සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක්.. සිංහල බෞද්ධයන්ට ජාතිවාදී ලේබල් අලවා වැදිබණ කියන සංහිඳියාකාරයන් කෝ..

(25.04.2018 – 16:40 +0530 – lankacnews.com)

සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක් සදහා උත්සහයක් ඇති බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් මේ බව සදහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය :

අතිගරු ජනපති තුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.

ගරු ජනපතිතුමණි,

සංහිදියා නාමයෙන් ඊළාම් රාජ්‍යයක් සදහා උත්සහයක්

නව පළාත් පාලන මැතිවරණයෙන් පසුව යාපනයේ මහනගර සභාවේ මංගල සැසිය පසුගිය දා පැවතිණි. එහි දී පහත සඳහන් තීරණවලට එළඹි ඇති බව වාර්තා වේ. එනම් එල්.ටි.ටි.ඊයේ හිටපු නායකයෙක් වන තිරප්පන්ගේ පිළිරුවක් නල්ලූර් කෝවිල ඉදිරිපිට ඉදි කිරීම, එල්.ටි.ටි.ඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ නායක කිට්ටුගේ නමින් පැරණි සංගිලි උද්‍යානය නම් කිරීම හා මිය ගිය එල්.ටි.ටි.ඊ නායකයන්ගේ නමින් යාපනයේ මංමාවත් නම් කිරිම යන තීරණ වලට එළඹ ඇත. තව ද දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දා මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි පිහිටි ශ්‍රී සම්බෝධි විහාරයට ගොස් එම විහාරයේ ඉඩම් ඔප්පු පරික්ෂාවට ලක් කිරීමට උත්සහ කිරිම සහ යාපනයේ විශ්ව විද්‍යාලයේ වව්නියා මණ්ඩපයේ බහුතරයක් සිටින සිංහල ශිෂ්‍යයන්ගේ නේවාසිකා ගාරයේ බුදු පිළිමක් තබා ගැනිමට පාලක සභාව විරෝධය පලවී ඇති අවස්ථාවක එල්.ටි.ටි.ඊ සංවිධානයේ සිහිවට හදන්න අවසර ලබා දීම ගැටළුක් නොවන්නේ ද?

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානම ප්‍රතිපත්තියක් ලෙස පෙන්වා දෙන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරිමයි. එල්.ටී.ටී.ඊ සංවිධානය ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වල ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කර ඇති මොහොතක එවැනි සංවිධානයක සාමාජිකයන්ගේ නමින් අප රටේ ස්ථාන නම් කිරීමට යෑම යහපාලන රජයේ සංහිඳියාවට විශාල බාධාවකි.

ජාතික සමගිය හා සංහිඳියාව ගැන නිතර නන්දොඩවන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හා මනෝ ගනේෂන් මෙන්ම ලංකාවේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද මෙම අන්තවාදි තීරණ හා සිදුවීම් සම්බන්ධව රටට පැහැදිලි කිරිමක් සිදුකිරීම අවශ්‍යවේ. මහනුවර දිගන ප්‍රදේශයේ සිදු වූ සිදුවීමෙන් පසුව 99% ක්ම අත්අඩංගුවට ගත්තේ සිංහලයන්ය. ඔවුන්ගේ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව පවසමින් එම තරුණයන් බන්ධනාගාර ගත කර ඇත. සිංහල බෞද්ධයන්ට ජාතිවාදී ලේබලය අලවන, වැදිබණ කියන ඊනියා සංහිඳියාකාරයන්ට මේවා නොපෙනෙන්නේ ඇයි? දකුණු පළාතේ පිහිටි කෝවිල් හා පල්ලිවල ඔප්පු දකුණේ දේශපාලකයන් විසින් පරික්ෂාවට ලක් කිරීමට යන්නේ නම් කුමක් සිදුවේද? රටේ බලධාරින් මුනිවත රකින්නේ විදෙස් රටවල රූකඩයක් බවට පත්වෙලා හෝ ඩොලර්වලට යට වෙලා දැයි අපට පැහැදිලි සැකයක් ඇති වී තිබේ.

ජනපතිතුමනි, ඉහත සඳහන් සිද්ධින් සම්බන්ධයෙන් ඔබතුමාට පැවැරි ඇති විධායක බලතල භාවිතා කරමින් රටේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාව සුරකින ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

– බුදුගල ජිනවංස හිමි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *