අවිචාරවත් දේශපාලනඥයන්ගේ හැසිරීම දරුවන්ටත් බලපානවා – කුමාරසිරි හෙට්‌ටිගේ

(10.04.2018 – divaina.com)

පැසුණු බුද්ධියකින් තොර දේශපාලකයන් අතට බලය යැම තරම් භයානක තවත් දෙයක්‌ නැති බවත් එවැනි පරිසරයක දැහැමි සමාජයක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහ දැරීම බරපතළ අභියෝගයක්‌ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ මහතා පැවසීය.

ගුණ දහමින් පිරි දරු පරපුරක්‌ බිහිකර ගැනීම අද වනවිට බරපතළ අභියෝගයක්‌ වී ඇති බව කී ඒ මහතා සමාජයේ බොහෝ ප්‍රශ්න දේශපාලන අදෝනාවලින් වැසී ගොස්‌ රටම අවුල් ජාලාවක්‌ වී ඇති බවත් සඳහන් කළේය.

හෙට්‌ටිගේ මහතා එසේ සඳහන් කළේ පසුගියදා දෙණියාය සුමන ධර්ම දහම් පාසලේ පැවති වාර්ෂික තෑගි සහ සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද කීය ,

“දහම් අධ්‍යාපනයේ වටිනාකම බොහෝ දෙනෙක්‌ කතා කරනවා. දහම් පාසල් පවත්වා ගෙන යැමට සිදුවී තිබෙන්නේ බොහෝ දුෂ්කරතා මැද. අපේ හාමුදුරුවන් වහන්සේලා, ගුරුවරුන් කරන්නේ ලොකු කැප කිරීමක්‌. දරුවන් යහ මඟට ගන්න අද විශාල කැපවීමක්‌ කරන්න සිදුවෙලා. දෙමවුපියන් මේ සඳහා ශක්‌තිය දෙන්න ඕන. දරුවන්ට ගොඩනැඟෙන්න සුදුසු පරිසරයක්‌ තිබිය යුතු සේම. යහපත් අයගේ ඇසුර ද අවශ්‍ය වෙනවා රටේ පරමාදර්ශී චරිත පේන්න තිබෙන්නේ ඉතාම අඩුවෙන්. ජන සමාජයක යහපත් සිතුවිලි මතුවෙන්න ඉහළ තැන්වල හැසිරීම බලපානවා. රටේ දේශපාලන යාන්ත්‍රණය අද විකාරයක්‌. පාලනයක්‌ නැති රටක දේශපාලකයන්ගේ අවිචාරවත් හැසිරීම දරුවන්ටත් බලපානවා. බලය අරන් දේශපාලකයන් පිස්‌සු නටනවා නම් එහි වගකීම ඔවුන්ට ඡන්දය දුන් අය ද භාර ගන්න වෙනවා.

රටේ හැම පැත්තක්‌ම කඩාගෙන වැටීලා. අපේ උතුම් රට අරමුණක්‌ දැක්‌මක්‌ නැති දේශපාලකයන් විසින් දවසින් දවස කෙළසනවා. අනාගත පරපුර මේ ගෙන යන්නේ කොතනටද? දරුවන්ගේ අනාගතයට වඩා තමන්ගේ පැවැත්මට දේශපාලකයන් වැඩ කරන බව පේනවා. බෞද්ධ සංස්‌කෘතිය සැලසුම් සහගතව විනාශ කරන්න පටන් අරන්. භික්‌ෂුන් වහන්සේලා හිරගත කළා. කොටින්ගෙන් රට බේරා ගෙන හැම දෙනාටම නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දුන් මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු රණවිරුවන්ට හිංසා පීඩා කළා… රටට තිබුණ වීරත්වයට අභිමානයට හානි කළා. අපි දැන් ලෝකය හමුවේ දීන ජාතියක්‌ බවට පත්වෙලා. ආගම දහමින් ඈත් වන සමාජයක සිතුවිලි දරුණු වෙනවා. දයාව, කරුණාව බොහෝ දෙනාගෙන් වියෑකී යැමට පටන් අරන්. හොඳ මිනිස්‌සු හඳුනාගන්න නොහැකි වීමෙන් අපට ලොකු හානි ඇති වෙන්න පුළුවන්.

අද බොහෝ දරුවන් ස්‌වභාවික පරිසරයෙන් ඈත් වෙලා. ඒ වෙනුවට ඉලෙක්‌ට්‍රොනික්‌ පරිසරය ආදේශ කරගෙන. මෙය දරුවන්ගේ මනසට බරපතළ ලෙස බලපාන බව වෛද්‍ය මතයයි. මේවා ගැන පාලකයන්ට කිසිම හැඟීමක්‌ නෑ. මෙවැනි වට පිටාවක්‌ මැද දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගය කරන්න ඕනෑ. මනස පාවෙන අයිස්‌ කුට්‌ටියකට සමාන බව සිග්මන් ප්‍රොයිඩ් පෙන්වා දුන්නා. මතු පිටට පේන්නේ 25%.. මේ සංකීර්ණ මනස තේරුම් ගෙන ගුරුවරයා ළමයා සමඟ හැසිරෙන්න ඕනෑ. ආදරය, කරුණාව මිනිස්‌ සිත් සතන් තුළ ජනිත වෙන්න ඕනෑ. ආත්මාර්ථකාමී හැඟීම් නිසා සිදු වන්නේ අයහපතක්‌. බුදු දහමේ පදනම පරාර්ථයයි. මිනිස්‌ වර්ගයාගේ උන්නතිය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන. එවිට චරිතය බැබළෙනවා. චරිතයක්‌ බැබළෙන්නේ ප්‍රඥාවෙන්, දැනුමෙන්, කුසලතාවෙන්. සමහරුන්ට ඇත්තේ උපත සහ විපත පමණි. පැසුණු බුද්ධියක්‌ නැති අයට බලය යැම තරම් භයානක තවත් දෙයක්‌ නෑ. එවැනි පරිසරයක්‌ තුළ දැහැමි සමාජයක්‌ ගොඩනඟා ගන්න යැමත් අරුත් සුන් වෙනවා .එසේ වුවත් තවදුරටත් මේ විදියට රට ගෙන යන්න ඉඩ දිය යුතු නෑ. රටට ආදරේ සියලු දෙනා අප්‍රමාදව පෙළ ගැසිය යුතු වෙනවා.

කොටපොල ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ සභාපති බුත්ගමුවේ සිරි සුමන, කොටපොල ශාසනාරක්‌ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී තලංගල්ලේ පුන්ඥසාර, කීරිපිටියේ සේනානන්ද, ඇරා පෝරුවේ ධම්මසිරි හිමි යන ස්‌වාමින්වහන්සේලා ද ප්‍රධානාචාර්ය සී. එච්. විෙ-රත්න මහතා ද මෙහිදී කතා කළහ.

දකුණු පළාත් ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වර්නන් පෙරේරා, කොටපොල විවිධ සේවා සමුපකාර සංගමයේ සභාපති බන්දු රණවක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදාර යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ. දරු දැරියන්ට ආරාධිත අමුත්තන් අතින් ත්‍යාග සහ සහතික පත් පිරිනැමිණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *