයාත් අගමැති වරයාත් අතර ද සංවාදයක් ඇතිවිය යුතු බව ඒ දෙදෙනාට නැතත් යහපාලන ආණ්ඩුවේ ‘දේශපාලන ප්‍රාග්ධනය’ වූ ජනතාවට වැටහී තිබේ. ඇත්තෙන් ම මෙය අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ අපවත් වීමට පෙර කළ ඉල්ලීමක් ද වී තිබිණි. 2014 මේ සමය වන විට මෙම නායකයන් දෙදෙනා සංවාදයෙන් සහයෝගයෙන් වැඩ කළේ කෙසේ ද එම තත්ත්වය යළි ඇතිවිය යුතුව තිබේ. ඒ සංවාදය අනුව ඔවුන් ජනතාව වෙත යා යුත්තේ ‘හඬවල් දෙකකින්’ නොව ‘එක් හඬකිනි.’ ජනවාරි 8 පෙරලිය සිදු කළ ව්‍යාපාරය තුල තිබු මෙම වැටහීමට බාධා වීමට ඉඩ නොතැබිය යුතුය. ජනතාව සමග සංවාදයක් ඇති කරගත හැක්කේ එවිටය.

මේ සඳහා පළමු අඩිය තැබිය යුතු රාජ්‍ය නායකයා වූ ජනාධිපතිවරයා එම අඩිය තියනවා වෙනුවට තම සුරතලුන් ලවා මුළු වැර යොදා අගමැතිගේ පාර්ශවයට පහර දීම බලා සිටින්නට නොහැකි තරම් අපුලය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අතුරු වාර්තාව ගැන කරුණු පැහැදිලි කරමින් කළ දේශනයකදී දී කළ ප්‍රකාශය ජනතාවට වඩා වැදගත් වන්නේ යහපාලන නායකත්වයට ය. එය මඳක් වෙනස් කළ හොත් මෙසේය :

‘‘මේ ලැබී තිබෙන්නේ අන්තිම කැච් එකය. යහපාලන නායකයන් (ජනාධිපති සහ අගමැති) එම කැච් එක අත හැරියොත් රට පරාදය.’’

– විශ්වමිත්‍ර දේශබන්දු

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *