ඉන්දීය සාගරයේ මුතු ඇටය අවසන්… ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය’ ලෙස ශ‍්‍රි ලංකාව නම් කරයි..

(09.04.2018 – 22:43 +0530 – lankacnews.com)

දැන් රටේ විදේශ ආයෝජන අතරින් 65%ක්ම තනි පුද්ගල ආයෝජන බවත් බොහෝවිට ඒවා කළු සල්ලි සුදු කරන ආයෝජන බවත් එනිසාම අද ලංකාවට ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය’ (Money Laundering Paradise) : යන නම පටබැඳී අවසන් බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ කපිල ගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය :

“ලබන්නා වූ අවුරුද්ද සමඟ අපට ලැබෙන අවුරුදු තෑගි ගැන අනාවැකි කියන්නයි අද මේ සාකච්ඡාව කැඳවූවේ. අපට මේ ලබන්නේ අබුද්ධස්ස අවුරුද්දක්. මේ අවුරුද්ද ලබන්නේ මීට වසර තුනකට පෙර 7.5% ක තිබූ ආර්ථික වර්ධන වේගය 2.5% ට බැහැපු නැකතක. එහෙම වෙලා තියෙන්නේ ඇයි ? රටක ආයෝජනය කරන විදේශ මූල්‍ය ප්‍රභව කියන්නේ යම් අරමුදල්. හරියට අපේ EPF/ETF වගේ. ඒ අරමුදල් කළමනාකරණය කරන විශ්ලේෂකයින් තමයි තීරණය කරන්නේ මොන රටේ, මොන කොන්දේසි යටතේ ද තමන්ගේ මුදල් ආයෝජනය කරන්නේ කියලා. මීට වසර තුනකට පෙර අපේ රටේ විදේශ ආයෝජන අතුරෙන් සාතිශය බහුතරයක් හෙවත් 70% ක් පමණ මේ වර්ගයේ ආයෝජන. නමුත් මුදල් විශුද්ධිකරණ චෝදනා තියෙන කෙනෙක් රටේ මුදල් ඇමති වුණාාම, රටේ මහ බැංකුව, එහි භාරකාරයා විසින්ම මංකොල්ල කෑවා, කියලා ප්‍රචලිත වුණාම, දේශපාලන අස්ථාවරභාවය පේන්න ගත්තාම, රටේ ආර්ථික ප්‍රතිපත්තිය ගමන් කරන්නේ නුහුරට කියලා දැනුණාම මේ විශ්ලේෂකයින් ලංකාවේ ආයෝජනය කිරීම තාවකාලිකව නතර කරනවා.

දැන් රටේ විදේශ ආයෝජන අතරින් 65% ක්ම තනි පුද්ගල ආයෝජන. බොහෝවිට ඒවා කළු සල්ලි සුදු කරන ආයෝජන. එනිසාම අද ලංකාවට ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය (Money Laundering Paradise) කියන නම පටබැඳිලා ඉවරයි. මේ තත්ත්වය යටතේ රටේ ආර්ථිකය සියයට 2.5% ට බහින එක අරුමයක් නොවේ. ඒ අඩුව පුරවන්න රටේ ජනතාවට බදු ගහන එක අරුමයක් නෙවෙයි.

දැන් රටේ ජනතාව අහන්නේ, ‘මේ අලුත් බදු ගහන්නේ අපට අලුතෙන් මොන සේවාවක් සපයලා ද?’ කියලයි. එහෙමත් නැත්නම් ‘මොන සහනයක් ලබා දෙන්න ද?’ කියලයි. රටේ ජනතාව දන්නවා මේ බදු ගහලා එකතු කරගන්න සල්ලි ඒ අයට ප්‍රතිලාභ ලැබෙන වැඩවලට යොදවන්නේ නැහැ කියලා. ඒ වෙනුවට එක් එක් ඇමතිතුමාට වඩාත් සැපපහසු අලුත් වාහන ගන්නයි මේ බදු ගහන්නේ කියලා රටේ ජනතාව දන්නවා.

ඊයේ තිබුණු බස්නාහිර මහනගර අවුරුදු උත්සවය කවුරු පුම්බන්න ද? කාගේ හීන හැබෑ කරන්න ද? මේක ජනතාවගේ ද ? නැහැ. වෙනදා ගමේ තියන අවුරුදු උත්සව කරන්නවත් මෙදා ඒ මිනිස්සුන්ට හයියක් නැති නිසා ඇමතිතුමා අවුරුදු උත්සවයකුත් තියලා, ඇමතිතුමාම අවුරුදු කුමාරයා වෙලා, ඇමතිතුමාම සැඟවුණු අමුත්තාත් වෙනවා. මොකටද? කවදා හරි දවසක ලිස්සන ගහේ නැගලා කොඩිය කඩා ගන්න තියෙන ජාගර බලාපොරොත්තුව නිසා.

‘අවුරුදු තෑගි දැන්මම පාර්සල් කරලා ඉවරයි’

මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ තමයි මෙවර අවුරුදු ලබන්නේ. මේ අවුරුද්දේ අපට ලැබෙන්න නියමිත අවුරුදු තෑගි දැන්මම පාර්සල් කරලා ඉවරයි. පළමු එක, ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැමති නංගි පෙන්වා රට ෆෙඩරල් කිරීම නමැති අක්කා දීග දෙන’ අවුරුදු තෑග්ග. මේකට පූර්ණ සාදර අනුග්‍රහය ජනතා විමුක්ති පෙරමුණෙන්. දෙවැනි එක, වැඩි වැඩියෙන් මුදල් ඉපයීම මන්දෝත්සාහි කිරීම නැමති අවුරුදු තෑග්ග. මේක ලැබෙන්නේ නව බදු සංශෝධන හරහා. දේශීය ව්‍යාපාරිකයන් වැඩි වැඩියෙන් මුදල් ඉපයීමට උනන්දු කරනවා වෙනුවට මේ හදන්නේ ඔවුන්ට මුදල් ඉපයීම එපා කරවන්න. දැන් වැඩි වැඩියෙන් මුදල් ඉපයීම මේ බදු සංශෝධන යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්. එතකොට ජාතික වශයෙන් ආර්ථිකය ගොඩනැගෙන එක නතර වෙලා විජාතික කොම්පැනිවලට ඒ අවස්ථාව ලැබෙනවා. මොකද ඔවුන්ගෙන් බදු ගන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි ඔවුන්ට බදු සහනත් ලබා දෙනවා. ප්‍රීමා සමාගමට මිලියන 13000 ක්, කිරිපිටි සමාගම්වලට තවත් බිලියන ගණනක් විදියට.

මේ අවුරුද්දේ තවත් අලුත් දීමනාවක් හඳුන්වා දුන්නා. හැබැයි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුට විතරයි. ඒ තමයි නොපැමිණීමේ දීමනාව. වෙනදා පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාවක් ලැබුණා. ඊයේ පෙරේදා 26 දෙනෙකුට ලැබුණේ නොපැමිණීමේ දීමනාවක්. ඒක අර පැමිණීමේ දීමනාව වගේ පොඩි ගාණක් නොවෙයි කියලා අපට ආරංචියි. මේ විදිහට තවත් නහුතයක් අවකෙළි, දාදු ක්‍රීඩා, පාවා දීම්, ගේම් සහ ඩීල් සමග උදා වන මේ අවුරුද්ද කරදරයක් නැතිව ගෙවාගන්න ඔබටත් රටටත් හැකිවේවා, කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක ප්‍රාර්ථනයකින් විතරක් කරන්න බැහැ. ඒ නිසා අන් කවරදාටත් වඩා හොඳින් ඇස් කන් ඇරගෙන ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.’‘

මෙම මාධ්‍ය හමුවට හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී කීර්තිලතා කොතලාවල මහත්මිය ද එක් ව සිටියා ය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *