ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙන්න යෝජනා සම්මත කරනවා.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා බලය ඇල්ලූ බව SB කියා සිටී..

(12.04.2018 – 09:20 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ඉන් පසු ශ‍්‍රීලනිප කිසිවෙකුට ආණ්ඩුව තුල සිටීමට හැකියාවක් නැති බවත් අවශ්‍ය කෙනෙකුට එක්සත් ජාතික පක්‍ෂයට යා හැකි බවත් ඔහු සදහන් කලේය.

පසුගියදා පැවති මධ්‍යම කාරක සභාවේදීද එම යෝජනාව ගෙන ආවද එය අවසන් තීන්දුවක් නොගෙන කල් දැමූ බවද ඔහු සදහන් කරයි.

ඊයේ දිනයේ ඇමති ධුරවලින් අස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඇමති ධුරවලින් ඉවත් වීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කල බවත් ශ‍්‍රීලනිප මහ ලේකම් හා සන්ධාන මහ ලේකම්වරුන් පොඩි බබාලා බවත් ඔවුන් සමග සාකච්චා කිරීමේ කිසිදු උනමනාවක් නැති බවත් ඔහු කීය.

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් කරන ලද ජාතික ආණ්ඩු ගිවිසුමද මේ වන විට අහෝසි වී ඇති බව ඇමතිවරයා සිහිපත් කරයි ෴

******************************************

මන්ත්‍රීවරියන්ගෙන් ගන්න අලුත්ම අල්ලස ඇමති රංගේ හෙළිකරයි
(12.04.2018 – 11:54 +0530 – hirunews.lk/sinhala)

නව මැතිවරණ ක්‍රමය හරහා පළාත් පාලන ආයතනවලට පත් වූ මන්ත්‍රීතුමියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන අශිලාචාර ක්‍රමයක් රට තුල නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා :

‘‘දැන් මන්ත්‍රීතුමියන්ට තිබෙන ඉල්ලුම හුඟක් වැඩි වෙලා. දැන් මන්ත්‍රීතුමියන්ට කතා කරනවා සමහර උදවිය, මමත් එක්ක ලොකු වැඩක් තියනව කරන්න බරපතල වැඩක් තියෙනවා අපි හම්බෙමු කියලා. අනේ පත් වෙච්ච් මන්ත්‍රීතුමාට කතා කරන්නේ නැහැ. මන්ත්‍රීතුමා තමන් එක්ක සකච්ඡාවේ ඉන්න වෙලාවේ මන්ත්‍රීතුමිය ගෙදර ඉන්නවා නම් එයාට කෝල් එකක් දෙනවා හිමිහිට හම්බෙන්න කියලා. දැන් මේක ලිංගික අල්ලසක් බවට පරිවර්තනය වේගන යනවා. මේ මැතිවරණය ක්‍රමය මහ විගඩම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.’’ යැයි ඇමැතිවරයා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන් :


****************************************

රු. කෝටි 17 ක රන් බිස්කට් මුහුදෙන් මතුවෙයි
(12.04.2018 – 08:50 +0530 – sinhala.adaderana.lk)

රු. කෝටි 17 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක දිනේෂ් බණ්ඩාර මහතා පවසයි.

තලෙයිමන්නාරම් මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

බෝට්ටුවක ආධාරයෙන් මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රැගෙනයමින් තිබියදී මෙම රත්‍රං තොගය සොයාගෙන තිබේ.

ග්‍රෑම් 100 බැගින් වූ රත්‍රං බිස්කට් 242 ක් එහිදී සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ රත්‍රං තොගය යාපනය රේගු කාර්යාලයට භාරදීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *