රනිල් පරද්දන්න සිතියමකුත් අරගෙන මෛත‍්‍රී ගාවට ගිය කෙනාට වූ දේ…

(13.04.2018 – 13:20 +0530 – lankacnews.com)

තම පක්‍ෂයේ සිට රනිල් පරද්දන්න යයි කියමින් සිතියම් දෙකකුත් අරගෙන මෛත‍්‍රි ගාවට ගිය කෙනා රනිල් පන්නන විශ්වාස භංගයේදී අතුරුදහන් වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මේ බව කීය.

විශ්වාසභංගයෙන් දිනන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ යළි යළිත් දණ ගැහුවා. ජාතිවාදී ඉල්ලීම් දහයකට එක්ඟ වෙලයි ඒ ඡන්ද 16 විශ්වාසභංගයට විරුද්ධව ලබා ගත්තේ. මාස තුනෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත හා අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත අනුව යමින් කොටි අතුරුදහන් වූවන් පිළිබඳ නඩු විභාග කඩිනමින් ඇරඹීම ඒ අතර වෙනවා. මේවා 2013 සිංගප්පූරුවේ දී අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ දී දෙමළ ගෝලීය සංසදයේ නායකයන්ට මංගල සමරවීර දුන් පොරොන්දු.

විශ්වාසභංගය බැලූ බැල්මට අපි ලැබූ පරාජයක්. නමුත් එය ජයග්‍රහණ රැසක ප්‍රසුතියක්. අප එහිදී ලැබූ විශාල ජයග්‍රහණය තමයි මේ ආණ්ඩුවට මෙතෙක් පැවති තුනෙන් දෙකේ බලය අහෝසි කිරීමට හැකිවීම. එදා විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසමේ දී විශ්වාසභංගයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනකු ඡන්දය පාවිච්චි කිරීමත් සමඟ තමයි, ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වුණේ. ඉදිරියේ දී මේ පිරිස් විපක්ෂයේ අසුන් ගනීවි. ඒ වගේම ඒ 16, තව කල් යන විට වැඩි වේවි, කියන සහතිකයත් අපට ලබා දීමට පුළුවන්. ‘රනිල් වික්‍රමසිංහ මහතා පැරදවිය යුතුය‘ කියන මතයේ සිටි රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර අවසානයේ දී විශ්වාසභංගයට ‘විරුද්ධයි’ කියා කීවා. මොනර කොළ නිසා නොවුණත් විජයදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතිවරයාත් විශ්වාසභංගයට ඡන්දය විමසන අවස්ථාවේ දී ‘විරුද්ධයි’ කියා කීවා.

අර අපි ගාව ඉඳලා රනිල් පරද්දන්න, ‘මහින්ද – මෛත්‍රී එකතු කරන සිතියමකුත්’ අරගෙන මෛත්‍රී ගාවට ගියපු කෙනා විශ්වාසභංග දවසේ රනිල් පරද්දන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. එයා අතුරුදහන් වෙලා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අයට වගේම ‘එදාට පක්ෂව ඡන්දය දීමට සිටි, එහෙත් පාර්ලිමේන්තුවට නොපැමිණි අයටත්‘ මොනර කොළ කතා කරලා තිබුණා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *