රටට තියෙන එකම ආරක්ෂාව විධායක ජනාධිපති ධූරයයි ; ඒත් ජනපති රකින්න අපිට උවමනාවක් නෑ – මධු මාධව අරවින්ද

(23.04.2018 – 20:55 +0530 – sinhala.adaderana.lk)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වුණත් එහි පිටුපස සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා පවසයි.

‍අද (23) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

‍වැඩිදුරටත් අදහස් දැක්වු මධු මාධව අරවින්ද මහතා මෙසේ ද පැවසීය. :

“රට විකිණීම වගේම මහ බැංකු වංචාව වගේ සොරකම්වලටත් විධායක ජනාධිපතිකම බාධාවක් වුණා.

ඉතිරි අවුරුදු එකහාමාරේ බාධාවකින් තොරව බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරන්නේ.

අපිට ජනාධිපති සිරිසේන රකින්න කිසිම උවමනාවක් නෑ. මතු පරම්පරාවට රට රැක දෙන්න නම් විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවතින්න ඕනෑ කියන මතයේ තමයි පිවිතුරු හෙළ උරුමය විදහට අපි ඉන්නේ.

මේ රටට තිබෙන එකම ආරක්ෂාව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය. මේ විධායක ජනාධිපති ක්‍රමය කවුරුහරි කෙනෙක් අහෝසි කරන්නට උත්සහ කරනවානම් පිවිතුරු හෙළ උරුමය පක්ෂයක් විදිහට පැහැදිළිවම එයට විරෝධය පලකරනවා.

2009 සිට මේ දක්වාම සංධානයේ ප්‍රතිපත්තිය වුණේ විධායක ජනාධිපති ක්‍රමය සුරැකීමයි. කිසිම සාකච්ඡාවකින් තොරව හදිස්සියේම මේ ක්‍රමය අහෝසි කරන්න තීන්දු කරන්න කාටවත් බෑ. මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය තුළත් රට තුළත් විද්වත් සංවාදයක් අවශ්‍යයි.

මන්ද විධායක ජනාධිපති ධූරය නිසා මේ රට ආරක්ෂා වූ අයුරු අපි ඉතිහාසයේ දැක තිබෙනවා. හදිසියෙන් වගේ මේ පිළිබද තීන්දු තීරණ ගන්න අපි කිසිවෙකුටවත් ඉඩ තියන්නේ නෑ.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමා වගේ නීති විශාරදයින් ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමා වගේ දේශපාලන විද්‍යාඥයින් විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව දක්වන කරුණු සැලකිල්ලෙන් අවධානයට යොමු කරන්න කියලා අපි සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේක අගමැති රනිල්ගේ තවත් ගැටයක්. ඒ ගැටයට හසු වෙන්න එපා කියලා අපි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පිළිබද දැඩි අවධානයකින් ඉදල රටට කරන්න යන මේ වින්නැහිය පිළිබද රට දැනුම්වත් කරන්න පිවිතුරු හෙළ උරුමය සමග එකතු වන්න කියන ඉල්ලීම කරනවා.”

*******************************************

අගමැති අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටිගේ තටු කැපේ..
(24.04.2018 – 00:04 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මාධ්‍ය මෙහෙයුම් කටයුතු, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පිහිටුවීමට නියමිත මාධ්‍ය සහ සන්නිවේදන අංශය වෙත පැවරීමට එම පක්ෂය තීරණය කර තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට තිබේ.

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ ලේකම් ධූරයට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හා සන්නිවේදන කටයුතු සිදු කරන ලද්දේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාගේ අධීක්ෂණය යටතේය. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල යටතේ සමන් අතාවුදහෙට්ටි මහතාගේ අධීක්ෂණයෙන් මාධ්‍ය ඉවත් කර ඉදිරියේදී ඒ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු වැඩ කටයුතු වලට අදාල රාජකාරි පමණක් බාර දී පාර්ලිමේන්තුවේ ස්ථාන ගත කිරීමටද සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙම පියවර ගැනීමට සැලසුම් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු මගින් කර ඇති නිර්දේශ සහ සමන් අතාවුදහෙට්ටි මහතා මාධ්‍ය මෙහෙය වන ආකාරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු සැලකිල්ලට ගැනීමෙන් බවද දැනගන්නට තිබේ.

– ජයකාන්ත ලියනගේ

*****************************************

ඇමති රන්ජන් අගමැතිගෙන් බැට් කරන්න අවස්ථාවක් ඉල්ලයි
(23.04.2018 – 19:21 +0530 – lankadeepa.lk)

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට දැන් කල් එළඹ ඇති බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ වංචා පිළිබඳ හෙළිදරවු කිරීම සඳහා මාදිවෙල සිය මන්ත්‍රී නිල නිවාසයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ රාමනායක මහතා කිරි බෝතලයක්ද උදාහරණයට ගනිමින් මෙසේ පැවසීය.

“මේ කිරි බෝතලේ ගත්තත් මේකට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවා. මේකට විතරක් නෙමෙයි හැමදේකටම කල් ඉකුත්වීමේ දිනයක් කියලා එකක් තියෙනවා. ඒ දිනයට කළින් පරිහරණය කරන්න කියලා. රංජන් රාමනායකටත් ඒක තියෙනවා.”

“ඒක විජය කුමාරතුංග මහත්මයට තිබුණා. නෙල්සන් මැන්ඩෙලා මහත්මයට තිබුණා. ලී ක්වාන් යූ මහත්මයා සමුගත්තා. පිදෙල් කස්ත්‍රෝ මහත්මයා අන්තිමේදී සමු අරන් තමන්ගේ සහෝදරයෙකුට දුන්නා.”

“මම ක්‍රිකට් වලින්ම ගන්නම්කෝ, අපි අපේ අගමැතිවරයට බැට් කරන්න ගොඩක් අවස්ථා දුන්නා. ඒ කියන්නේ ගොඩක් සැරයක් පිටියට ගිහින් සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. දැන් අපිටත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න. අපි හයේ ඒවා ගහයිද, හතරේ ඒවා ගහයිද, සෙන්චරි ගහයිද කියලා දන්නේ නෑනෙ. උපකල්පනය කරන්න බෑනේ.”

“අපිට විතරක් නෙමෙයි සජිත්ටත් ගහන්න අවස්ථාවක් දෙන්න, නවීන් දිසානායක මහත්මයටත් අවස්ථාවක් දෙන්න. හැම වෙලේම එතුමම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. හරියට අපි පොඩි කාලෙ සෙල්ලම් කරනවා වගේ. අපි හැමදාම කරන්නේ බෝල් කරන එක විතරද.”

“එහෙම කරන එක වැරදීනේ. අනිත් අයටත් බැට් කරන්න අවස්ථාවක් දීලා බලන්න ඕනේ. එත් එතුමා කියන්නේ මම අවුට් නෑ, මට අයෙත් බැට් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක හොඳ මදි. එතුමා කියන්න ඕනේ රංජන් දැන් ඔයා බැට් කරන්න, මම බෝල් කරන්නම් කියලා. අවස්ථාවක් දුන්නොත් ඉදිරියෙදි සුපිරි ක්‍රීඩකයෝ බිහිවෙයි. අපේ පක්ෂෙත් සුපිරි ක්‍රීඩකයෝ ඉන්නවා.”

“එතුමට අපි බැට් කරන්න අවස්ථාව දුන්නා 2002 දි. එතුමා එදා නම් සෙන්චරියක් ගහලා ආණ්ඩුව ගත්තා. ඊට පස්සෙ 2004 එතුමා අවුට් වුණා. ඊට පස්සේ 2010 දි අපි පිතිකරුවෙක් ආනයනය කළා. 2015 දි අපි තවත් පිතිකරුවෙක් ආනනයනය කළා. සරත් ෆොන්සේකා මහත්තයවයි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයවයි ආනනයනය තමයි කළේ. ආනනයනය කරලා අපි පසුපෙළ පිතිකරුවො හැටියට ක්‍රීඩා කළා.”

+++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

මම හොඳට ෆිට් – ඉවත් කරන්න සාධාරණ හේතුවක් නැහැ – ලසිත් මාලිංග කට අරියි
(24.04.2018 – webgossip.lk)

2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහතා පවසනවා.

ඉන්දියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග “2017 දී මාව කණ්ඩායමෙන් ඉවත් කරන විට මම 2017 වර්ෂයේ ලෝකයේ විස්සයි–20 වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වැනි තැන සිටියා. ලංකාවේ ක්‍රීඩකයන් අතර පළමුවැනි ස්ථානයේ සිටියා. එසේ සිටිද්දී තමයි නව තේරීම් කමිටුව මාව ඉවත් කළේ. මම තේරීම් කමිටුවෙන් මේ ගැන අසුවාම ඔවුන් ප්‍රකාශ කළේ කුඩා පරිමාණ තරගාවලිවලදී අලුත් ක්‍රීඩකයන් අත්හදා බැලීම සඳහා මාව ඉවත් කළා කියලයි. නමුත් ඔවුන් ඉතා වැදගත් තරගාවලියක් වූ නිදහස් කුසලාන විස්සයි-20 තරගාවලියෙනුත් මාව ඉවත් කළා. නිදහස් කුසලාන තරගාවලියට පෙර පැවැති අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මම වැඩිම කඩුලු ලාභියා බවටත් පත් වුණා. මම දන්නේ නැහැ නිදහස් කුසලාන තරගාවලියෙන් මාව ඉවත් කරන්නට ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුණද කියලා” යනුවෙන් සඳහන් කළා.

කෙසේ වෙතත් මෙවර අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස කටයුතු කිරීමට කළ ආරාධනාව ඉතාමත් සතුටින් භාරගත් බව පැවසූ මාලිංග තම ඉදිරි සැලසුම් පිළිබදව ද අදහස් දක්වමින් “අයි.පී.එල්. තරගාවලිය මැයි 26 දා නිමා වෙනවා. ඒ නිසා එළැඹෙන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා සංචාරයේදී මාව කණ්ඩායමට තෝරාගත්තොත් මට පුළුවන් උපරිමය රට වෙනුවෙන් කරනවා. කෙසේ වෙතත් මම 2019 හා 2020 වර්ෂවල හොඳින් ක්‍රීඩා කරල රටට ජයග්‍රහණයක් ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. දැනට මම හොද ශරීර සෞඛ්‍යයෙන් පුහුණුවීම් කටයුතු හොඳින් සිදු කරමින් ඉන්නවා” යනුවෙන් ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *