යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සමථයකට පත්වේ

වවුනියා මණ්ඩපය නිවෙයි
(26.04.2018 – 20:29 +0530 – sinhala.adaderana.lk)

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය මණ්ඩපාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට මුළුමනින්ම සමථයකට පත් කළ බව වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වූයේ වෙසක් සතිය නිමිත්තෙන් විශ්වවිද්‍යාල භූමිය තුළ බුදු පිළිමයක් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදී පාලන අධිකාරිය හා දෙමළ සිසුන් ඊට විරෝධයක් දැක්වීමත් සමඟය.

මේ අවස්ථාවේදී විශ්වවිද්‍යාල පාලන අධිකාරිය නොසන්සුන් වාතාවරණය සමථයකට පත් කරගැනීම සඳහා විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා එහි සිසුන්ට නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසටද නියෝග කොට තිබුණි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මණ්ඩපාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට විශ්වවිද්‍යාලය විවෘත කරණ තුරු අතරමංවී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබේ.

උදා වී ඇති තත්ත්වය පිළිබඳව හා ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව වවුනියාව විශ්වවිද්‍යාලයේ සිසුන්ට උපදෙස් දී ඇති නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා එම සාකච්ඡාවලින් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා සමඟද මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පිණිස 26 දා උදෑසන පාලන අධිකාරියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

වවුනියාව විශ්වවිද්‍යාල භූමිය තුළ බුදුමැදුරක් ඉදි කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසර ලබා ගැනීමෙන් පසුව ඉදිරි මාස දෙක තුළ එහි ඉදිකිරීම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් ලබා දීමටද විශ්වවිද්‍යාල පාලන අධිකාරිය එකග වී තිබේ.

අක්කර 160 කින් පමණ සමන්විත වවුනියාව විශ්වවිද්‍යාල භූමිය තුළ සියලුම ආගමික ස්ථාන පිහිටුවීම පිණිස අක්කර දෙකක භුමියක් වෙන් කොට ඇති අතර සෙසු ආගමික ඉදිකිරීම් සඳහාද නිසි අවසරයක් ලබා ගැනීමෙන් පසුව ඊට ඉඩ දීමට පාලන අධිකාරිය එකඟ වී තිබේ.

මේ අවස්ථාවේදී වවුනියාව විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විශ්වවිද්‍යාල භූමිය තුළ බුදුමැදුරක් ඉදි කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකොට ඇත්තේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන සැලැස්මට අනුව ඊට සුදුසු ස්ථානයක් වෙන්කර දීමට පාලන අධිකාරියට බලයක් නොමැති නිසා බව මණ්ඩපාධිපතිවරයා විසින් සිසුන්ට පෙන්වා දී තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *