කැනඩාවේ දී පදික වේදිකාවක් මතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය අය අතර ලාංකීක කාන්තාවක්

(25.04.2018 – 08:47 +0530 – sinhala.adaderana.lk)

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය අය අතර ශ්‍රී ලාංකීක කාන්තාවක් ද සිටින බව අනාවරණය වී තිබේ.

ඇය නමින් රේණුකා අමරසිංහ නැමැති වයස අවුරුදු 48 ක් පමණ ශ්‍රී ලාංකික කාන්තාවක් බව අද දෙරණට වාර්තා වී ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන් කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය අහංගම රතනසිරි හිමියන්ගෙන් අප විමසීමක් සිදු කළ අතර උන්වහන්සේ කියා සිටියේ, ඇය ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන බවයි.

වයස අවුරුදු 7ක පමණ කුඩා දරුවෙකු සිටින මෙම කාන්තාව තනියම රැකියාවක් කරමින් දරුවා හදාවඩා ගෙන ඇති බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.

දරුවා ඉපදීමට සිටින විටදීම ස්වාමි පුරුෂයා ඇය අත්හැර ඇති බවත් වසර 15 ක පමණ කාලයක් පුරා මෙම කාන්තාව කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථානය සමඟ සම්බන්ධතා පැවැත් වු බවත් රතනසිරි හිමියන් සඳහන් කරයි.

ඇය මේ වන විට කැනඩාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බවත් එනිසා අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන ආකාරය පිළිබඳ දායක සභාව සමඟ සාකච්ඡා කළ බවත් උන්වහන්සේ පැවසීය.

ඉතා ධෛර්යවන්ත කාන්තාවක් වු ඇයගේ කුඩා දරුවාගේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ඉටු කළ යුතු වැඩ පිළිවෙල ගැනද අවධානයට ලක් කළ ඇති අතර ඒ පිළිබඳ කළ හැකි සියලු දේ කිරීමට විහාරස්ථානය කටයුතු කරන බව ද උන්වහන්සේ සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් හඳුනා ගැනීම අසීරු වී ඇති බවත් මේ වන විටත් මළ සිරුර භාර දීම කර නොමැති බවත් රතනසිරි හිමියන් පැවසීය.

ලංකාවට පැමිණ සිය මව හා සහෝදරයන් ද හමුවී නැවතත් කැනඩාවට පැමිණ සතියක් වැනි ඉතා කෙටි කාලයකින් ඇය මෙම අනතුරට මුහුණ දී තිබේ.

අනතුර සම්බන්ධයෙන් කැනඩා රජය සිය ශෝකය පළ කළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++

——————-

+++++++++++++++++++++++++++++++++

ටොරන්ටෝ ස්ත්‍රී විරෝධියෙක් පදිකයන් යට කර පැදවූ වෑන් රියට හසුවී මිය ගිය 10 දෙනා අතර ලංකාවේ පෝෂණවේදිනියක්..!
(26.04.2018 – News e Lanka)

කැනඩාවේ ටොරන්ටෝ නගරයේ දී විකෘති මානසිකත්වයකින් යුත් 25 හැවිරිදි තරුණයෙකු විසින් පදිකයන් අතරට වෑන් රියක් පදවමින් සිදුකළ මරණ 10 අතර කැනඩාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් බියට්‍රිස් රේණුකා අමරසිංහ නමැති එක් දරු තනි මවක් සිටින බව ටොරන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම ඛෙදවාචකය වූයේ 23 වෙනිදා එරට වේලාවෙන් සවස 1.30 ට පමණය. කැනේඩියානු බලධාරීන් නිල වශයෙන් පවසා ඇත්තේ මිය ගිය රේණුකා අමරසිංහ 7 හැවිරිදි පුතෙකුගේ මවක් බවයි.

කැනේඩියානු බලධාරීන්ගේ රාජකාරි අහවර වීමෙන් පසු රේණුකාගේ මරණ කටයුතු සිදුකිරීම පිලිබඳව කොන්සල් වරයා ටොරන්ටෝ මහා විහාරයේ විහාරාමාධිපති අහංගම රතනසිරි හිමියන් සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවී සාකච්ඡා කර ඇතැයි කොන්සල් කාර්යාලය පවසයි.

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ 46 හැවිරිදි මිය ගිය බියට්‍රිස් රේණුකා අමරසිංහ තනිව විසූ මවක් බවයි. ටොරන්ටෝ දිස්ත්‍රික් පාසැල් මණ්ඩලය තහවුරු කර ඇත්තේ ඇය තම මණ්ඩලය යටතේ 2015 වසරේ සිට සේවය කළ පෝෂණවේදිනියක් බවයි. ඇය සේවය කළ පාසැලේ ගුරුවරුන් සහ දරුවන් ඇය වෙනුවෙන් ශෝක වන බවද පාසැල් මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

දස දෙනෙකුට මරු කැඳවමින් 13 දෙනෙකුට තුවාල සිදුකරමින් තම වෑන් රිය පදිකයන් අතරට පැදවූ පුද්ගලයා 25 හැවිරිදි ඇලෙක් මිනාස්සියන් නමැත්තෙකු බවත් ඔහු ස්ත්‍රී විරෝධී ‘ඉන්සෙල්වාදී‘ පුද්ගලයෙකු (සමරිසි නොවේ ) බවත් හඳුනාගෙන තිබේ. ස්ත්‍රී විරෝධී පාඨ මෙන්ම පසුගියදා ඇමරිකාවේ සමූහ ඝාතන සිදුකළ මිනීමරුවෙකු පසසමින් සටහන් කළ පාඨයන්ද ඔහුගේ ෆේස් බුක්හි තිබී හමුවී ඇති අතර ඔහු මේ වන විට අත් අඩංගුවේ පසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *