උණ වැළඳී ඇත්නම් ගැබිණි මව්වරුන් රෝහල් ගත කරන්නැයි ඉල්ලයි

(05.04.2018 – 14:20 +0530 – lankadeepa.lk)

ගර්භණී හෝ පසු ප‍්‍රසව සමයේ උණ වැළඳුණු මව්වරු පළමු දිනයේම රෝහල් ගතකරන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යංශය උපදෙස් දෙයි.

එවැනි මව්වරුන් පළමු දිනයේම රෝහල් ගත කරන ලෙස සියලුම වෛද්‍යවරුනට, පුද්ගලික වෛද්‍යවරුන්ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වනවිටත් උපදෙස් නිකුත් කර ඇතැයි එම කාර්යංශය කියයි.

ඩෙංගු සහ ඉන්ෆ්ලූවෙන්සා රෝග වලදී ගර්භණී මව්වරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග‍්‍ර සංකුලතා වලට ලක්විය හැකි බැවින් මෙසේ වහා රෝහල් ගත කරන ලෙස උපදෙස් දුන් බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවැසීය.

ඉන්ෆ්ලූවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ පළමු මාතෘ මරණය පසුගිය සතියේ වාර්තා වූ අතර 2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලූවෙන්සා නිසා ගර්භණී මව්වරු 40 කට පමණ ජිවිත අහිමි වූ බවත් හෙතෙම කියා සිටියේය.

උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප‍්‍රසව මව්වරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මව්වරුනට නිසි ප‍්‍රතිකාර ලබා දිය හැකි බව ද වෛද්‍ය ජයරත්න කියා සිටියේය ෴

***************************************

හැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ – 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්න
(05.04.2018 – nethnews.lk)

ප්‍රමිති සහතිකයලත් මීටරයක් රහිත ත්‍රිරෝද රථවලට කුලීගමන් යාමට ලබන 20 දා සිට අත්හිටුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

දැනට ලංකාවේ ලක්ෂ එකොළහකට වැඩි ප්‍රමානයක් ත්‍රීරෝද රථ ලියාපිදිංචි වී තිබෙන අතර එයින් නම ලක්ෂයක් මගී ප්‍රවාහනය සදහා යොදවා ඇත.

පසුගිය ඔත්තෝබර් මස පළමුවැනිදා පෙර ත්‍රීරෝද රථ වලට මීටර් සවිකර රිසිට් පතක් ලබිදීමට නියමිතව තිබුණද ත්‍රීරෝද රථ සංගම් වලින් කළ ඉල්ලීම් වලට අනුව කාලය දීර්ඝ කළා ෴

***************************************

හඳුනාගත් වැරදි 33 ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි
(05.04.2018 – nethnews.lk)

මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33 ක් සඳහා නව ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ විසින් විවාදය ආරම්භ කරමින් මෙම පැහැදිළි කිරීම් සිදු කළා.

“වැරදි 33 සඳහා නව දඩ අයකිරීම නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පත් කළ කමිටුවේ නිර්දේශ අනුව දඩ මුදල් 33 ක් හඳුන්වා දීමට කටයුතු කළා. බලාපොරොත්තු වන්නේ විනයගරුක රියදුරන් බිහිකිරීමටයි. ජනතාවගේ ජීවිත ආරක්ෂ කිරීමටයි. ඒ අනුව ස්ථානීය දඩය රුපියල් 500 සිට 3,000 ක උපරිමයකට දඩ මුදල නියම කෙරෙනවා. මෝටර් වාහන පනත යටතේ නියෝග යටතේ ත්‍රීවීල් රථය වෙනුවට රෝද හතරේ නව රථයක් හඳුන්වාදීමට කටයුතු කෙරෙන අතර එය රථවාහන නීතියට ඇතුළත් කිරීමට මෙමඟින් සිදු කෙරෙනවා. එමෙන්ම මෙම නව රථය අධිවේගී මාර්ගවලට ඇතුල් කිරීම වළක්වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කෙරෙන බවද ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *