කෝටියක් ගත්ත මන්ත්‍රි කෙනෙක් මට කිව්වා ණය තුරුස් බේරගන්න ඒක උපකාර වුණා කියලා – ඇමති දයාසිරි ජයසේකර මහතා

(08.04.2018 – mawbima.lk)

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය වීම ඒකාබද්ධ විපක්ෂය වගේම ශ්‍රීලනිප පාර්ශ්වයේ භංගවීමක් බව කියැවෙනවා.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීම හා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැඟුණු චෝදනාව පිළිබඳව අප වෙන වෙනම සලකා බැලිය යුතුයි.

පාර්ලිමේන්තුවට මේ විදියටම මීට පෙරත් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ඒවා සාමාන්‍ය කාරණා. නමුත් ඒවාට පසුබිම වුණු චෝදනා පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතුයි.

අප තවමත් ඒ විශ්වාසභංග යෝජනාවට පසුබිම් වුණු චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බැඳුම්කර මගඩියත් එක්ක තමයි මේ විශ්වාසභංගය එළියට එන්නේ. ඒ චෝදනා පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගය දිනූ පමණින් ඉවර වෙන්නේ නැහැ. මහජනතාව අතරට ගියාම ඒ ඇත්ත හොඳින් වටහා ගන්න පුළුවන්.

ඔබ මේ ජයග්‍රහණය අවතක්සේරු කරනවද?
පාර්ලිමේන්තුව ඇතුළේ ඔළුගෙඩි එහෙට මෙහෙට කරලා දිනාගත්තට ජනතාව අතර තවමත් මේ අය පරාදයි. ඇත්ත ඒකයි.

අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය දිනන්නේ වැඩි ඡන්ද 46 කින්. යෝජනාවට පක්ෂව ලැබෙන්නේ 76 යි. ඊට එරෙහිව ඡන්ද 122 යි. මේක සුවිශේෂී ජයග්‍රහණයක් බව ඔබ පිළිගන්නේ නැද්ද?
නැහැ. එදා පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරු 22 ක් ආවේ නැහැ. ආවා නම් මේ තරම් ලොකු ගණනකින් දිනන්න බැහැ. මේ ආවේ නැති පිරිස ඡන්දය පාවිච්චි කළා නම් ඔය තරම් කයිවාරු ගහන්න බැහැ.

ආවේ නැත්තේ ඇයි? ඇවිත් විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න තිබුණනේ. මම හිතන්නේ ඔවුන් මේ විශ්වාසභංගයට විරුද්ධයි.
නැහැ. ඒ අය එන එක බොහොම සූක්ෂ්මව වැළැක්වූවා. එක්සත් ජාතික පක්ෂයේ කොටසක් පවා මේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න හිටියා. ඔවුන්වත් විවිධ තාන්න මාන්න වරප්‍රසාද ලබාදීලා නවත්වා ගත්තා.

විමල් වීරවංශ මන්ත්‍රිතුමා මොණර කොළ ගැන කතා කළා. මුදල් ලබාදී මන්ත්‍රිවරුන්ව ඩැහැගත්ත බව කිව්වා. ඔබත් ඉන්නේ ඒ මතයේද?
සහතිකවම අපිත් ඒ මතයේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ළඟ මුදල් අරගෙන තමන්ගේ මතය වෙනස් කරගත්ත මන්ත්‍රිවරුන්ගේ නම් තිබෙනවා. ලබාගත් මුදල ගැන අප දන්නවා.

ඉතිං ඒ ගැන රටට කියන්නේ නැත්තේ ඇයි?
අවශ්‍ය වෙලාවට කියන්නම්. පැහැදිලිව ඒ සාක්ෂි අප සතුව තිබෙනවා.

ලොකුම ගාණ කීයද?
කෝටි 4-5 වගේ ගණන් ඒ අතර තිබෙනවා. කෝටියක් ගත්ත මන්ත්‍රි කෙනෙක් මට ඒ ගැන කිව්වා. ණය තුරුස් ටිකක් බේරගන්න ඒක උපකාරි වුණා කිව්වා.

කවුද මේ වගේ සල්ලි දෙන්න ඉදිරිපත් වුණ අය. ව්‍යාපාරිකයෝද?
මම දන්නේ නැහැ. නමුත් හොයනවා. සමහර විට බැඳුම්කර කට්ටිය ඉන්නත් පුළුවන්.

ශ්‍රීලනිප පාර්ශ්වය නියෝජනය කරන පිරිසකුත් විශ්වාසභංගය පරදවන්න අනියමාර්ථයෙන් උදවු කළා. ඒ අයත් සල්ලි ගත්තද?
ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපේ අයට ඇමැතිකම් පිළිබඳ ප්‍රශ්න තිබුණා. මේ විශ්වාසභංගයට උදවු කරලා ඇමැතිකම් දරන්නේ කොහොමද කියලා ඔවුන් ප්‍රශ්න කළා. ඒ වගේම විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් යහපත් ස්ථාවරයක සිටිනවා. ඒ ඇමැතිවරු මේ මගඩි අනුමත කරන්නේ නැහැ.

ඔබේ පක්ෂයේ මහ ලේකම්වරයා වගේම එජනිස ප්‍රධාන ලේකම්වරයාත් විශ්වාසභංගයට පක්ෂ වුණේ නැහැ. එදා පාර්ලිමේන්තුවට ආවෙත් නැහැ.
ලේකම්තුමාලා දෙන්නම තමන්ගේ වගකීම මොනවද කියලා කල්පනා කරන්න තිබුණා. මම විශ්වාස කරනවා පක්ෂයක් විදිහට ඉදිරියට යන්න නම් ජනාධිපතිතුමා මේ වෙනුවෙන් යම් තීන්දු තීරණයක් ගනීවි කියලා.

නිශාන්ත මුතුහෙට්ටිගම ඇමැතිතුමා දැඩි ලෙස විශ්වාසභංගයට පක්ෂව පෙනී සිටි කෙනෙක් එතුමාත් එදා නැහැ.
ඔව්…. මම හිතනවා විරුද්ධ වෙලා ඇමැතිකම් දරාගෙන වැඩ කරන්නේ කොහොමද කියලා එතුමාත් කල්පනා කරන්න ඇති කියලා.

අනික ශ්‍රී ලංකා නිදහස් පකෂය විදිහට අපි දුර ගමනක් යනවා නම් මෙන්න මෙවැනි දේ දුරු කරගෙන එකා වගේ ඉස්සරහට යන්න හැකි වැඩ පිළිවෙළක් සොයාගත යුතුයි.

මේ වගේ දේවල් වුණා කියලා අපි වෙන්වෙන්න, ප්‍රශ්න ඇතිකර ගන්න උත්සාහ ගන්නේ නැහැ. මොකද අපි පොහොට්ටුවට යන්නවත්, යූඑන්පීයට යන්නවත් අවශ්‍යතාවක් නැති කණ්ඩායමක්. අපිට ඕන ශ්‍රීලනිපය ශක්තිමත් කරන්නයි.

නමුත් සමහරු යූඑන්පීයට යන්න පිඹුරුපත් සකස් කරන බව ආරංචි වෙනවා.
ඒකට කමක් නැහැ. යන්න ඕන අය යන එක හොඳයි. අපි ඒ අයට සුබ පතනවා. මෙතන අතර මැද ඉඳගෙන ප්‍රශ්න ඇති කරනවට වඩා ඒ අය 2020 දී යූඑන්පීයත් එක්ක යන එක හොඳයි.

අපට හිතෙනවා ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමැතිවරුන් අතරත් යම් පිල් බෙදීමක් වුණා කියලා. ඒක පිළිගන්නේ නැද්ද?
ජනාධිපතිතුමා තමයි අපේ යෂ්ටිය. එතුමා මෙවැනි බෙදීමක් තිබෙනවා නම්, මත ගැටුමක් තියෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයට ගන්න කටයුතු කරයි. අපිට මූණ නොබලා අහක බලාගෙන යන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි මේක. අපි ගිය සතියේ එකට වැඩ කළා. විශ්වාසභංගයත් එක්ක බෙදෙන්න තරම් ප්‍රශ්න අපි අතර නැහැ.

නමුත් යූඑන්පීයත් එක්ක යන්න ඉන්න අය ඒ අයත් එක්කම යන එක නම් හොඳයි. එහෙම කීප දෙනෙක් අප අතර ඉන්නවා.

රාජිත සේනාරත්න ඇමැතිතුමා කියනවා විශ්වාසභංගයට පක්ෂ වුණු ශ්‍රීලනිප ඇමැතිවරුන් දැන් ඉවත් විය යුතුයි කියලා.
රාජිත සේනාරත්න ඇමැතිතුමා කියන විදියට ඉවත් වෙන්න අපි සූදානම් නැහැ. අපිට ඇමැතිකම් දුන්නේ ජනාධිපතිතුමා. එතුමයි අපිට කියන්න ඕන ඉවත් වෙන්න කියලා. එතුමා කිව්වොත් අපි ඉවත් වෙනවා.

අපි ජනාධිපතිතුමා හමුවී කිව්වෙත් ඒ ටිකමයි.

ජනාධිපතිතුමා රජයේ ප්‍රධානියා වුණාට, ඇමැතිවරු හැටියට වැඩ කරන්න වෙන්නේ අග්‍රාමාත්‍යවරයා සමඟ… මෙවැනි ප්‍රශ්න තියාගෙන වැඩ කරන්නේ කොහාමද?

අගමැතිතුමා තමා කැබිනට් මණ්ඩලයේ එක් සමාජිකයකු විතරයි. ජනාධිපතිතුමා තමයි ඇමැතිවරුන්ව පත් කරන්නේ, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදිහට ඉන්නනෙ. අපි වැඩ කරන්නේ ජනාධිපතිතුමා එක්ක.

අපිට අගමැතිවරයා එක්ක වැඩ කරන්න ඕන නැහැ. වැඩ කළත් ප්‍රශ්න නැහැ. අපිට තියෙන්නේ ඔහු කළ එක් කාරණයක් පිළිබඳව තිබෙන ප්‍රශ්න විතරයි.

ඔබතුමන්ලා පින් ඇමැතිවරුද? එවැනි දෝෂාරෝපණ නම් මේ දවස්වල අපට ඇහෙනවා.

ඒක යූඑන්පීය හිතන විදිය. අපි පින් ඇමැතිවරු නෙමෙයි. පිනට මුකුත් අපට ලැබෙන්නේ නැහැ. 2015 යූඑන්පීය ප්‍රමුඛ ජනාධිපතිවරයෙක් පත් කළ එක ඇත්ත. නමුත් ඊට පසුව තිබුණ මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් හදන්න ඔවුන්ට බැරි වුණා. ඒ වෙලාවෙදි තමයි ජනාධිපතිතුමා වගේම අග්‍රාමාත්‍යවරයා තීන්දු කරලා ජාතික ආණ්ඩුවක්, එහෙමත් නැත්නම් සමඟි ආණ්ඩුවක් හදන්න කටයුතු කළේ. අපි ආවේ ඒ ආණ්ඩුවට. එදා යූඑන්පීයට තනි ආණ්ඩුවක් හදන්න බැරිවයි හිටියේ.

සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා කියනවා ජනාධිපතිතුමාට වුවමනා නම් අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැකියි කියලා. ඇයි එතුමා හොඳ නැති අගමැති ඉවත් නොකරන්නේ.
ජනාධිපතිතුමා කලගුණ සැලකීමේ පිළිවෙත නිසා එසේ නොකරනවා ඇති. ඒ වගේම නීතිමය ප්‍රශ්න පිළිබඳවත් ජනාධිපතිතුමා කල්පනා කරනව ඇති.

සාමාන්‍ය ජනතාව හිතන්න පුළුවන් ඔබ ඇතුළු ශ්‍රීල.නි.ප. කණ්ඩායම තවමත් කරන්නේ මහින්ද පාර්ශ්වයේ කොන්ත්‍රාත් කියලා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ළඟ ඉඳගෙන හොඳ මූණ පෙන්නගෙන කරන්නේ ඒකද?
අපි ඉන්නේ ශ්‍රීල.නි.ප.යේ. මහින්ද මහත්තයගේ පොහොට්ටුවේ නෙවෙයි. අනෙක් කාරණය මහින්ද මහත්තයා තවමත් ශ්‍රීල.නි.ප.යේ අනුශාසකවරයෙක්. ඉතින් අපිට එකතු වෙන්න කිසිම බාධාවක් නැහැ. අපට තිබෙන්නේ මතවාදීව තිබෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න නිරාකරණය කරගෙන මෛත්‍රි-මහින්ද මහත්වරු එකතු කරන්න බැරිකමක් නැහැ.

අපි මහින්ද මහත්තයාගේ ඕන එකක් ඉටු කරනවා. කියන ඔය වගේ චෝදනා යූ.එන්.පී.යේ එක කකුලක් තියාගෙන ඉන්න අපේම අයත් කියනවා නමුත් අපිට එහෙම න්‍යාය පත්‍ර නැහැ. අපි කැමැති මෛත්‍රි-මහින්ද ප්‍රමුඛ ප්‍රබල ශ්‍රීල.නි.ප.යක් හදන්නයි.

මෛත්‍රි-මහින්ද මහත්වරු අතර තිබෙන්නේ දේශපාලනයට එහා ගිය ප්‍රශ්නයක්, මත ගැටුමක් බව ඔබට හිතෙන්නේ නැද්ද? එහෙම දෙන්නෙක් එකතු කරන එක පහසු නැහැ.
ප්‍රශ්න ගොඩාක් තියාගෙන වෙන්වෙලා හිටපු නායකයෝ එකට එකතු වෙලා තිබෙනවා. මෛත්‍රි-රනිල් එකතු වේවි කියලා හිතුවද. මෛත්‍රි මහත්තයා ශ්‍රීල.නි.ප මහ ලේකම්වරයා විදියට යූ.එන්.පී.ය තදබල විදියට විවේචනය කළා. නමුත් එකතු වුණා. දේශපාලනයේදී සදාකල් මිතුරෝ වගේම හතුරෝ නැහැනේ.

නමුත් මෛත්‍රි-රනිල් දෙන්නා අතර ප්‍රබල පෞද්ගලික මත ගැටුම් නැහැ.
නැහැ. ඔයිට වඩා ප්‍රශ්න තිබුණ නායකයොත් එකතු වී තිබෙනවා. මෛත්‍රි-මහින්ද දෙන්නත් ඒ වගේ එකතු වී අපේ රජයක් හදයි.

ඒ රජයේ පළිගැනීමකට මෛත්‍රි ජනාධිපතිවරයා ලක් නොවේවිද? සරත් ෆොන්සේකා මහතාට සිදුවූ දේ සිදු නොවේවිද?
අපි එහෙම විශ්වාස කරන්නේ නැහැ. අපේ පක්ෂයේම නායකයෙක් ඒ විදියට අරගෙන යාවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මහින්ද මහත්තයා දැන් ඉස්සරට වඩා පාඩම් ඉගෙනගෙන තිබෙනවා. අනෙක මේ විදියට යහපාලන ආණ්ඩුව වැඩ කළොත් මහින්ද මහත්තයා නැවත බලයට එන එක නවත්වන්නත් බැහැ. පසුගිය ප්‍රතිඵලවලින් ඒ බව පෙනෙන්න තිබෙනවා.

ඒ ප්‍රතිඵල හින්දද විශ්වාසභංගයේදී මහින්ද මහත්තයාගේ පැත්තට නැඹුරු වුණේ. හිතේ තිගැස්ම නේද ඒකට බලපෑවේ?
පසුගිය ඡන්ද ප්‍රතිඵල එක්ක අපේ හිත්වල තැතිගැන්මක් ඇති වුණු බව ඇත්ත. ඒකෙන් අපි පාඩමක් ඉගෙන ගත්තා. ඒත් මේ විශ්වාසභංගයට සහයෝගය දෙන්න ඒක බලපෑවේ නැහැ. ඒකට බලපෑවේ බැඳුම්කර කොමිසම. ඒක පත් කළෙත් ජනාධිපතිතුමා. එතුමා මේ විශ්වාසභංගයේදී අපට හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න අවස්ථාව ලබා දුන්නා. අපි කටයුතු කළේ ඒ විදියටයි.

තමුන්නාන්සේලා නියෝජනය කරන ආණ්ඩුව ඇතුළේ හැමදාම ප්‍රශ්න. ඒ ප්‍රශ්න විසඳගන්න කටයුතු කරනවා මිසක ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බලන්නේ නැද්ද?
ජනතාවට මේ සම්බන්ධව තිබෙන්නේ දැඩි අප්‍රසාදයක්.
අපිටත් මේ රටේ ජනතාව ගැන අප්‍රසාදයක් තිබෙනවා. ඒකට හේතුව මම කියන්නම්.

පසුගිය මැතිවරණවලදී මේ විදියේ ඡන්ද ප්‍රතිඵලයන් ලබාදී රටේ අස්ථාවර බවක් ඇති කළේ මේ රටේ ජනතාවයි. අද ඒ නිසා කොයි තරම් ප්‍රශ්නද?
2015දී ලක්ෂ 62ක් ලබාදී ජනාධිපතිවරයා පත් කළ යූ.එන්.පී.ය ප්‍රමුඛ අයට ස්ථාවර ආණ්ඩුවක් හදන්න බැරි වුණා.

මන්ත්‍රිවරු 95 ක් ගත්ත මහින්ද මහත්තයා ප්‍රමුඛ අයටත් ආණ්ඩුවක් හදන්න බැරි වුණා. ඒක කළේ කවුද? මේ රටේ ජනතාවයි. ඒ අරාජිකත්වය තමයි මේ පෙනෙන්නේ. ඒ නිසා ඊළඟ මැතිවරණයේ මේ වැරැද්ද නිවැරදි කළ යුතුයි.

කැබිනට් මණ්ඩලය වෙනස් කරන බවට ආරංචි පැතිර යනවා.
ඔව්. ජනාධිපතිතුමා ඒ ගැන අපිට කිව්වා. ඉදිරියේදී ඒ වෙනස සිදුවේවි.

යහපාලන රජය දිගටම තිබේවිද?
ඔව්. මේ තිබෙන ප්‍රශ්න හඳුනාගෙන වඩාත් හොඳින් මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන එක ගැන ජනාධිපතිතුමා අප සමඟ කතා කළා.

****************************************

‘ජනාධිතිටවත් කොන්ද නමන්න එපා.. හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මං’ යයි අගමැතිට උපදෙස් දුන් රාජිතගේ රහස් වීඩියෝව ගැන ජනපතිගේ අවධානය..
(07.04.2018 – 09:20 +0530 – lankacnews.com)

‘ජනාධිතිටවත් කොන්ද නමන්න එපා හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මම’ යයි අගමැතිවරයාට තමන් විසින් උපදෙස් දුන්නේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්දයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

කැබිනට් මාධ්‍ය හමුව ආරම්භයට පෙර ඇමති ගයන්ත කරුනාතිලක මහතා සමග සේනාරත්න මහතා විසින් මෙම සාකච්චාව කර ඇති අතර එම අවස්ථාවේ ක‍්‍රියාත්මක පැවති රූපවාහිනී කැමරිවක මෙම සංවාදය පටිගත වි ඇත.

එකසත් ජාතික පක්‍ෂය මෙන්ම එහි යොවුන් පෙරමුණේ ක‍්‍රියාකාරීත්වයද ඇමතිවරයා මෙහිදී දැඩි දෝෂදර්ශණයට ලක් කරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *