වත්තල පෞද්ගලික බැංකුවක් මිරිස් කුඩු ගසා කොල්ල කයි

(27.04.2018 – 17:03 +0530 – sinhala.adaderana.lk)

අද (27) දහවල් 2.30 ට පමණ වත්තල පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ල කා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් එහි ආරක්ෂක නිලධාරියා වෙත මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර බැංකුව තුළට ගොස් තිබේ.

අනතුරුව කවුන්ටරයේ තිබු රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ල කා ඔහු පැමිණි යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය විමර්ශන සිදුකරයි ෴

******************************************

රහසිගතව මත්ද්‍රව්‍ය රැගෙනවිත් බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවරාම්කරුවෙක් අල්ලයි
(27.04.2018 – 16:10 +0530 – sinhala.adaderana.lk)

මෙරටට රහසිගතව මත්ද්‍රව්‍ය රැගෙනවිත් බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවරාම්කරුවෙකු වන විදෙස් ජාතිකයෙකු සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල, රැකව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී නවතම මත්ද්‍රව්‍ය විශේෂයක් ළඟ තබාගෙන සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහිදී මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතික පුද්ගලයා 36 හැවිරිදි ඔස්ට්‍රේයානු ජාතිකයෙකු වන අතර ඔහු සතුව තිබී බ්ලැක් මෙන්ඩි නැමැති මත්ද්‍රව්‍යය‍ ග්‍රෑම් 82 ක ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වැටලීමකදී එම මත්ද්‍රව්‍ය වර්ගය සොයාගත් පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු ජාතිකයා මෙරටට විවිධ සාද සංවිධාන කිරීමේ නිරතව සිට ඇති අතර සිය රටේ සිට අදාළ මත්ද්‍රව්‍ය රහසිගතව මෙරටට රැගෙවිත් බෙදාහැරීම සිදු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනා සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සැකකරුවන් තිදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ ෴

++++++++++++++++++++++++++++++++

*****************************************

හොරණ කර්මාන්තශාලාවේ හිමිකරුත් රිමාන්ඩ්
(27.04.2018 – 12:13 +0530 – hirunews.lk/sinhala)

පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් එහි හිමිකරු වන සරත් විජේරත්න, නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වුණා.

ඒ ඊට අදාළ නඩුව හොරණ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක හමුවේ අද (27) විභාගයට ගත් අවස්ථාවේදීයි.

අධිකරණයට භාර වූ එහි හිමිකරු, ජේ්‍යෂ්ඨ රසායනාගාර පාලකවරිය සහ කළමනාකරු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

අදාල රබර් කර්මාන්තශාලවේ විෂ වායුවක් ආඝ්‍රාණය වී පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු රෝහල් ගත කෙරුණේ පසුගිය 19 වනදායි.

සිද්ධියෙන් අනතුරුව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකෙරුණ අතර එහිදී අනාවරණ වූයේ එම කර්මාන්තශාලාව නිසි ආරක්ෂක විධිවිධාන වලට අනුව පවත්වාගෙන ගොස් නොමැති බවටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *