‘ශ‍්‍රීලනිප රනිල් පිල’ සමග වසන්න බෑමයි.. අපි ඉල්ලා අස්වෙනවා..- රනිල්ට විරුද්ද වූ 16 කණ්ඩායම ජනපතිට ලියයි..

(07.04.2018 – 16:40 +0530 – lankacnews.com)

වත්මන් ආණ්ඩුව තුල දරණ තනතුරුවලින් ඉවත් වීමට ඉඩ දෙන ලෙස විශ්වාස භංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් ඇමතිවරුන් පිරිස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව ඉල්ලීම බාර දුන් බවත් ජනාධිපතිවරයාගේ තීරණය මත ඉදිරි කටයුතු කරන බවත් ඇමති එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.

කෙසේ වුවත් ඉදිරියටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල දේශපාලනය කරන බවද එම කණ්ඩායම සදහන් කරයි.

මේ අතර ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රනිල් පිල’ සමග කිසිසේත්ම එකට වැඩ කල නොහැකි යයි ඇමති ටී.බී. ඒකනායක මහතා සදහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++

‘ශ‍්‍රිලනිප රනිල් පිල’ සමග අපිට බෑ.. රනිල් විරෝධී 16 පිලෙන් වෙනම මැයි රැළියක් කොළඹදී.. මෛත‍්‍රී-මහින්දට ආරාධනා.. – TB
(07.04.2018 – 13:20 +0530 – lankacnews.com)

විශ්වාස භංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් කන්ඩායම විසින් එළැඹෙන මැයි මස 07 වැනිදා වෙනම මැයි රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා සදහන් කරන්නේ ‘ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ රනිල් පිල’ සමග තව දුරටත් කටයුතු කල නොහැකි බැවින් රනිල් පිලේ මහ ලේකම්වරුන් වන මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක විසින් සංවිධානය කරන මැයි රැළියට සහභාගී නොවන බවයි.

16 දෙනෙකුගෙන් යුතු තම කණ්ඩායම විසින් වෙමන මැයි රැළියක් කොළඹ විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී පවත්වන බවද ඒකනායක ඇමතිවරයා සදහන් කරයි.

මෙම රැළියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ශ‍්‍රිලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනා කරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය ෴

++++++++++++++++++++++++++++++++

ශ‍්‍රීලනිපයට එරෙහිව එජාප ඇමතිවරුන් කැබිනට් වර්ජනයක…
(07.04.2018 – 15:50 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡන්දය දුන් ශ්‍රී ලංකි නිදහස් පක්‍ෂ ඇමැතින්ට විරුද්දව එක්සත් ජාතික පක්‍ෂය විසින් ප‍්‍රතිචාර දැක්වීමත් සමග කැබිනට් මණ්ඩලය තුළ අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

එජාප ඇමතිවරුන් විසින් දන්වා ඇත්තේ අගමැතිට විරුද්දව ඡන්දය දුන් ඇමතිවරුන් සමඟ කැබිනට් මණ්ඩලයේ කටයුතු කරන්නට සූදානම් නැති බවයි.

අගමැතිට විරුද්දව ඡන්දය දුන් ඇමතිවරුන් ඉදිරි කැබිනට් රැස්වීම් සදහා සහභාගි වන්නේ නම් කැබිනට්ටුව වර්ජනය කරමින් පිටත්ව යන්නේ යයි එජාපෙ ඇමතිවරුන් ගණනාවක් දැනටමත් අගමැතිවරයාට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් ඉක්මන් සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් විශ්වාස භංග ඡන්ද විමසීමට නොපැමිනි ශ්‍රීලනිප මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් එජාපයේ කිසිදු විරෝධයක් නොමැති බවද වාර්තා වේ ෴

++++++++++++++++++++++++++++++++

එජාප යුද්දය යලි ඇවිලෙයි.. අගමැතිකම තියාගෙන පක්‍ෂ නායකම අතහරින්නැයි රනිල්ට දැඩි බලපෑම්..
(07.04.2018 – 15:00 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂයේ පුර්ණ ප‍්‍රතිසංවිධානයට අදාල තීරණය හෙට දිනය වන විට ගැනීමට හැකි වනු ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග කියයි.

විශ්වාස භංගයට පෙර අගමැතිවරයා විසින් වූ පොරොන්දුව අනුව පක්‍ෂයේ සියළු නිලතල අලුත් කිරීම සදහා වන තීරණාත්මක සාකච්චාවන්හි මුල් අදියරයන් මේ දින දෙක තුලදී සිදුවෙයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ රැදී සිටීමේ කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් පක්‍ෂ නායකත්වය වෙනත් සුදුස්සෙකුට ස්ථිරවම පැවරිය යුතු යයි එජාප අති බහුතර පිරිසකගේ අදහස වී ඇති බවද වාර්තා වේ ෴

++++++++++++++++++++++++++++++++

විශ්වාස භංගය පොහොට්ටුවේ වැඩක්.. මාව ගාව ගන්න එපා.. ඡන්ද ප්‍රතිඵලය පේනවා නේද.. – ජනාධිපති අසයි
(07.04.2018 – 14:10 +0530 – lankacnews.com)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාස භංග යෝජනාවට තමාද වගඋත්තරකරුවකු ලෙස හදුන්වන්නට ඇතැම් පාර්ශවයන් උත්සහ ගත්තද තමාගේ කිසිදු සම්බන්ධක් ඒ සඳහා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කොට ඇත.

මාධ්‍ය ප්‍රධානින් කතෘවරුන් කැදවා ප්‍රකාශ කල බව අද ලංකාදීප මුල් පිටුවේ පල කොට ඇත.

මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කලේ පොහොට්ටුව ලකුණ යටතේ අද සිටින පාර්ලිමේන්තුවේ කණ්ඩායමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ කණ්ඩායමක් බව ජනාධිපතිවරයා එම හමුවේ දි ඉතා පැහැදිලිව සඳහන් කල බවත් වාර්තාවේ දැක්වෙයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංග යෝජනාවට සම්බන්ධයෙන් ඇති වු ඡන්ද ප්‍රතිඵලය සියලු දෙනා දැන් දන්නා බවත් ජනාධිපතිවරයා පැවසූ බව එම මාධ්‍ය වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ පොදු විපක්ෂයේ ප්‍රබලයෙක් පැවසුවේ අඩුම වශයෙන් ජනාධිපතිවරයා පොදු විපක්ෂය පොහොට්ටුව පක්ෂය ලෙස පිලිගැනිමත් එක්තරා විදියක දෛවෝපගත සිද්ධියක් බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *