මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට වහා ඉල්ලා අස්වෙන්නැයි දන්වයි….

(27.09.2017 – 16:40 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ආණ්ඩුව ක්‍රියාත්මක කළ ව්‍යවස්ථා උප්පරවැට්ටිය කවුරුත් දැක්කා. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා ජනමත විමසුමකින් තොරව ඡන්ද කල් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණයේ කනින් රිංගීමට වෙර දැරීමට එරෙහිව නීතිඥ සංගමයේ සභාපතිතුමා දැඩි ප්‍රකාශයක් සිදු කළා. මම නිතිඥයෙකු විධියට ආඩම්බර වෙනවා අපේ සංගමයේ සභාපති පෙන්වූ ස්වාධීනත්වය, එඩිතර බව සහ වෘත්තීය භාවය පිළිබඳ. නමුත් අපි සැබෑ සිංහ නාදය බලාපොරොත්තු වුණේ නීතිඥ සංගමයේ සභාපතිගෙන් නොවේ. මැතිවරණ කොමිසමේ සභාපතිගෙන්.

පුංචි ඡන්දය කල් දැම්මේ මැතිවරණ කොමිසමේ සහයෝගයෙන්. 2015 දී සීමා නිර්ණයන් ජනාධිපති ගැසට් මගින් ප්‍රසිද්ධ කළ පසු මැතිවරණ කොමිසමට ඡන්දය පවත්වන්න තිබුණා. නමුත් ඒක කලේ නෑ. ඊට පස්සේ සීමා නිර්ණ අභියාචනා අවසන් කරන තුරු කියමින් ඡන්දය තිබ්බේ නෑ. නීති පොතේ කිසිම තැනක අභියාචනා කමිටුවක් රැස් වෙනවා නම් ඡන්දය පවත්වන්න බෑ කියලා නෑ. එහෙම නම් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය වෙලා අවසන් වන තුරු මහාධිකරණයත් නඩු ඇසීම නවත්වන්න ඕනෑ. මැතිවරණ කොමිසමේ සභාපති විශ්වාස කරනවා නම් තමන් සීමා නිර්ණ අභියාචනා හේතුවෙන් පුංචි ඡන්දය කල් දැමීම නීත්‍යානුකූලයි කියලා මම මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට අභියෝග කරනවා මාත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා.

අපි ඡන්දය කල් දැමීමට එරෙහිව උසාවි ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුනක් පැවරුවා. නඩු ඇසීම අවසන් වී මාස හයක් වෙනවා. අවාසනාවට තවම තීන්දුව නෑ. කොට්ඨාශ ක්‍රමයක් පෙන්වලා පළාත් සභා ඡන්දය කල් දැම්මාම අපි ගිහින් අගමැතිතුමාව හමු වුණා. අපේ පීඩනය හමුවේ එතුමා පොරොන්දු වුණා 2018 මාර්තු මාසේ අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණ පවත්වනවා කියලා. අපි එතුමාට ඒක හැන්සාඩ් ගත වෙන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන්න කිව්වාම ඒකත් කළා.

අපි මෙහෙම ආණ්ඩුවට පීඩනයක් එල්ල කරන අතරේ මැතිවරණ පැවැත්විය යුතු මැතිවරණ කොමිසම මොකද කරන්නේ? 2018 දෙසැම්බර් වන විට මැතිවරණ පැවැත්වුයේ නැති නම් තමන් ඉල්ලා අස් වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා. මොකද්ද මේ කියන්නේ? නෑ මාර්තු නොවේ අපි දෙසැම්බර් වෙන කම් කල් දෙන්නම්. හෙමිහිට ඡන්දයට ලැහැස්ති වෙන්න කියලා. අපි දැඩි පීඩනයක් එල්ල කරලා මාර්තු මාසයේ ඡන්ද පවත්වන්න එකඟ කර ගත්ත ආණ්ඩුවට මැතිවරණ කොමිසම තවත් මාස නවයක් කල් දෙනවා. මේක මැතිවරණ කොමිසමක් ද නැතිනම් මැතිවරණ නොපවත්වන කොමිසමක් ද?

මැතිවරණ කොමිසම ඉල්ලා අස්විය යුත්තේ 2018 දෙසැම්බර් වන තුරු ඡන්ද නොපැවැත් වුවහොත් නොවේ. දැන්ම වහාම ඉල්ලා අස්විය යුතුයි. ඡන්ද කල් දැමීම ජනතා පරමාධිපත්‍ය බිඳ හෙලීමක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කියන විට මැතිවරණ පැවැත්වීමේ වගකීම තිබෙන මැතිවරණ කොමිසම ආණ්ඩුවට ඡන්ද කල් දාන්න වංක සහයෝගය ලබා දෙනවා. පුංචි ඡන්දය වගේම පළාත් සභා මැතිවරණය කල් දමන්නේ මැතිවරණ කොමිසමේ වංක සහයෝගයෙන් කියන එක මම බය නැතුව කියනවා.

කාන්තාවන් නැති රටකට වින්නඹු අම්මලා වැඩක් නෑ වගේම මැතිවරණ නැති රටකට මැතිවරණ කොමිසමකින් වැඩක් නෑ කියලා කොමිසමේ සාමාජිකයින් වහාම ඉල්ලා අස්විය යුතුයි. ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදිව මැතිවරණ පැවැත්වීමට පීඩනයක් එල්ල කළ හැක්කේ එහෙමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තිය අනුව නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීම මැතිවරණ කොමිසමේ පරමාර්ථය විය යුතුයි. ඒ නිසා අසාධාරණ ලෙස ඡන්ද කල් තබන විට ඊට එරෙහිව හඬ නැගීම මැතිවරණ කොමිසමේ ව්‍යවස්ථාපිත වගකීමක්.

මීට අවුරුදු තුනකට කලින් අපේ රටේ සිටියා මහින්ද දේශප්‍රිය කියලා මැතිවරණ කොමසාරිස්තුමෙක්. එතුමා හරිම ස්වාධීනයි. ඒ වගේම එඩිතරයි. ආණ්ඩුවේ පාක්ෂිකයෝ මැතිවරණ නීති කඩාවි කියන බිය විපක්ෂය පළ කලාම ඒවාට ආවොත් ඔළුව කුඩු වෙන්න වෙඩි තියන්න උපදෙස් දුන්නා. මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි කරලා මැතිවරණ කොමිසමක් පත් කළාම ඒකේ සභාපති වුණෙත් මහින්ද දේශප්‍රිය කෙනෙක්. අපි හිතුවා අර එඩිතර මැතිවරණ කොමසාරිස්තුමාව මැතිවරණ කොමිසමේ සභාපති කළා කියලා. බැලින් නම් ඒ වෙන කෙනෙක්. හිටපු මැතිවරණ කොමසාරිස්ගේ රැවුල තිබුණාට ගැඹුරු හඬ තිබුණාට එතුමාට තිබුණු කොන්ද නම් මෙතුමාට නෑ.

ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණු කොන්ද නීතිඥ සංගමයට තිබුණු කොන්ද මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුවේ සභාපති අසෝක පීරිස් මහතාට තිබුණු කොන්ද මැතිවරණ කොමිසමේ සභාපතිතුමාටත් හිමි වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *