ශ‍්‍රිලනිපය විනාශයි.. මෙහෙම ගියොත් අපේක්‍ෂකයන්වත් නැති වෙනවා.. අපි වෙන් වෙනවා.. වෙනම මැයි රැළියක්.. – නිදහස් සේවක සංගමය ශ‍්‍රිලනිපයෙන් සමුගනිමින් කියයි..

(29.04.2018 – 11:20 +0530 – lankacnews.com)

ලෝක කම්කරු ජනතාව මැයි දිනය සමරන්නේ ධනේෂ්වර පංතිය විසින් උදුරාගෙන ඇති කේවල් කිරීමේ සාමූහික අයිතිය, ජීවත් වීමට සරිලන වැටුපක් ලබාගැනීම, මූලික මානව අයිතිවාසිකම් ඇතුළු ඉල්ලීම් දිනාගැනීම සදහා බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, නීතීඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා රාජගිරියේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෝක කම්කරු දින සැමරුම් රැලිය මැයි 01 දා සවස 2.30 ට කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන බවත් කම්කරු දිනය වැඩකරන ජනතාවගෙන් නොවිමසා කිසිවෙකුටත් වෙනස් කර නොහැකි බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙවර ලෝක කම්කරු දින සැමරුම පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා රාජගිරිය, සරණ මාවතේ පිහිටි නිදහස් දේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා මෙසේද කීය :

‘‘පසුගිය අප්‍රේල් 11 දා අප සංගමයේ පැවති විධායක සභාවේදී සංගමය ස්වාධීනව කටයුතු කරන්න තීරණය කළා. අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගය ගෙන එන්නට පෙර සිටයි, සංගමය මේ තීරණය ගෙන තිබුණේ. වත්මන් රජය මගින් සිදු කරමින් සිටින්නේ මේ රටේ කම්කරු පංතිය බලාපොරොත්තු වූ දේවල් නොවෙයි. ස්වාධීන වීමෙන් යම් තරමක් හෝ අපේ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගත හැකි නිසයි, මේ තීරණය ගත්තේ. ස්වාධීන වීමේ තීරණය ගන්නට පෙර මම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් පක්ෂයේ මහලේකම් තුමාටත් දැනුම් දුන්නා. අප සංගමය ලියාපදිංචි වී ඇත්තේ වෘත්තීය සමිති ආඥා පනත යටතේ බැවින් එවන් තීරණයක් ගතහැකි බවයි, ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීත් මම මේ පිළිබදව දැනුම් දීල මේ විදියට යන්න බැරි බවත් කිව්වා. වසර 03 ක් තිස්සේ ශ්‍රිලනිපය ජනතාවගෙන් ඈත් වූ බවත් තව දුරටත් එය සිදු වෙමින් පවතින බවත් මම කිව්වා. අපි ආණ්ඩුවෙන් ඉවත් වුණොත් මේ තත්ත්වය යම්තාක් දුරට හෝ ආරක්ෂා කර ගතහැකි බවත් කිව්වා. වසර 60 ක් වමේ දේශපාලනයත් සමග අත්වැල් බැදගෙන ගමන් කල ශ්‍රිලනිපය මේ වන විට දක්ෂිණාංශික දේශපාලන ගමනකට අවතීර්ණ වී තිබෙන බවත් ප්‍රකාශ කළා.

මේ විධියට ගියොත් ඉදිරි පළාත් සභා ඡන්දයට ශ්‍රිලනිපයට අපේක්ෂකයෝ සොයාගන්න පවා බැරුව යනවා. වසර 44 ක් අපේ සංගමය ශ්‍රිලනිපය සමගයි, වෘත්තීය සමිති කළේ. එයින් ඉවත් වීම ඉතා වේදනාකාරී තීරණයක්. පසුගිය දිනක ශ්‍රිලනිප මූලස්ථානයේ තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට නිදහස් සේවක සංගමය නමින් කීප දෙනෙක් පෙනී ඉදලා වෙනස් කතාවක් කිව්වා. ඒ අය අපේ සංගමයේ අය නොවෙයි. එක් අයෙක් වසර 02 කට පෙර හිටපු අයෙක්. තවත් අයෙක් සමාජිකයෙක් පමණයි. අපේ සංගමයේ සාමාජිකයෝ 900000 ක් ඉන්නවා. ඉතින් කව්රුහරි අල්ලාගෙන තිබෙනවා. සංගමයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාල කව්රුවත් එතන හිටියේ නැහැ.

මීට වසර කීපයකටත් පෙර කම්කරු දිනයක් වෙසක් දිනයත් එකම දිනයක යෙදී තිබුණා. එදා රාජ්‍ය නායකයා වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළා, මැයි දිනය ටිකක් පස්සට ගමු කියල. මෙවර කම්කරුවා හෑල්ලුවට ලක්කරල කම්කරු දිනය වෙනස් කළා. වෙනස් කිරීම කරපු විදිය වැරදියි. මේ යෝජනාව ආවේ එජාපයෙන්. කැබිනට් මණ්ඩලයට දාලා වෙනස් කළා.

ශ්‍රිලනිපය, මැයි දිනය 07 දා සමරනවා. අපි පළමු වතාවට ශ්‍රිලනිපයෙන් වෙන්ව මැයි 01 දා ලෝකවාසී ජනතාවත් සමග කම්කරු දිනය සමරනවා. මෙවර නිදහස් සේවක සංගමය මැයි දින පෙලපාලියක් පවත්වන්නේ නැහැ. අපේ මැයි රැලිය සදහා සංගමයේ සාමාජිකයින් වන වැඩ කරන ජනතාව පන්දහසකට (5000) අධික පිරිසක් සහභාගි වනවා’’. ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා වැඩි දුරටත් සදහන් සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශාකාවේ සභාපති සමන් කුමාර මහතා :

‘‘කම්කරු ජනතාවට විශාල වශයෙන් වරප්‍රසාද දිනාගත හැක්කේ ස්වාධීන වෘත්තීය සමිති අරගල හරහා පමණයි. මේ රටේ වැඩිම සමාජිකයින් සංඛ්‍යාවක් ඉන්න වෘත්තීය සමිතිය ස්වාධීන වෘත්තීය සමිතියක් වීම තුල සාමාජිකයාට සැලසෙන සෙත අති විශාලයි. දේශපාලනඥයින්ගේ සියළු ඕනෑ එපාකම් ඉටු කරන්න වැඩකරන ජනතාව යොදාගන්න ඉඩදෙන්නේ නැහැ.’’

මෙහිදී මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා මෙසේද කීය :

‘‘මැයි 01 දින පවත්වන ලෝක කම්කරු දින සැමරුම නිදහස් සේවක සංගමය ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණයේ එක් අවස්ථාවක්. කම්කරු දිනය වෙනත් දිනයක සමරන්න බැහැ. කම්කරුවාගේ හඩ මැයි 01 වගේ වෙනත් දිනක ඇගට දැනෙන්නේ නැහැ. මැයි 07 දින පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුමට නිදහස් සේවක සංගමයේ සාමාජිකයින්ටද සහභාගි විය හැකියි. නමුත් නිදහස් සේවක සංගමය නිල වශයෙන් ශ්‍රිලනිපයේ මැයි දිනයට සහභාගි වන්නේ නැහැ.

ලෝක කම්කරු දින සැමරුම වෙනමම කොළඹදී පැවැත්වීමට 2018 මාර්තු 28 දින පැවති සංගමයේ විධායක සභාව තීරණය කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනා කිරීමටද එදා විධායක සභාව තීරණය කළා. නිදහස් සේවක සංගමය ස්වාධීනව කටයුතු කිරීමට 2018 අප්‍රේල් 11 දින පැවති සංගමයේ නියෝජිත සම්මේලනය තීරණය කළා.’’

සංගමයේ නම වෙනස් කරන්නේ දැයි මාධ්‍ය ‍විසින් විමසූ අවස්ථාවේදී ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ මෙතෙක් එවන් තීරණයක් ගෙන නොමැති බවයි. ශ්‍රි ලංකා යනුවෙන් අදහස් කරන්නේ අප ජීවත්වන රට බවත් නිදහස් යන්න සිංහල වචනයක් බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ සේවක සේවිකාවන් අනූ දහසකට (90000) අධික පිරිසක් මෙහි සාමාජිකත්වය දරන බවද මොවුන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ ආයතන 480 කට අයත් සංගමයේ අනුශාඛා නියෝජනය කරන බවත් ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා මාධ්‍ය ප්‍රශ්ණ කිරීම් හමුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විදුලි බල මණ්ඩල ශාඛාවේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ඒ ප්‍රනාන්දු මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා සංගමයේ සම්පූර්ණ විධායක සභාව සහභාගි විය.

– ජයකාන්ත ලියනගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Idiot Devendra? Wesak was celebrated as a spiritual festival for more than 2500 years. Linking Rights of workers to May celebrations is a lot more recent event after communists revolution in Russia, only 100 years have passed since the revolution. If you were born into a Buddhist family, then get into your head that you were born Buddhist and your parents were celebrating Wesak long before you became a worker. So get your ideas and logic sorted out, and I dont thin only the ignorant will listen to your nonsense. I am sure wise people will vote for you with their feet. I think the issue is your ego and the fact that they did not talk to you before taking their decision. Huh!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *