ප්‍රතිපත්ති ප්‍රකාශය පැරදුණොත් පෙරැළියක්

(22.04.2018 – mawbima.lk)

පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසයි.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරිය හැකි බව ද නැතිනම් නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැකි බව ද ඔහු පැවැසුවේය.

අගමැතිවරයා සම්බන්ධ දෙවැනි පරීක්‍ෂණයකට එළැඹීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇතැයි ද පවතින වාතාවරණය යටතේ ජනාධිපතිවරයා නව සැසිවාරයේදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇත්තේ විශ්වාසය පළ කළ නොහැකි තත්ත්වයක් බව ද හෙතෙම පැවැසීය.

කෙසේ වෙතත් මේ වන විට එ.ජා.ප.යේ ප්‍රතිසංවිධාන කටයුතුවල පවතින ගැටලු හේතුවෙන් එම පක්‍ෂය ඇතුළත කැලඹීමක් පවතින බවත් ආණ්ඩුවේම කොටසක් විපක්‍ෂයේ අසුන් ගැනීම වැනි මතභේදාත්මක තත්ත්වයන් හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව ඡන්දයකට යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව ද ඔහු පැහැදිලි කළේය.

එවැනි අවස්ථාවකදී රහස් ඡන්දයකට යෑමේ පූර්වාදර්ශ පවතින බවත් 1960 මාර්තුවේදී රාජාසන කතාව පරාජය වීම එම පූර්වාදර්ශයන්ගෙන් එකක් බවත් ප්‍රතිභා මහනාම මහතා සිහිපත් කළේය.

එසේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීම යනු ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ ගැටලුවක් වන හෙයින් අගමැති ධුරය හිස්වන අවස්ථා දැක්වෙන, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46 (2) ආ හි පවතින වෙනත් කාරණයකදී යන වගන්තිය උපයෝගි කර ගනිමින් ජනාධිපතිවරයාට උක්ත කටයුත්ත සිදුකළ හැකි බව ද ඔහු සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++

විශ්වාසභංගයෙන් කර ගත හැකි නොවූ දේ ‘රාජාසන කතාවක්’ මගින් යලිත්..! මැයි 8 වෙනිදා ආණ්ඩුව යලි අනතුරක..!!
(19.04.2018 – News e Lanka)

අගමැතිවරයාට එරෙහි පසුගිය විශ්වාසභංගයෙන් කරගත හැකි නොවූ එජාපෙ ආණ්ඩුව වෙනස් කිරීම ලබන 8 වෙනිදා නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම දා ‘රාජාසන කතාව‘ මගින් ඉටු කර ගැනීමේ කූඨ කුමන්ත්‍රණයක් පිලිබඳ නිව්ස් ඊ ලංකා අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමේ දී රාජ්‍ය නායකයා විසින් ආණ්ඩුවේ ඉදිරි වැඩ පිළිවෙල ඇතුලත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සිදුකිරීමට අවස්ථාව එළැඹේ. එය හඳුන්වන්නේ ‘රාජාසන කතාව‘ නමිනි. මෙකී රාජාසන කතාව අරභයා පාර්ලිමේන්තුව තුල ඡන්ද විමසීමක් අවශ්‍යනම් විපක්ෂයට ඉල්ලා සිටිය හැකිය. එවිට කතානායකතුමාට එම ඡන්ද විමසීම ලබා දීමට සිදුවේ. එහිදී රාජාසන කතාව පරාජය වුවහොත් ආණ්ඩුව එතැනින් හමාර වනු ඇති අතර නව ආණ්ඩුවක් පත්විය යුතුය. පැරණි නීතිය අනුව නම් රාජාසන කතාව පරාජය වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවිය යුතු නමුත් වත්මන් 19 වන සංශෝධනය අනුව ඒ සඳහා වසර 4 හමාරක් ගත විය යුතු බැවින් ‘රාජාසන කතාව‘ පරාජය වුවහොත් ජයග්‍රාහකයන්ට නව අගමැතිවරයෙකු යටතේ නව කැබිනට් මණ්ඩලයක් සහිතව නව ආණ්ඩුවක් පත් කර ගත හැකිය.

එනම් පසුගිය 4 වෙනිදා අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයේ දී සිදුවූ තත්ත්වයට සමාන තත්ත්වයක් ලබන මැයි 8 වෙනිදා ද සිදුවීමේ අවස්ථාවක් යලිත් උදා වේ.

වත්මන් පාර්ලිමේන්තු ව්‍යුහය අනුව රාජාසන කතාව සිදුකළ යුත්තේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ විසිනි.

නිව්ස් ඊ ලංකා අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් මැයි 8 වෙනිදා නව සැසිවාරයක් ආරම්භ කිරීම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර නැත. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැන ගෙන ඇත්තේ ද ජනාධිපති ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ය.

පල්ලෙවත්ත ගමරාළ විසින් ඊට පෙර අගමැතිවරයා ඇතුළු එජාපෙ ආණ්ඩු ප්‍රධානීන්ට තර්ජනය කරන ලද්දේ තමන් යන්නේ නිකම්ම නොව ‘ගිනි තියාගෙන‘ යනුවෙනි.

පල්ලෙවත්ත ගමරාළ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර නව සැසිවාරයක් කැඳවීම ඔහු වෙත ලැබූ නීතිමය තුරුම්පුවක් අනුව සිදුකරන ලද්දක් බවත් එය ලබා දුන් පුද්ගලයන් කව්ද යන්න ගැනත් තොරතුරු මේ වන විට හෙළි වී තිබේ.

සැසිවාරය විවෘත කරන මැයි 8 වන දින රාජාසන කතාව සිදුකිරීම කළ යුතු ජනාධිපතිවරයා ඒ පිලිබඳව මේ දක්වා කිසිදු අදහස් හුවමාරුවක් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය සමග හුවමාරු කරගෙන නැත. අගමැති සහ කැබිනට් මණ්ඩලය නොමැතිව ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති ගැන ජනාධිපතිට තනිවම අදහස් ප්‍රකාශ කළ නොහැකි යයි නීතියක් කොහේවත් නැත. (එනම් එජාපෙට පවා එකඟ විය නොහැකි ‘තක්කඩි රාජාසන කතාවක්‘ අවශ්‍ය නම් ජනාධිපතිට සිදුකළ හැකිය. ඒත් ආණ්ඩුව රැක ගැනීමට නම් ඊට ඡන්දය දීමට එජාපෙට සිදුවේ. එහිදී එදා ආණ්ඩුව රැක ගැනීමට ඡන්ද දුන් වෙනත් සුළු පක්ෂ සමහර විට ඡන්දය නොදී සිටිය හැකිය. එවිට ආණ්ඩුව ඇද වැටීමේ අනතුරකට මුහුණ දෙනු ඇත.) නමුත් අවශ්‍ය නම් රාජාසන කතාවක් නොමැතිව පාර්ලිමේන්තු නව සැසිවාරයක් ආරම්භ කළ හැකි වීමද මෙහි ඇති විශේෂත්වයකි. ඊට ජනාධිපතිවරයා කැමැති විය යුතුය.

ඇති වී තිබෙන අලුත් අස්ථාවර තත්ත්වය සහ අනතුර ගැන එජාපෙ ආණ්ඩු ප්‍රධානීහු බරපතල ලෙස සැලකිල්ලට ගෙන ඇතැයි මේ සටහන ලියන අවස්ථාවේ දී දැන ගන්නට ලැබිණ.

– විශේෂ මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *