මහින්දානන්ද, අධිකරණයෙන් මුදා හරී – සහයට ඩිලාන්, දයාසිරි, චන්දිම සහ අනුරාධත් එයි

(17.04.2018 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (17) පෙරවරුවේ මුදා හැරියා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇප කොන්දේසි සම්පුර්ණ කළ බවයි.

මේ අතර, මන්ත්‍රීවරයාට සහය පළ කිරීම සඳහා පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර සහ චන්දිම වීරක්කොඩි මෙන්ම අනුරාධ ජයරත්න යන හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටීම විශේෂත්වයක්.

රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිතා කරමින් 2014 වසරේදී කැරම් බෝඩි සහ දාම් බෝඩ් තොගයක් මිළදී ගැනීමේ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර විත්තියේ නීතිඥයින් එහිදී කරුණු දක්වමින් කියා සිටියේ කැරම් හා දාම් බෝඩ් ගෙන්වන ලද සතොස ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් බැවින් පොදු දේපළ පනතට නොගැණෙන බවයි.

එම නීතිමය තර්ක පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න රුපියල් 35,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප දෙකක් මත සැකකරුව මුදාහරින ලෙස නියෝග කළා.

එහිදී මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය, විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරිමට ද නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත්, කොළඹ මහා අධිකරණය මගින් විභාග වන වෙනත් නඩුවක් සඳහා මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය එම අධිකරණය භාරයට පත් කර ඇති බවයි එහිදී ඔහුගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ.

ඒ අනුව ඇප කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුව අද (17) පෙරවරුවේ ඊට අදාළ වාර්තා මන්ත්‍රීවරයාගේ නීතිඥයින් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු මුදා හරිනු ලැබුවා.

ඔහුට සහය දැක්වීම සඳහා පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා සහ චන්දිම විරක්කොඩි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා ෴

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

FCID දඩයම් කාර්යාලයක්.. පැමිණිලි දමන්නේ ලොක්කාගේ කාර්යාලයෙන්.. වහා වසා දමනු.. – දයාසිරි
(17.04.2018 – 14:10 +0530 – lankacnews.com)

ගිය රජය සමයේ කැරම් බෝඩ් ගෙන්වීමේදී ක‍්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිසි වංචාවක් සිදුකර නැතැයි හිටපු ක්‍රීඩා ඇමැති ලෙස තමන් වගකීමෙන් පවසන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.

FCID යනු නීති විරෝධී ආයතනයක් බවත් එය ස්ථාපිත කර ඇත්තේ එජාපයේ උවමනාවට විරුද්ද දේශපාලඥයන්ගෙන් පලි ගැනීම සදහා බවත් පවසන මන්ත‍්‍රීවරයා වහාම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරිය යුතු යයිද සදහන් කරයි.

මහින්දානන්ද මහතා ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සමගිය වෙනුවෙන් විශාල කාර්යයක් කල බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එජාප වුවමනාවට බවත් ඔවුන්ට උවමනා වී ඇත්තේ කෙසේ හෝ ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීම් සිදු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියකුගේ කාර්යාලයෙන් යයිද සදහන් කරන ඔහු මෙම දඩයමේ ඇති යහපාලනය කුමක්දැයි විමසන බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *