‘‘බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් 9 ක් අද මාරු කළා : සීඅයිඩියෙන් පරීක්ෂණ කරනවා : මං කාගෙවත් අනියම් පෙම්වතෙක් නොවේ..!’’ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි

(26.09.2017 – 14:00 +0530 – lankaenews.com)

දූෂිත ජොස්තරී නිර්මලී තේනුවර පොල් කඩන තැන

බන්ධනාගාර රෝහලේ දූෂිත ජොස්තරී නිර්මලී තේනුවර ඇතුළු වෛද්‍යවරුන් 9 දෙනෙකු වහාම මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද (26) දහවල් අත්සන් තබන ලදැයි සෞඛ සේවා අධ්‍යක්ෂක ප්‍රියන්ත අතපත්තු මහතා ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේය. ‘‘පුදුමයි ඒත් ඇත්තයි..! සෞඛ්‍ය ඇමැති නියෝග කළත් බන්ධනාගාර ‘කළු තානායමේ’ දූෂිත ජොස්තරී යන්නේ නෑ..!’’ යනුවෙන් ලංකා ඊ නිව්ස් පසුගිය 23 වෙනිදා පළ කළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කෙළේය.

ජොස්තර නිර්මලී තේනුවර ගේ දූෂණ ඇතුළු බන්ධනාගාර රෝහලේ සමස්ථ දූෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා විධිමත් පරීක්ෂණයක් කරන ඇමැතිවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලන ලද ලිපිය ද ලියාපදිංචි තැපෑලෙන් යවා ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා පැවසීය.

අද දිනයේ මාරු කිරීම් සිදුකරන වෛද්‍යවරුන් වසර 8-9 බන්ධනාගාර රෝහලේ සේවය කරන ලද අය බවත් ඒ අය අතර එම්බීබීඑස් වෛද්‍යවරු දෙදෙනෙකුද ආර්.එම්.පී. වෛද්‍යවරු 7 දෙනෙකුද වන බවත් අතපත්තු මහතා පැවසීය. ලංකා ඊ නිව්ස් විසින් පෙර ලිපියෙන් ඔහු වෙත එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අතපත්තු මහතා කියා සිටියේ වෛද්‍යවරුන් මාරු කිරීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. එය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සතු කාරියක් බව කී අතපත්තු මහතා තමා බන්ධනාගාර රෝහලට ගොස් ඇත්තේ ද එකම එක වතාවක් බවත් ඒ පසුගිය 19 වෙනිදා බවත් පැවසීය. එමෙන්ම ලංකා ඊ නිව්ස් හි සඳහන් කර තිබූ පරිදි තමා නිර්මලී තේනුවර නමැති වෛද්‍යවරියගේ අනියම් පෙම්වතෙක් නොවන බවද එය නිවැරදි කරන ලෙසද ප්‍රියන්ත අතපත්තු මහතා ඉල්ලා සිටියේ ය.

මේ අතර ලංකා ඊ නිව්ස් වෙත අපූරු සේයාරූ දෙකක් ලැබී තිබේ. සුපිරි සිරකරුවන්ගේ වෘෂණ කෝෂ තැබීමට මෙට්ට අවශ්‍යයය, ඩෙක් ෂූස් දමා දිවීම කළ යුතුය ආදී විකාර රූපී වෛද්‍ය ප්‍රතිකාර නියම කරමින් සුපිරි සිරකරුවන්ට ‘සිර සැප’ දෙන දූෂිත ජොස්තරී නිර්මලී තේනුවර ‘පොල් කඩන’ ස්ථානය හෙවත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන ස්ථානය මෙහි දැක්වෙන සේයාරූ වල දැක්වේ. එය පිහිටා ඇත්තේ පෑලියගොඩ වරාගොඩ පාරේ ය. ගූගල් මැප් හි දැක්වෙන මෙකී සේයාරූ 2015 නොවැම්බරයේ දී ලබා ගත් ඒවා ය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *