නිදහස් පක්ෂය තුළ ඡන්දයක් – මහලේකම්ගේ මාධ්‍ය හමුවත් අවලංගුයි

(12.04.2018 – 18:40 +0530 – hirunews.lk/sinhala)

තමන් දරණ අමාත්‍ය ධුරවලින් ඉවත් වුව ද ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබදව එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් දැනුම්දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරුන් එම පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරු 2 ට එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැදවා ඇති බවට දැනුම්දී තිබුණා.

එහෙත්, පස්වරු 02:45 ට පමණ එම ස්ථානයට පැමිණි සේවකයෙකු දැනුම් දුන්නේ දුමින්ද දිසානායක අමාත්‍යවරයා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවකට එක්ව සිටින බැවින් අද මාධ්‍ය හමුව නොපැවැත්වෙන බවයි.

මේ අතර අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා සිය නිල රථ සහ කාර්යාල උපකරණ භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබදව පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව හෝ ඡන්ද විමසීමකින් පසු තීරණය කෙරෙනු ඇති බවයි.

මේ අතර, පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමට නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර තිබෙනවා.

ඊයේ රැස් වූ තම සංගමයේ නියෝජිත සභාව මෙම තීරණය ගත් බවයි එහි ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ද තමන් ඉදිරියේදී ඉල්ලා අස්වන බව ඔහු සදහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

වැඩබලන ඇමතිවරුන් 4 දෙනෙකු දිවුරුම් දෙයි – පූර්ණ කැබිනට් සංශෝධනය අලුත් අවුරුද්දෙන් පසු
(12.04.2018 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධූරවල වැඩබලන අමාත්‍යවරුන් 04 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති දිවුරුම්දීමේ අවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ සියලුදෙනා කැඳවා තිබූ අතර, මේ අනුව දයාසිරි ජයසේකර මහතා දැරූ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතායි.

චන්දිම වීරක්කොඩි මහතා දැරූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ මෙන්ම, සුසිල් ප්‍රේමජයන්ත මහතා දැරූ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධුරයේ වැඩබැලීම සඳහා අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කෙරුණා.

එස්. බී. දිසානායක මහතා යටතේ පැවති සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ධුරයේ මෙන්ම ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා දැරූ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය ධුරයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතායි.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා දැරූ ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ මෙය තාවකාලික පත් කිරීමක් බවයි.

පූර්ණ කැබිනට් සංශෝධනයක් සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු සිදුකිරීමට නියමිත බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඊයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

එහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ තමන් ඉදිරියටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටින බවයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවේදී ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා යළි ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටි බවයි හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

++++++++++++++++++++++++++++++++++

නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන මැයි මස 8 වනදා ඇරඹෙයි
(12.04.2018 – 22:08 +0530 – hirunews.lk/sinhala)

පැවති පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් නව සැසිවාරයක් සදහා කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මීළග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ ලබන මැයි මස 8 වන අගහරුවාදා දිනයි.

මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වූ ධුරයන් සඳහා තාවකාලිකව නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පස්වරුවේ සිදුවුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අලුත් අවුරුද්දෙන් අනතුරුව පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකරනු ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *