අප්‍රේල් පෝය වෙසක්‌ ලෙස යොදා ගැනීම මහා විහිළුවක්‌ – මල්වතු අනුනාහිමියෝ කියති

(24.04.2018 – divaina.com)

ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා විහිළුවකැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ පැවසූහ.

මැයි මාසයට යෙදෙන පසළොස්‌වක පෝ දිනය වෙසක්‌ පෝ දිනය ලෙස සැලකීමටත් මැයි මාසය වෙසක්‌ මාසය ලෙස පිළිගැනීමටත් ශ්‍රී ලංකාවාසීන්ගේ සාම්ප්‍රදායට පිටුපා මෙවර වෙසක්‌ පෝ දිනය අප්‍රේල් මස පසළොස්‌වක පෝ දිනට යොදා ගැනීම කිසිසේත්ම සිදු නොවිය යුත්තක්‌ බව විජිතසිරි අනුනායක හිමියෝ පෙන්වා දුන්හ.

බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව පින් දහම් සිදුකොට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කැපවන වෙසක්‌ පුන් පෝ දිනයද තම තමන්ගේ හිතු මතයට වෙනස්‌ කිරීම උචිත නොවන බව පැහැදිලි කරමින් ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ ඊයේ (23 දා) එසේ කියා සිටියහ.

අප්‍රේල් 29 වැනිදාට යෙදී තිබෙන පුන් පෝ දිනය බක්‌ මහේ පෝ දිනයකි. ශක රාජවංශය අනුව බක්‌ මස අගට යෙදී ඇති පුන් පෝ දිනය අධි පසළොස්‌වක පෝ දිනයක්‌ ලෙස සැලකීමේ වරදක්‌ නොමැති නමුත් වෙසක්‌ පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නොවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

තායිලන්තය, කාම්බෝජය, ටිබෙට්‌, වියට්‌නාම්, චීනය, ඉන්දියාව වැනි රටවල් වෙසක්‌ දිනය ලෙස සමරන්නේ මැයි මස අවසනට යෙදී ඇති පසළොස්‌වක්‌ පෝ දිනය බවත් ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය පවත්වන්නේද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්‌වක්‌ පෝදිනය දා බවත් අනුනායක හිමිපාණෝ පෙන්වා දුන්හ.

කිසිවකුගේ උපදෙසක්‌ මත සාම්ප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව මෙවන් තීරණ ගැනීම සාවද්‍ය බව පෙන්වා දුන් උන්වහන්සේ මෙවන් අත්තනෝමතික තීන්දු නිසා රට ජාතියට දුර්විපාක භුක්‌ති විඳීමට පවා කටයුතු යෙදීමට ඉඩ තිබෙන බවද පැවසූහ.

– සිරිල් විමලසුරේන්ද්‍ර

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *