5 දෙනෙකුට මරු කැඳවූ හොරණ රබර් කම්හලේ කළමණාකරු අත්අඩංගුවට

(19.04.2018 – 17:44 +0530 – hirunews.lk/sinhala)

5 දෙනෙකුට මරු කැඳවමින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කම්හලක සිදුවූ අනතුරට අදාළව එම ආයතනයේ කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එම රබර් කර්මාන්ත ශාලාවේ ගත යුතු ආරක්ෂක පියවර නොගෙන අපරීක්ෂාකාරීව ක්‍රියාකිරීම සහ ඒ හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියයාමට අදාළව කළමණාකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය ප්‍රකාශ කළා.

හොරණ – බුලත්සිංහල මාර්ගයේ පිහිටා ඇති මෙම රබර් සැකසුම් පෞද්ගලික කර්මාන්ත ශාලාවේ අප ජලය බැහැර කරන ටැංකියට අද පස්වරු 1.20 ට පමණ සේවකයෙක් ඇද වැටී තිබෙනවා.

එම සේවකයා බේරා ගැනීම සඳහා තවත් සේවකයින් පිරිසක් උත්සාහ කර ඇති අතර, පසුව ඔවුන් ගම්වාසීන්ගෙන්ද උදව් ඉල්ලා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේදී විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකු සිහිසුන්ව කරන ටැංකියට ඇද වැටී තිබෙනවා.

සිහිසුන් වූ පුද්ගලයින් කඩිනමින් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමට අවට සිටි පිරිස පසුව කටයුතු කළා.

ජල ටැංකියට වැටුණු පිරිස ගොඩ ගැනුණේ හොරණ නගර සභාවේ ගිනි නිවීම් සහ ආපදා ඒකකය විසින්.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර විසින් අද පස්වරුවේ සිදුකළ අතර, අනතුර සිදුවු ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමද පැමිණියා.

මෙම කර්මාන්ත ශාලාවේ අප ජලය බැහැර කරන ටැංකිය අනාරක්ෂිත බව සහ එමඟින් පරිසර හානියක් සිදුවන බවට දිගින් දිගටම පාලනාධිකාරියට දැනුම් දුන්නද කිසිදු පියවරක් නොගත් බවටයි ප්‍රදේශවාසීන් මෙහිදී චෝදනා කළේ.

අද සිදුවු මෙම අනතුර පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය අදාළ කර්මාන්ත ශාලාව පිහිටි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එරන්දි කුලරත්න මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.

එහිදී ඇය කියා සිටියේ ටැංකියට අප ජලය රැගෙන යන නලය කම්කරුවෙකු විසින් විවෘත කිරීමට යාමේදී විෂ වායුව කාන්දු වී ඇති බවට සැක කරන බවයි.

එම අවස්ථාවේදී අදාළ කම්කරුවා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නොමැති බවටද ඇය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

————————–

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

රජයේ රස පරීක්ෂක හොරණ කම්හලට
(20.04.2018 – 12:46 +0530 – hirunews.lk/sinhala)

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවකදී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 5 දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලට යවා තිබෙනවා.

එහිදී පානදුර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය උත්පලා ආටිගල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇති.

මේ අතර, ඊයේ (19) දහවල් සිදුවූ මෙම අනතුරෙන් ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය තමර කලූබෝවිල කියා සිටියේ.

එමෙන්ම, අදාළ සිද්ධිය පිළිබඳ රස පරීක්ෂණය සිදුකිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවට ඊයේ (19) පැමිණියා.

++++++++++++++++++++++++++++++++

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයි
(20.04.2018 – nethnews.lk)

පස් දෙනෙකුට මරු කැඳවමින්, හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරෙහි වගකීම, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බාරගතයතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මේ බව පවසනවා.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න :

2018-04-19

මාධ්‍ය නිවේදනය.

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ ඇතිවූ අවාසනාවන්ත සිදුවීමේ වගකීම පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා බාරගත යුතුයි.

හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය 5 දෙනාගේ වටිනා ජීවිත වල වගකීම සෘජුවම පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා බාරගතයුතු බව අප සංවිධානය තරයේ ප්‍රකාශ කරමු.

මෙවැනි කර්මාන්ත ශාලා පිළිබඳව සොයා බැලීම කලයුත්තේ ජනාධිපති වරයා යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරීයයි. මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ වංචා පිළිබදව අප සංවිධානය විසින් ජනාධිපතිවරයාට කිහිපවිටක්ම පැමිණිලි කළද එම පැමිණිලි වලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙරට මාධ්‍ය ආයතන පවා මෙම කර්මාන්ත ශාලාව ඇතුළු තවත් කර්මාන්ත ශාලා පිළිබදව නොයෙක් වර හෙළිදරව් කර ඇත.

සමහර කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය පරිසර සහතික ලබා ගෙන නැති අතර තවත් කර්මාන්ත ශාලා පරිසර සහතික ලබා ගෙන ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට අල්ලස් ලබා දී මෙන් බව අපි වගකීමෙන් පවසන්නෙමු. පාලකයන්ගේ වැරදි වලට ජනතාව දඬුවම් විදින යුගය වහා නැවත්වීමට රජය කටයුතු කළ යුතු අතර අදාල කර්මාන්ත ශාලාවේ ඇති වූ සිදුවීමට ජනාධිපතිවරයා කනගාටුව ප්‍රකාශ කිරීමෙන් හෝ වන්දි ලබා දීමෙන් පමණක් නොනැවතී මෙරට කර්මාන්ත ශාලා වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මධ්‍යම පරිසරි අධිකාරියේ දූෂණ වංචා පිලිබදව සොයා බැලීමට කටයුතු කරන ලෙසත් අපි ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිමු.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

+++++++++++++++++++++++++++++++

අනාරක්ෂිත ඇමෝනියා ටැංකියකට වැටී අයෙක් මරුට; ඔහු බේරාගන්න ගිය තව 4 ක් මරුට; සිහිසුන් රැසක් රෝහලේ; මිනීමරු සමාගමට අවසර දුන්නේ කව්ද?
(19.04.2018 – News e Lanka)

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා රසායනය අනාරක්ෂිතව ගබඩාකර තිබූ ටැංකියකට ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර ඔහු බේරාගැනීමට උත්සාහ කළ තවත් පුද්ගලයන් සිව්දෙනෙකු ඇතුළුව පහක් මිය ගොස් තිබේ.

සිහිසුන්ව රෝහල්ගත කර තිබෙන තවත් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව හොරණ රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. මේ ඛෙදවාචකය සිදුව ඇත්තේ අද සවස ය.

මෙම කර්මාන්ත ශාලාව එස් ඇන්ඩ් සී ලැටෙක්ස් පුද්ගලික සමාගම නම් එකක් වන අතර එය ප්‍රකට බෙටන්ස් පාවහන් නිපදවන බෙටන්ස් සමාගම් සමූහයට අනුබද්ධ ආයතනයක් බව පැවසේ. කෙසේ වෙතත් අතිශය අනාරක්ෂිත ලෙස මෙම කර්මාන්ත ආයතනය පවත්වාගෙන යෑමට අවසර ලබා දුන්නේ කව්ද යන්න ගැටළුවකි. බෙටන්ස් සමාගම් සමූහයේ ප්‍රධානී චන්ද්‍රලාල් සිල්වා යනු තම සේවකයන් පිලිබඳව පමණක් නොව තමන් සේවා සපයා ගන්නා වෙනත් ආයතනයන් කෙරෙහිද කිසිදු සැලකිල්ලක් නොදක්වන ව්‍යාපාරිකයෙකු ලෙස බොහෝ චෝදනා ඇත්තෙකි.

ඛෙදවාචකය සම්බන්ධයෙන් හොරණ පොලීසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඛෙදවාචකය පිලිබඳ වීඩියෝවක් පහතින් :

+++++++++++++++++++++++++++++++++

හොරණ රබර් කර්මාන්තශාලාවේ රසායනාගාර පාලකවරියත් රක්ෂිත බන්ධනාගාරයට
(22.04.2018 – 14:11 +0530 – hirunews.lk/sinhala)

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, හොරණ වැඩබලන මහේස්ත්‍රාත් ජයන්තා ජයසූරිය හමුවට අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම කර්මාන්තශාලාවේ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පසුව එහි කළමනාකරු අත්අඩංගුවට ගත් අතර ඔහු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මෙම ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (21) දිනයේදි යි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *