ශ්‍රීලනිප 16 කට එරෙහිව එජාපෙන් විශ්වාසභංග

(05.04.2018 – 18:39 +0530 – lankadeepa.lk)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට් , රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග 16 ක් පාර්ලිමේන්තුවේදී හෙට (06) කථානායකවරයාට බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

අමාත්‍ය ධූර වල වරප්‍රසාද භුක්ති විඳිමින් එම ඇමති වරුන්ට තව දුරටත් රජයේ පාර්ශ්ව කරුවන් ලෙස කටයුතු කරන්නට සදාචාරාත්මක අයිතියක් නොමැති බව කී මන්ත්‍රීවරයා විශ්වාසභංග සඳහා මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අත්සන් කර තිබෙන බවද කීය.

රෑට විජේරාම මාවතේත් උදේට මහගමසේකර මාවතේත් කකුල් තබා ගෙන සිටින පිරිසක් සමඟ තව දුරටත් එකට ආණ්ඩු කරන්නට තමන්ට විශ්වාසයක් නැති හෙයින් මෙම විශ්වාසභංග 16 බාර දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති පිරිසක් ආණ්ඩුවේ තබාගෙන සිටීම සුදුසු නොවන බව විශ්වාසභංගයෙන් අවධාරනය කර ඇතැයිද රහුමාන් මහතා කීය ෴

****************************************

අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4 දෙනෙකු අත්අඩංගුවට
(05.04.2018 – 14:34 +0530 – hirunews.lk/sinhala)

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4 දෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 19 වනදා අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ මාර්තු මස 26 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට අදාළව ඊයේ සවස සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය සහ හෝකන්දර ප්‍රදේශවලදීයි.

ඔවුන් සතුව තිබී වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවියක්, එම උණ්ඩ 12 ක්, මැගසිනයක්, යතුරුපැදියක් සහ ත්‍රී රෝද රථයක්, ආරක්ෂක හිස්වැසුම් 2 ක්, ජැකට් 2 ක්, මන්නා පිහි 3 ක්, පිහි 3 ක් සහ කේරළ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 150 ක් සහ ගංජා ජාවාරමෙන් උපයාගත් රුපියල් 79800 ක මුදලක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 34, 36 සහ 37 වයස්වල පසුවන අතුරුගිරිය, තල්පේ සහ හෝකන්දර ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *