විද්‍යා දැරිය ඝාතනය කළ 7 ක් පෝරකයට : ලක්ෂ 70 ක් වන්දි : රජයේ සාක්කි කරුවන් වූ 2 ක් නිදහස් : සීඅයිඩියට ප්‍රශංසා..!

(27.09.2017 – 16:00 +0530 – lankaenews.com)

සම්පූර්ණ වාර්තාව

යාපනයේදී සමූහ දූෂණයකට ලක්කොට මරාදැමූ විද්‍යා දැරියගේ ඝාතකයින් හත්දෙනාට යාපනය මහාධිකරණය මගින් අද (27) මරණීය දණ්ඩනය නියම කෙරිණ.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට මෙලෙස මරණීය දණ්ඩනය හිමිවූ අතර සැකකරුවන් දෙදෙනෙකු රජයේ සාක්කි කරුවන් වීම නිසා ඔවුන්ව නිදහස් කෙරිණ.

ඝාතකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.

මරණ දඬුවමට අමතරව එක් විත්තිකරුවෙකු විසින් විද්‍යාගේ පවුලට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 70 ක් වන්දි මුදලක් ගෙවිය යුතු අතර එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මරණීය දඬුවමට අමතරව විත්තිකරුවන්ට නියම කොට ඇති වසර 30 ක බරපතල වැඩ ඇති සිර දඩුවම තවත් දීර්ඝ කරණ බවද නඩු වාර්තාවේ සඳහන් වෙයි.

මෙම නඩු තීන්දුව දැක බලා ගැනීමට විද්‍යා දැරියගේ මව පියා ඇතුළු ඥාතීන් විශාල පිරිසක්ද යාපනයේ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ද අධිකරණය වෙත පැමිණ සිටියහ.

පිටු 332 කින් සමන්විත වූ මෙම නඩු වාර්තාව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා විසින් කියවන ලදී.

මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාගයට ගැණුනු අතර වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචෙලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම් ශංකර් යන මහත්වරුන් විසින් විභාග කෙරිණ.

මෙම නඩුවේ විත්තිකරුවන් නම දෙනා වූයේ :

පූබාලසිංහම් ඉන්ද්‍ර කුමාර් හෙවත් සින්නප්පා,
පූබාලසිංහම් ජෙයකුමාර් හෙවත් රවී,
පූබාලසිංහම් නවකුමාර් හෙවත් සෙන්දිල්,
මහලිංගම් ශෂිදරන් හෙවත් ශෂී,
පිල්ලෙනාදන් චන්ද්‍රකාශන් හෙවත් චන්ද්‍රා,
ශිවදේවන් කුෂාන්තන් හෙවත් පෙරියතම්බි,
පලනි රූපසිංහම් කුගනාදන් හෙවත් නිශාන්තන්,
ජයදරන් කෝකිලන් හෙවත් කන්හා,
මහලිංගම් සෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් යන අයවලුන්ය.

රජයේ සාක්කි කරුවන් නිසා නිදහස් කෙරුණේ පූබාලසිංහම් ඉන්ද්‍ර කුමාර් සහ පලනි රූපසිංහම් දෙදෙනාය.

යාපනය මහාධිකරණයේදී මෙම නඩුව විභාග වීම ආරම්හ වූ දා පැමිණිල්ලේ ආරම්භක දේශනය පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩී.එස්.ජී. කුමාරරත්නම් මහතා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම සිදු කෙළේය.

මෙම පරීක්ෂණ සිදුකළ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරී තිසේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත දෙදෙනා අධිකරණයේ විශේෂ ප්‍රශංසාවට ලක් විය.

නඩු විභාගය ආරම්භ වූ දිනයේ දී ඝාතනයට ලක්වුණ විද්‍යා දැරියගේ මව වන සිවලෝගනාදන් සරස්වතී මහත්මියගෙන් සාක්ෂි මෙහෙය වූ අතර තම දියණිය පැහැරගත් අවස්ථාවේ ඇය විසින් හැඳ සිටි ඇඳුම් සහ ඇය පරිහරණය කළ සෙසු භාණ්ඩ සාක්ෂිකාරිය හඳුනා ගත්තාය.

මෙම නඩු තීන්දුව දුන් අද දිනයේ යාපනය මහාධිකරණය අවට මෙන්ම යාපනයේ බොහෝ ස්ථාන වල පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි. එමෙන්ම අධිකරණ භූමියට වෙනත් අවශ්‍යතා උදෙසා පැමිණි සියළුම පුද්ගලයින්ද දැඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

ශිවලෝගනාදන් විද්‍යා නැමති පාසල් දැරිය යාපනය පුංගුඩුතීව් පාසලේ ඉගෙණුම ලබමින් සිටි කාලයේදී ඇය උදෑසන පාසල් යන විට 2015 මැයි මස 13 වෙනිදා සමූහ දූෂණයකට ලක් කොට ගෙළ මිරිකා මරා දමා තිබූ අතර ඇයගේ මළසිරුර ළඳු කැළෑවක තිබී පසුව සොයාගන්නා ලදී.

මෙම අපරාධය වන විට ඇයට වයස අවුරුදු 16 කි.

අපරාධය පිළිබඳව සොයා බැලූ ගම්වැසියන්ට මරා දැමූ විද්‍යා දැරියගේ මළ සිරුර හමුවීමෙන් පසුව මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ මහාලිංගම් ශෂිදරන් හෙවත් ‘ස්විස් කුමාර්’ නැමැත්තා කෙරෙහි සෘජුවම සැකයක් ඇති වී ඔහුව අල්ලා ගස් බැඳ පහර දී පොලීසියට බාර දෙන ලදී.

දේශපාලන සහාය මත හා වෙනත් බලපෑම් මත පොලීසියෙන් නිදහස ලබාගත් ‘ස්විස් කුමාර්’ කොළඹට පලාගොස් ස්විට්සර්ලන්තයට පැන යාමට සූදානමින් සිටියදී පොලීසිය ඔහුව කොළඹදී අත් අඩංගුවට ගන්නා ලදී.

සුවිස් කුමාර්ට පැනයාමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත එවකට උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයාව සිටි ලලිත් ජයසිංහ අත් අඩංගුවට පත්වූයේ ඝාතනයට ලක්වූ විද්‍යා දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය යාපනය මහාධිකරණයේදී විභාගයට ගැනෙමින් තිබූ අතර තුර ලද සාක්කි කීපයක් පදනම් කරගෙනය.

වත්මන් වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජය කලා මහේෂ්වරන් ද සුවිස් කුමාර් ට පැන යාමට අනුබල දී ඇති බවට මහාධිකරණය වෙත් ඉදිරිපත් වූ සාක්කියක් මත රහස් පොලීසිය නියෝජ්‍ය අමාත්‍යවරියගෙන් පැය හයක පමණ කාලයක් කට උත්තර ලබා ගත් අතර ඇය එහිදී පවසා තිබුණේ තමන් ඊට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවකි.

නඩු තීන්දුවේ දී ලලිත් ජයසිංහ හෝ විජයකලා වැරදි කරුවන් වී නැත.

සේයාරූ වලින් දැක්වෙන්නේ විද්‍යා දැරිය සහ අද දිනයේ යාපනයේ තිබූ තත්ත්වයයි



– සේයරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ විසිනි

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *