කෝකිලායි හාමුදුරුවෝ දෙමල ජනතාවටත් ආදරෙයි. පන්සල වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්

(25.04.2018 – colombotoday.com)

මුස්ලිම් හෝ හිංදු සිද්ධස්ථානයක ගැටළුවක් ඇතිවුවහෝත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත්සභා මන්ත්‍රීවරු පිරිසක් කෝකිලායි සම්බෝධි විහාරයට කඩා පැනීම පිලිබදව අප කල විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

1983 ඇතිවූ යුද්ධය හේතුවෙන්, උතුරු පළාතේ ජීවත්වෙන අවසාන සිංහලයන් පිරිස ජිවත් වෙන්නේ කෝකිලායි ප්‍රදේශයේ පමණක් බවත් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරය වසර ගණනාවක් පැරණි බවත් විහාරස්ථානයට දෙමල ජාතික සන්ධානය අඩත්තේට්ටම් කරනවානම්, එම පන්සල අයින් කරන්න හදනවානම්, ඒ වෙනුවෙන් කතා කිරීම,රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සිදුකලයුතු යුතුකමක් බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

විහාරාධිපති ස්වාමීන් වහන්සේ තමන් පෞද්ගලිකව හඳුනන බවත් රටට යහපතක් වෙන, ප්‍රදේශයට යහපතක් වෙන දෙයක් තිබෙනවානම් උන්වහන්සේ සම්පුර්ණ සහයෝගය ලබා දෙන බව තමන් අද්දැකීමෙන් දන්නා බවත් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

එම ස්වාමීන් වහන්සේ ක්‍රිස්තියානී පල්ලියත්, ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවත් සමග ඉතා සුහදව කටයුතු කරන බවත් ප්‍රදේශයේ රැකියා ලබා දෙන්නේනම් දෙමල ජනතාවටත් අනිවාර්යයෙන්ම රැකියා ලබා දෙන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කල බව ප්‍රකාශ කර සිටි මෛත්‍රී ගුණරත්න මහතා එලෙස සාධාරණව වැඩකටයුතු කරන ස්වාමීන්වහන්සේ නමකට විරුද්ධව දෙමල ජාතික සන්ධානය කටයුතු කිරීම හෙලාදැක සිටියා.

දෙමල ජාතික සන්ධානය උතුරේ ජනතාවට වැඩකරන පක්ෂයක් ලෙස තමන් පිළිනොගන්නා බවත් ඔවුන්ට සාමය ඇති කිරීමට උවමනාවක් නැති බවත් ප්‍රකාශ කර සිටි ඒ මහතා කොළඹ සිටිද්දී එක් කතාවකුත් උතුරට ගිය විට තවත් දෙයකුත් පවසමින් ඔවුන් ජාතිවාදය ඇති කරන බව ප්‍රකාශ කර සිටියා. උතුරට ගොස් සිංහල මිනිස්සු තරහකාරයන් සේ සලකා කටයුතු කරන බවත් උතුරේ ජනතාව TNA එක ප්‍රතික්ෂේප කලයුතු කාලය දැන් එළෙඹ ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

*******************************************

පූජිතගේ භාවනා කරන පොලිසියේ පොලු පාරමිතාව..!
(28.04.2018 – News e Lanka)

භාවනා නොකළා කියා පොලිස්පති පූජිත ජයසුන්දර පොලිස් නිලධාරීන්ට පොලිස් මූලස්ථානය තුලදීම පහර දෙද්දී භාවනා කරන පොලිසිය දුරාචාර ඝනයෙකු රැක ගැනීම සඳහා එප්පාවල අහිංසක ගෑණුන්ට මෙලෙස පහර දුන්නේය. වෙසක් කට ලඟ තියාගෙන මෙතරම්ම ම්ලේච්ඡ ලෙස ගෑණුන්ට පහර දුන්නේ භාවනා කරන උන්ගේ ‘පොලු පාරමිතාව’ පිරීමට විය යුතුය.

අදාල වීඩියෝව පහතින් :

+++++++++++++++++++++++++++++++++

එප්පාවලදී කාන්තාවන්ට පොලීසියෙන් පහරදීම ගැන, පරීක්ෂණයක් ඉල්ලයි
(29.04.2018 – 19:02 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල විහාරස්ථාන භූමියක විරෝධතාවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට පොලීසිය පහරදීම පිළිබඳ වහාම පරික්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

එප්පාවල – නල්ලමුදාව ශ්‍රී ශෛලබිම්බාරාම රජ මහා විහාරයේ විහාරාධිපති ධූරයේ මීට පෙර කටයුතු කළ භික්ෂුන් වහන්සේ නමක් යළිත් එම විහාරස්ථානයට පැමිණීමට එරෙහිවයි ප්‍රදේශවාසින් ඊයේ (28) විරෝධතාවයක නිරතව ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++

එප්පාවලදී කාන්තාවන්ට පහර දුන් පොලිස් නිලධාරීන්ට විනය පියවර ගන්නැයි පොලිස්පතිගෙන් නියෝග
(30.04.2018 – 07:45 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පොලිස්පතිවරයා විසින් ඊයේ (29) දිනයේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි.

මෙම විහාරාස්ථානයේ විහාරාධිපති ධූරයේ මීට පෙර කටයුතු කළ භික්ෂුන්වහන්සේ නමක් යළිත් එම විහාරස්ථානයට පැමිණීමට එරෙහිවයි ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වූයේ පෙරේදා දිනයේදියි.

එම විරෝධතාවය මැඬ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගත්තා ෴

++++++++++++++++++++++++++++++++

කාන්තාවන්ට පහර දුන් එප්පාවල පොලිස් ලොක්කාගේ වැඩතහනම්
(30.04.2018 – 15:34 +0530 – lankadeepa.lk)

එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ දී ගම්වාසින් පිරිසකට පහර දීමේ සිද්ධියට එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය ඊයේ (29) සිට අත්හිටුවා තිබේ.

මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරික්ෂක ආර්.එම්.අබේවර්ධන මහතාගේය.

එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ භාරකරත්වය සම්බන්ධයෙන් කැකිරාව අධිකරණයේදි පැවැති නඩුවකින් පසුව එහි භාරකාරත්වය මාළිගාතැන්නේ රතනසාර හිමියන්ට පැවරිමට යාමේදි ගම්වාසින් සහ පොලිසිය අතර ගැටුමක් සිදුවී තිබිණි.
මෙහිදි ගැටුම මැඩ පැවැත්විමට පොලිසිය විසින් ගම්වාසින්ට පහරදි තිබුණි.එම පහර දීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කරන ලද අතර ඇය මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

මෙම විරෝධතාවය හේතුවෙන් පොලිසිය විසින් එදින කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එක් අයකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැර ඇතැයි එප්පාවල පොලිසිය කියයි.

මෙම පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කිරිම සඳහා උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සදුන්ගහවත්ත මහතා කැබිතිගොල්ලැව සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ මහතා පත් කර තිබුණි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ මහතා විසින් සිදුකළ පරික්ෂණයෙන් පසුව එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *