තීරණාත්මක සාකච්ඡාවකට ශ්‍රීලනිප 16 දෙනා මහින්ද හමුවට එජාප 10 කුත් එස්.බී. හමුවෙති

(29.04.2018 – mawbima.lk)

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ රටේ ගැටලුවලට විසඳුම් ලබාදෙන නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉරිදා ‘මව්බිම’ට පැවැසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමඟ හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් මේ ගැන තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීම සඳහා 16 දෙනාගේ කණ්ඩායම ළඟදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවත් දිසානායක මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ගැන දැඩි කලකිරීමෙන් මේ වන විට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 30 කට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ගෙන් 10 දෙනකු පසුගිය 26 වැනිදා රාත්‍රි තමා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බවත් එස්.බී. දිසානායක මහතා කීය.

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එම සාකච්ඡාවේදී ඔවුන් මූලික එකඟතාව පළ කළ බවද දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කරයි.

මීට අමතරව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමෙන් පසුව දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25 දෙනාගෙන් 10 දෙනකු අනිවාර්යයෙන්ම විපක්ෂයට එක්වන බවත්, ඉතිරි 15 දෙනාගෙන් 10 දෙනකු නව ආණ්ඩුවක් සඳහා ඕනෑම වේලාවක සහාය ලබාදෙන බවට පොරොන්දු වී තිබෙන බවත් දිසානායක මහතා සඳහන් කරයි.

ඒ අනුව දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25 දෙනාගෙන් 5 දෙනකු හැරෙන්නට 20 දෙනකු අනිවාර්යයෙන්ම නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සහාය ලබාදෙන බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

කිසිදු තනතුරක් භාර නොගෙන නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනා ඕනෑම අවස්ථාවකදී සහාය ලබාදීමට සූදානම් බවද දිසානායක මහතා පවසයි.

මීට අමතරව වතුකරයේ දෙමළ පක්ෂ නායකයන් හා උතුරු, නැඟෙනහිර මුස්ලිම් පක්ෂ නායකයන් සමඟද නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *