ග්‍රීසියේ සිදු වූ විනාශය ලංකාවේ සිදුවිය හැකියි – දිනේෂ් ගුණවර්ධන

(13.04.2018 – mawbima.lk)

අද අප රට තුළ ක්‍රියාත්මක වන වැරැදි ආර්ථික කළමනාකරණය නිසා ආයෝජකයන් ආපසු හැරී යනවා. එවිට රජය අලුතින් සල්ලි අච්චු ගසා රටේ උද්ධමනය පියවීමට උත්සාහ කරනවා. ඉන් සිදුවන්නේ රට තවත් දරුණු ලෙස ආර්ථික අවපාතයක් වෙත ගමන් කිරීමයි. ඒ එදා ග්‍රීසියේ ඇති වූ ආකාරයේ දරුණු මූල්‍ය අර්බුදයක් කරා අප රටද ඇදී යෑමක් සිදු විය හැකි යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ පසුගියදා මහජන එක්සත් පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි. එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.

මේ රටේ සිදු වූ දරුණු මූල්‍ය වංචාව මහ බැංකු මුදල් වංචාව බව විපක්ෂය මෙන්ම ආණ්ඩුව පිළිගත්තා. ඒ වගේම එම වංචාකරුවන්ට එරෙහිව දියත්වන කුමන ආකාරයේ දඬුවමක් වුවද ආණ්ඩුව අනුමත කරන බවද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කළා. විශේෂයෙන් ශ්‍රී ලනිප පාර්ශ්වයෙන්ද එය ප්‍රකාශ කළා. එහිදී ඒකාබද්ධ විපක්ෂය සිදු කළේ වැරැදිකරුවන්ට දඬුවම් දීමට අවස්ථාවක් උදා කරමින්, එම වැරැදි සිදු කිරීමට අනුබල දෙමින් රජයේ මහ බැංකුව තමා යටතට පවරා ගනිමින් ඊට උචිත පසුබිම අර්ජුන මහේන්ද්‍රන්ට නිර්මාණය කරදුන් ප්‍රධාන පුද්ගලයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි. විශ්වාසභංග ඡන්ද විමසන අවස්ථාවේදී එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් එදින නොපැමිණ එයට අකුල් හෙළාවි කියා අපි සිතුවේ නැහැ. එහෙත් තමන්ට හිමිවන දැවැන්ත පරාජය දැනගෙන රනිල් වික්‍රමසිංහ මහතා තම රට පාවා දෙන තීරණයන්ට යොමු වේ යැයි අප කිසිදා අපේක්ෂා කළේ නැහැ. ඔහු තමන්ට හිමිවන දැවැන්ත විශ්වාසභංග පරාජයෙන් බේරුණේ ප්‍රභාකරන්ට අවුරුදු තිහක් යුද්ධ කර ලබා ගැනීමට බැරි වූ ජයග්‍රහණ කිහිපයක් දෙමළ සන්ධානයට පූජා කිරීමෙන් පමණි.

රනිල් ඔහු තමාට අයත් වන දැවැන්ත පරාජය හමුවේ ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් දහයක් ඉටු කර දෙන අතරේ මුස්ලිම් කොංග්‍රසයේ එවැනි ඉල්ලීම් දහතුනක් ඉටු කර දීමට එකඟතාව පළ කර තිබෙනවා. මෙය රටක ජාතියට, ආගමට, දේශයට ළැදි දේශපාලකයකු කිසිදා සිදු නොකරන්නක්.

ඒ කළ ක්‍රියාවට විරුද්ධ මේ රටට, දැයට හිතැති එක්සත් ජාතික පාක්ෂිකයන් පිට කරනුයේ පක්ෂ ප්‍රතිසංවිධානය ඉක්මන් කරන ලෙස ඉල්ලමිනි. වෙනදා මෙන් රට පාවා දුන් රනිල්ට මෙවර පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු පත්කර පැනයෑමට එහි සාමාජිකයන් ඉඩ තබනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. එයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබෙනවා. ඒ එදින රනිල්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ දහසය දෙනා කැබිනට් වර්ජනයකට යොමු වීමෙනි. අප රටේ එවැන්නක් සිදු වූයේ 1959 බණ්ඩාරනායක යුගයෙන් පසුව පළමු වරටයි.

රජයේ ආදායම දිනෙන් දින අඩුවෙමින් පවතිනවා. ඉන්දීය තෙල් සමාගම ලෝක මිල ඉහළයෑම්වලට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමන විට එය අද තෙල් සංස්ථාවටද අනුකරණය කර ඒ අනුව මිල ඉහළ දැමීමට පෙලඹී තිබෙනවා. අපේ රටේ මුදල් ඇමැතිතුමා මාධ්‍යට ප්‍රකාශ කරනවා රජයේ ආර්ථික කමිටුව ජනාධිපතිවරයා විසින් අවලංගු කර නොමැති බව. පසුව එම ප්‍රකාශය එදින සියලු මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය වූවාට පසුව මුදල් ඇමැතිවරයා යළිත් කියනවා, අදාළ දිනයේ තමන් කැබිනට් රැස්වීමට නොපැමිණි නිසා ජනාධිපතිවරයා ආර්ථික කමිටුව තහනම් කළ පුවත දැන නොසිටි බවට. අද කැබිනට් ඇමැතිවරු රටට විහිළු සපයන පුද්ගලයන් බවට පත්ව තිබෙනවා. එය රජයක බහින කලාව ප්‍රදර්ශනය කිරීමක් ලෙස මෙරට විද්වත් දේශපාලන විශාරදයන් විසින් හඳුන්වනු ලබනවා.

මේ තත්ත්වය යටතේ රජය තමන්ට හීලෑ විපක්ෂයක් පවත්වා ගෙන යෑමට තවදුරටත් කටයුතු කරමින් සිටිනවා. විපක්ෂය ඉල්ලන දේ දෙමින් ඔවුන් සතුටු කරමින් මේ රජය නඩත්තු කරන විපක්ෂය තුළින් ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණු ඉටු නොවන තත්ත්වයක් උදා වී තිබෙනවා. මේ තත්ත්වය ගැන පාර්ලිමේන්තු කතානායකවරයා ලැජ්ජාවට පත්විය යුතුයි. මන්ද තවමත් ඔහු මන්ත්‍රිවරු දහසයක් සිටින පක්ෂයක ප්‍රධානියකුට විපක්ෂ නායක ධුරය වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ උසස් තනතුරක් පවරා මන්ත්‍රිවරුන් පනස් හත් දෙනකු සිටින පක්ෂයක ප්‍රධානියකුට එම තනතුර නොපවරමින් සිටිනවා. මෙය ජනතාවගේ පරමාධිපත්‍ය බලය නොසලකා හැරීමක් ලෙස අප දකිනවා. විශ්වාසභංග යෝජනාවෙන් පසුව හෝ කතානායකවරයාගේ ඥානය පහළ වී ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂ මන්ත්‍රිවරු පිරිසක් නියෝජනය කරන පක්ෂයේ නායකයාට විපක්ෂ නායක තනතුර පවරනු ඇතැයි අප විශ්වාස කරනවා. කෙසේ හෝ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් ඇරැඹි ආණ්ඩුව කඩාවැටීමේ ආරම්භය සාර්ථක ලෙස ඉදිරියට සිදුවෙමින් පවතින බව දැන් දැන් රජය තුළ සිදුවන නව සිදුවීම්වලින් පෙනී යනවා. එය කැබිනට් මාරුවකින් නවතාලිය හැකියි කියා මා සිතන්නේ නැහැ. රජය මුදල් විසිකර සහ රටට ජාතියට අහිතකර පොරොන්දු සුළු ජාතික පක්ෂවලට ලබාදීමට සැරැසුණු මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය වනුයේ රටේ ආර්ථික ප්‍රශ්න හමුවේ රජයේ ක්‍රියාත්මක වීම මත විය හැකියි. එයින්ද රජය සිය අසමත් බව ප්‍රකාශ කර ඇති හෙයින් මේ රජයේ පැවැත්ම ගැන කිසිවකුට අනාවැකි කිව නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *