රක්‍ෂිත ඉඩම් හඳුනා ගැනීමට ලේසි GPS පහසුකම් ඇති නව අන්තර්ජාල සිතියමක් එළි දැක්වේ

(26.09.2017 – 11:45 +0530 – lankaenews.com)

ශ්‍රී ලංකා රජය සතු විවිධ කාර්යයන් සඳහා වෙන්කළ රක්‍ෂිත ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් සිතියමක් සකස් කර ඇති අතර ආයෝජකයන් ඇතුළුව ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා එය භාවිතා කළ හැකිවන අයුරින් එය නිර්මාණය කර ඇත. ගරු අග්‍රාමාත්‍යතුමා යටතේ තිබෙන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් මෙම සිතියම නිර්මාණය කර ඇත.

මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ආයෝජකයින්ට තම ව්‍යාපෘති ස්ථානගත කිරීමේ දී ඒ ඒ ප්‍රදේශයන්හි පිහිටි රජය සතු රක්‍ෂිත, වනාන්තර, වාරිමාර්ග ආදිය සඳහා වෙන්කරන ලද ඉඩම් ආදිය පිළිබඳව තොරතුරු ලබාගත හැකි නිශ්චිත එක් මුලාශ්‍රයක් නොතිබීම මෙතෙක් පැවැති ප්‍රධාන දුර්වලතාවයකි.

ආයෝජකයින්ට පහසුකම් සපයමින් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ආයෝජන සඳහා දිරිගැන්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර මෙමගින් ආයෝජකයින් ආදී විවිධ පාර්ශවයන්ට තම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ දී ඒ සඳහා ඉතාමත් සුදුසු ප්‍රදේශයන් ඉක්මනින් සහ පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වේ.

මෙම අන්තර්ජාල සිතියම වෙත http://www.survey.gov.lk/nsdi/lis/index_cad.php යන වෙබ් ලිපිනය හරහා සම්බන්ධ විය හැකි අතර මෙම සිතියම පදනම් කරගෙන දෘශ්‍යමානව යම් ස්ථානයක් හඳුනාගැනීම, GPS ක්‍රමය මගින් ස්ථානයන් සෙවීම, යම් ස්ථානයක් හඳුනාගැනීමට හැකිවන සේ ස්ථානයේ නම සිතියමට ඇතුළත් කිරීම ආදී සේවාවන් ලබාගත හැකිය. මෙම අන්තර්ජාල සිතියම වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ආදී රජය සතු එවැනි ඉඩම් පාලනය කිරීමේ බලතල සහිත ආයතනයන් මගින් ලබාදෙන තොරතුරු මත පදනම්ව සකස් කර තිබේ.

(අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ නිල නිවේදනයකි)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *