යකඩ බටයකින් පොල් කඩන්න ගිහින් අඹුසැමි යුවළට විදුලි සැර වැදී මරුට – බේරා ගන්න ගිය පුතාට අසාධ්‍යයි

(03.04.2018 – 06:11 +0530 – sinhala.adaderana.lk)

දඹුල්ල පන්නම්පිටිය කිරලැස්ස ප්‍රදේශයේ ගෙවත්තක බටයක් ආධාරයෙන් පොල් කැඩීමට ගිය අඹුසැමි යුවළක් විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.

ඊයේ (02) රාත්‍රියේ මෙය සිදුව තිබේ.

විදුලිසැර වැදීමෙන් වැටී සිටී මව පියා බේරාගැනීම සඳහා ගිය විසි එක් හැවිරිදි ඔවුන්ගේ පුතෙකු විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටීයි.

මේ තිදෙනා බේරා ගැනීමට ගිය ඔවුන්ගේ වැඩිමහලු දියණිය විදුලිසැර වැදී අනූනවයෙන් බේරී ඇතැයි දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල කිරලැස්ස ප්‍රදේශයේ පදිංචි වී. ජී. පතිරත්න බන්ඩා (57) පියා බී .ජි . කාන්තිලතා (53) මව වන අතර විදුලිසැර වැදීමෙන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනුයේ ප්‍රමෝද් මදුශාන් (21) පුතා යන අයවලුන් වන අතර විදුලිසැර වැදීමෙන් අනූනවයෙන් දිවි ගලවා ගෙන ඇත්තේ එම පවුලේ වැඩිමහලු දියණිය වූ අනෝමා කුමුදුනී (26) යන අය බව පොලීසිය සඳහන් කරයි.

මියගිය පියා නිවස පිටුපස තිබු ඇන්ටනාව සවි කොට තිබූ යකඩ බටයක් උපයෝගී කරගෙන එහි කෙළවරක පිහියක් බැඳ පොල් ගෙඩියක් කඩා ගැනීම සඳහා නිවස ඉදිරිපිට පිහිටි පොල් ගහ ආසන්නයට ගොස් තිබේ.

කුඩා ඇළක වතුර පහරක් ආසන්නයේ සිට ඔහු පොල් ගෙඩිය කැඩීම සඳහා උත්සාහ කරඇත. පොල් ගස අතරින් විදුලි රැහැනක් ඇදී තිබී ඇත. එය නිවසකට විදුලිය ලබාදීම සඳහා ඇද තිබූ කළු පැහැති ආවරණය සහිත විදුලි රැහැනකි. එම කළු පැහැති ආවරණ සහිත විදුලි රැහැන පැටලී පොල් අත්ත අදිනවා සමඟ ආවරණය කැපී ඇතුළත විදුලි ගමන් කරන කම්බිවල ගෑවී තිබේ.

යකඩ බටය දිගේ විදුලිය ගමන් කිරීමත් සමඟ ඔහු එම ස්ථානයේ ඇද වැටී සිටියදී අසල්වාසී කාන්තාවක මෙම පුද්ගලයා වැටී සිටිනු දැක ගෙහිමියන්ට කෑ කෝ ගසා තිබේ.

ඒ අනුව මියගිය අයගේ බිරිඳ වහා දිව ගොස් සිය සැමියා එසවීමට උත්සාහ කිරීමේ දී ඇයට ද විදුලිසැර වැදී ඇති අතර පසුව දියණිය සහ පුතා ද පැමිණ සිය මව පියා බේරාගැනීමට යාමේදී ඔවුන්ටද විදුලිසැර වැදී ඇතැයි අසල්වැසියෝ පවසති.

ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙම පිරිස දඹුල්ල මූලික රෝහලට රැගෙන යන විටත් පියා සහ මව මියගොස් තිබුණු අතර බරපතළ තත්ත්වයේ පසුවූ පුතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ රාත්‍රී 9.30 පමණ වන විටත් එම ස්ථානයේ විදුලිය විසන්ධි වී නොතිබුණු අතර දැඩි අවදානම් තත්ත්වයක පැවතිණි.

මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (3) දින දඹුල්ල රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *