හෙල සිනමාවේ නිධානය.. ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් අභාවප‍්‍රාප්ත වෙයි

(29.04.2018 – 21:58 +0530 – lankacnews.com)

ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

1919 අප්‍රේල් මස 05 වැනි දින උපන් ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 99 වන වියේ පසුවිය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ජාත්‍යන්තර ගෞරවය ලත් මෙරට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විය.

1949 වසරේ සිට ඔහු විසින් චිත්‍රපට 28 කට වඩා නිපදවා ඇත.

ගම්පෙරලිය, රේඛාව, නිධානය, කලි යුගය, ගොළු හදවත, යුගාන්තය, අවරගිර ආදී චිත්‍රපට ගණනායක් ඔහු විසින් අධ්‍යක්‍ෂණ කරන ලද ඒවායි ෴

———————————-

———————————-

ලෙස්ටර් සමුගනී
(29.04.2018 – 21:49 +0530 – lankadeepa.lk)

හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද (29 වැනිදා) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලදී අභාවප්‍රප්ත වූ බව ඉතා සංවේගයෙන් යුතුව වාර්තා කරමු.

චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු, තිරකතා රචකයකු හා විත්‍රපට නිෂ්පාදකවරයකු වූ ආචාර්ය පීරිස් මහතා මිය යනවිට 99 වැනි වියේ පසු විය.

1919 අප්‍රේල් 5 වැනිදා දෙහිවලදී ෆැරැන්සිස් පීරිස් මහතාට හා ඈන් ගෙස්ට්්‍රයට් විනිෆ්‍රච් ජයසූරිය මහත්මියගේ පුතණුවන් ලෙෂ ආචාර්ය පීරිස් මහතා උපත ලැබීය. පියා වෛද්‍යවරයකු වූ අතර මව උපාධිධාරිනියක වූවාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට එරිකා, අයිවන් සහ නොයෙල් යනුවෙන් සහෝදර සහෝදරියෝ තිදෙනෙක් වූහ.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම 17 වැනි වියේදී ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගත්තේය. ඔහු ප්‍රථමයෙන්ම ඩේලි නිව්ස් පුවත් පතේ අතිරේකයක් සංස්කරණය කළේය.

1939දී ඔහු ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතෙහි ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද කෙටි කලක් වැඩ කළේය.

1947 වසරේදි එංගලන්තයට ගොස් කලාව පිළිබඳ වැඩිදුර හැදෑරීය. 1952 වසරේදී නැවැත ලංකාවට පැමිණි ලෙස්ටර් මහතා රජයේ චිත්‍රපට අංශයේ කළමනාකරුවකු වශයෙන් සේවය කළ විලී බ්ලෙක් හා ටයිටස් තොටවත්ත මහත්වරුන් සමඟ එකතුවී වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් විය. එම උත්සාහය දේශීය සිනමාfවි විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් විය. එහි ප්‍රථිඵලයක් ලෙස 1956 වසරේදී ගැමි තේමාවක් වස්තු විෂය කරගත් රේඛාව චිත්‍රපට නිර්මාණය කළේය. එළිමහනේ රූගත කළ පළමු සිංහල සිනමා පටයද එය වේ.

අනතුරුව ඔහු අතින් තවත් විත්‍රපට රාශියක්ම නිර්මාණය විය. සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, දෑසනිසා, මඩොල්දූව, අහසින් පොළවට, වීර පුරන් අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව ආදි සිනමාපට අධ්‍යක්‍ෂණය කළ අතර 2006 වසරේදී තිරගතවූ අම්මාවරුනේ සිනමාපටය ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ අවසන් සිනමා පටයවේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1975 වසරේදී ද ‘ගෝඞ් කිං’ නැමැති ඉංග්‍රීසි සිනමාපටය අධ්‍යක්‍ෂණය කළ අතර තවත් කෙටි චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්‍ෂණය කර ඇත. ඔහුගේ සිනමාපට දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබීය.

1981 වසරේදී බැද්දේගම සහ යුගාන්තය යන චිත්‍රපට දෙකම ප්‍රංශයේ කෑන්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර බැද්දේගම චිත්‍රපටය එම වසරේදීම ලන්ඩන් සිනමා උළෙලද නියෝජනය කළේය.

යුගාන්තය සිනමා පටය මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, එයට මෙරටදී හොඳම අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මානයද හිමිවිය.

1997 වසරේදී ගෝල්ඩන් ලයන් සම්මානය, 2000දි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී මයුර සම්මානය, 2001 වසරේදී ආසියානු සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්වර්ණ පද්ම සම්මානය සහ 2002 දී ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ සම්මානයද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවිය.

1964 වසරේදී ප්‍රවීන සිනමාවේදීනි සුමිත්‍රා ගුණවර්ධන (පසුව පීරිස්) මහත්මිය සමඟ විවාහ විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය ෴

+++++++++++++++++++++++++++++++++

මහා සිනමාකරු ලෙස්ටර් සමුගනී…! – සඳරුවන් සේනාධීර ලියයි
(29.04.2018 – News e Lanka)

ලංකාවේ අග්‍රගන්‍ය මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් අද අභාවප්‍රාප්ත වී තිබේ. 1919 අප්‍රේල් 05 වෙනිදා දෙහිවලදී උපන් එතුමන් පසුගිය අප්‍රේල් 5 වෙනිදා සිය 99 වෙනි ජන්ම දිනය සැමරුවේ ය. ඒ සඳහා ජනාධිපති සහභාගී විය. ඊට පසු දිනෙක අගමැතිවරයාද ගොස් ඔහුට සුබ පැතුවේ ය. කෙසේ වෙතත් අද වෙසක් පෝදා රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී එතුමන් අභාවප්‍රාප්ත වූ බව පවුලේ අය නිවේදනය කළහ.

දොස්තර ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් සහ ඈන් ගර්ටෘෘඩ් විනිෆ්‍රීඩා ජයසූරිය යන දම්පතීන්ට දාව උපන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට එරිකා, අයිවන්, සහ නොයෙල් නමින් තවත් සහෝදර සහෝරියෝ තිදෙනෙක් වූහ. අයියා වූ අයිවන් පීරිස් යනු පසුව ප්‍රකට වූ චිත්‍ර ශිල්පියා ය. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ගෙවුනු ලෙස්ටර්ගේ කුඩා කාලයේ ඔහුට සිංහල සංස්කෘතිය ගැන කිසිදු සමීපතාවයක් තිබුනේ නැත. තිබුනා නම් තිබුනේ ඔහුගේ මිත්තනිය පියාගේ බටහිර වෙදකමට එරෙහිව සිංහල වෙදකම ගැන උජාරුවෙන් කී කතා පමණි.

ඉරණම වෙනස් කළ ප්‍රොජෙක්ටරය

කෙසේ වෙතත් දොස්තර පියා විසින් ලෙස්ටර්ට වයස අවුරුදු 11 සපිරුණු උපන්දිනයට ත්‍යාගයක් ලෙස පිරිනමන්නේ මි.මී. 8 ප්‍රොජෙක්ටරයකි. අයිවන් පීරිස් අයියාට සහ ලෙස්ටර් මල්ලීට වෙනම ලෝකයක් දිග හැරෙන්නේ ඉන් පසුවය. ඔවුහු චැප්ලින්ගේ චිත්‍රපට සහ විදේශීය චිත්‍රපට දිනපතා ගෙනැවිත් නරඹන්නට පටන් ගත්තෝය. ඇත්තටම එකළ ලංකාවේ චිත්‍රපට කර්මාන්තයක් තිබුනේ ද නැත. ලෙස්ටර් සිනමාවට ඇලුම් කළා මිස එකල ඔහු උගෙන ගත් පාසැල වූ ශාන්ත පීතර විද්‍යාලයේ පාසැල් නාට්‍යයකටවත් සම්බන්ධ වූයේ නැත.

ලෙස්ටර් පාසැල් වියේදීම එනම් අවුරුදු 17 දී ඩේලි නිව්ස් පුවත් පතේ කලා අතිරේකයකට කලාව ගැන ලිපි ලිවීම ආරම්භ කරමින් මාධ්‍යකාරියට පිවිසියේ ය. පසුව අවුරුදු 20 දී එනම් 1939 දී ‘ටයිම්ස් ඔෆ් සිලෝන්‘ පුවත්පත් ආයතනයට බැඳූනු ලෙස්ටර් එවක ඉන්දියානු කතුවරයෙකු වූ ‘ෆ්‍රෑන්ක් මොරායස්‘ මහතා යටතේ ටයිම්ස් පුවත් පතේ සේවය කෙළේය. එකල ඉතා කෙටි කාලයකට පොත් පිලිබඳ විචාරයක් ද ‘රේඩියෝ සිලෝන්‘ නමින් හැඳින් වූ රජයේ ගුවන් විදුලියේ වැඩ සටහනක් හරහා ගෙන ආ නමුත් ඔහු විචාරක වැඩේට එතරම් කැමැත්තක් දැක්වූයේ නැති නිසා එය අතහැර දැමුවේ ය.

ලෙස්ටර් ප්‍රථමයෙන්ම නිෂ්පාදන කාරියකට අත ගැසුවේ කොළඹ තිබූ ‘ඩ්‍රාමා සර්කල්‘ නමැති නාට්‍ය කණ්ඩායමක් සමග ය. එම කවය මගින් නොකඩවා ඉංග්‍රීසි නාට්‍ය නිපදවන ලද්දේ ය. ලෙස්ටර් එම නාට්‍ය කරුවන් සමග එක්ව රඟපෑම හැර නාට්‍ය නිෂ්පාදනයේ අනෙක් සියළුම කාර්යයන්ට සම්බන්ධව ක්‍රියා කෙළේය.

එංගලන්තයට යෑම

ලෙස්ටර් කලාව ගැන වැඩිදුර හැදෑරීම සඳහා එංගලන්තයට යන්නේ 1947 දී හෙවත් ලෙස්ටර් ට වයස අවුරුදු 28 දී ය. ඒ වන විට ලෙස්ටර්ගේ අයියා අයිවන් පීරිස් එංගලන්තයේ කලාව පිලිබඳ අධ්‍යයනයට ශිෂ්‍යත්වයක් ලබා එහි ගොස් සිටියේ ය. ලෙස්ටර් ඔහු සමග සම්බන්ධ වී කලාව ගැන වැඩිදුර හදාරන්නේ ය. එංගලන්තයේ හිඳිමින් ටයිම්ස් පුවත් පතට “Letter on the Arts from England.” මැයෙන් සතිපතා කොළමක් ද ලිවීය.

එංගලන්තයේ සිටියදී එහි තිබූ 400 ක් පමණ වූ ආධුනික සිනමා කවයන් සමග සම්බන්ධ වන ලෙස්ර්ටට තමන් හා සමාන තවත් ශ්‍රී ලාංකිකයෙකු හමුවේ. හේ නමින් ‘හේවුඩ් ජෑන්ස්‘ ය. දෙදෙනා එක්ව තවත් සිනමා කවයක් ආරම්භ කරන අතර එහිදී ලෙස්ටර් තිර කතා ලියමින් හේවුඩ් අධ්‍යක්ෂනය කරමින් තමන් සතුව තිබූ සීමිත කැමරා උපකරණ වලින් චිත්‍රපට නිපදවූහ. එහි පළමු නිර්මාණය 1949 දී නිපැයි ‘Soliloquy’ නම් කෙටි චිත්‍රපටය යි. හොඳම සිනමා තාක්ෂනික නිර්මානය ලෙස ඊට ‘මිනි සිනමා‘ සම්මානය හිමිවිය. ඉන්පසුව දෙදෙනා එක්ව තවත් පර්යේෂනාත්මක චිත්‍රපට කිහිපයක් එංගලන්තයේ දී නිපැයුවෝ ය. Farewell to Childhood සහ A Sinhalese Dance ඒ අතර විය. Farewell to Childhood බ්‍රිතාන්‍යයේ දී රිදී සම්මානයකින් පිදුම් ලැබුවේ ය.

මෙම චිත්‍රපට ඉදිරිපත් කළ තරඟ වල ජූරි සභිකයෙකු වූ එක් අපූරු මිනිසෙකි. හේ ‘රැල්ෆ් කෙනී‘ නම් විය. ඔහු යටත් විජිත ලංකාවේ ‘ෆිල්ම් යුනිට්‘ නම් රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා විය. ඔහු ලංකාවට පැමිණ ‘ෆිල්ම් යුනිට්‘ එකට සම්බන්ධ වන්නැයි ලෙස්ටර්ට ආරාධනා කළ අතර එය පිළිගත් ලෙස්ටර් ලංකාවට පැමිණ රැල්ෆ් කෙනීගේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ පටන් ගත්තේ ය. ඒ 1952 දී ය. ‘හෙරිටේජ් ඔෆ් ලංකා‘ සහ ‘නෙළුම්ගම‘ ලෙස්ටර් කෙනී සමග එක්ව නිපැයූ වාර්තා චිත්‍රපට ය. ‘ඩ්‍රයි සෝන්‘, ‘බී සේෆ් ඔර් බී සොරි‘ නමැති වාර්තා චිත්‍රපට දෙක ෆිල්ම් යුනිට් එක වෙනුවෙන් ලෙස්ටර් තනිව අධ්‍යක්ෂනය කළ වාර්තා චිත්‍රපට දෙකකි.

ලෙස්ටර් විලී ටයිටස් සහ රේඛාව

ඉන්පසුව ලෙස්ටර්ගේ ඥාතියෙකු විසින් සිංහල චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සමාගමක් ආරම්භ කරමු යැයි ලෙස්ටර්ට යෝජනා කෙළේය. එය පිළිගන්නා ලෙස්ටර් ෆිල්ම් යුනිට් හි රජයේ රැකියාවෙන් ඉවත් වී 1955 දී ‘චිත්‍රා ලංකා සමාගම‘ නමින් සමාගමක් පිහිටුවා ගත්තේ ය. ඒ සමාගම සඳහා චිත්‍රපට දෙකක් නිපදවීම ආරම්භ කරන ලෙස්ටර් නිමා කරන්නේ එක් චිත්‍රපටයක් පමණි. ශ්‍රී ලංකාවේ සිනමාව අලුත් යුගයකට ගෙන ආ ‘රේඛාව‘ නම් එම චිත්‍රපටයයි. ඒ 1956 දී ය. චිත්‍රාගාරයෙන් එළියට පැමිණ ස්වභාවික ඉර එළියේ රූපගත කළ ප්‍රථම සිංහල චිත්‍රපටය එය විය. රජයේ ‘ෆිල්ම් යුනිට්‘ හි තමන් සමග එක්ව වැඩ කළ ලන්දේසි සම්භවයකින් පැවත ආ ‘විලියම් බ්ලේක්‘ එකී රේඛාවේ සම්මානනීය කැමරා ශිල්පියා විය. එහි සංස්කරණ ශිල්පියා වූයේ ‘ටයිටස් ද සිල්වා‘ නමැත්තෙකි. පසුකලෙක ‘ටයිටස් තොටවත්ත‘ ලෙස ප්‍රකට වූයේ ඔහු ය. ලෙස්ටර්, විලී බ්ලේක්, ටයිටස් තොටවත්ත ලාංකීය සිංහල සිනමාවේ ආරම්භක කුළුණු ත්‍රිත්වය වූයේ ඒ අයුරිනි.

ලොව සම්භාව්‍ය සිනමාව සඳහා ප්‍රකට සම්මාන උළෙල වන කෑන්ස් ජාත්‍යන්තර සම්මාන උළෙලේ සිනමා කරුවෙකුගේ ප්‍රථම නිර්මාණය වෙනුවෙන් ඇති “පැල්මා ඩි‘ඔර්“ සම්මානය සඳහා 1957 දී ‘රේඛාව‘ නිර්දේශ වීමෙන් පසු ලෙස්ටර් දෙස ජාත්‍යන්තර සිනමාවේදීන්ගේ ඇස යොමු විය. (මෙකී සම්මානයේ නිර්දේශයක් පමණක් නොව ප්‍රථම ස්ථානය පසු කළෙක 2005 දී විමුක්ති ජයසුන්දරට දිනා ගත හැකි විය. ඒ ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ ‘සුළඟ එනු පිණිස‘ සඳහා ය)

රේඛාවෙන් පසු ලෙස්ටර්ගේ නිර්මාණ ගැන අනන්තවත් දේ ලේඛනගතව ඇති බැවින් මෙම ලිපියෙන් එකී පසු නිර්මාණ ගැන වැඩිදුර සඳහන් කරන්නට යන්නේ නැත.

1956 දී රේඛාවෙන් ආරම්භ කළ ලෙස්ටර්ගේ වෘතාන්ත සිනමා ජීවිතයේ 2006 දී නිමැවූ ‘අම්මාවරුනේ‘ චිත්‍රපටය දක්වා නිර්මාණ 20 කි.

ඒවා නම් රේඛාව (1956), සංදේශය (1960), ගම්පෙරළිය (1963), දෙලොවක් අතර (1966), රන්සළු (1967), ගොළු හදවත (1968), අක්කර පහ (1969), නිධානය (1972), දෑස නිසා (1972), ද ගෝඩ් කිං (1975), මඩොල් දූව (1976), අහසින් පොළොවට (1978), පිංහාමි (1979), වීර පුරන් අප්පු (1979), බද්දේගම (1980) කලියුගය (1982), යුගාන්තය (1983) අවරගිර (1995) වෑකන්ද වලව්ව (2002), අම්මා වරුනේ (2006) වේ.

ලෙස්ටර් දිනා ඇති සම්මාන රැසකි. ඒ අතරින් යුනෙස්කෝව විසින් කෑන්ස් උළෙලේ දී ලෝක සිනමා විශිෂ්ඨයන් සඳහා පුදන ‘ෆෙලිනි රන් සම්මානයෙන්‘ ලෙස්ටර් පිදුම් ලැබීම ප්‍රමුඛව ගත හැකිය. ලංකාවේ ඉහළම සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමානය‘ සම්මානයෙන්ද, ඉන්දියාව විසින් පුද්ගලයෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පුදන සම්මානයෙන් ද, ප්‍රංශ රජය විසින් ශ්‍රේෂ්ට කලාකරුවන් වෙත පුදන ‘කොමාන්ඩර්‘ නමැති සම්මානයෙන් ද ඇතුළුව දෙස් විදෙස් සම්මාන රාශියකින් ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා කලාකරුවා පිදුම් ලබා තිබේ.

සිනමාවේ අනාගත වක්තෘවරයෙකු වූ ලෙස්ටර්

බෙහෝ දෙනා ලෙස්ටර් ගැන සහ ඔහුගේ නිර්මාණ ගැන ලියා ඇත. ලෙස්ටර් ගැනම පොත් ගණන් ලියා ලංකාවේ පොරවල් වූ සමහරුද සිටිති. නමුත් මේ ලිපිය අවසන් කිරීමට පෙර ලංකා ඊ නිව්ස් විසින් යමක් එකතු කළ යුතුය. එනම් ලෙස්ටර් යනු සිනමාකරුවෙකු පමණක් නොව සිනමාවේ අනාගත වක්තෘවරයෙකු වූ බවයි. ඊට උදාහරණයක් මෙසේය.

1984 වසරේ දී එක් සිනමා පුවත් පතක මැද පිටුවක ලෙස්ටර්ගේ සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබිණ. මෙම ලියුම්කරු එය කියවන ලද අතර එහිදී ලෙස්ටර් සඳහන් කරන ලද වැදගත් ප්‍රකාශයක් නිසා එම පත්තර පිටු දෙක සංරක්ෂිතව තබා ගත්තේ ය. ( අපගේ පුස්තකාලය ගිනි තැබූ අවස්ථාවේ දී එයද ගිනි ගන්නට ඇත) අනාගත සිනමාව ගැන ලෙස්ටර් එහිදී මෙසේ කියා තිබිණ. වචනයෙන්ම සඳහන් කරන්නට මතක නැති වුවද අර්ථයේ සාරාංශය මෙසේ විය.

“සිනමාව යනු කලාවක් නොව කර්මාන්තයක් වේ. මා එසේ කියන්නේ මන්දැයි කිව හොත් කලා නිර්මාණයක් නම් එය පුද්ගලයාගේ ආත්ම ප්‍රකාශනයක් විය යුතුය. සිනමාව එසේ නැත. එය සාමූහික කර්මාන්තයකි. නමුත් යම් දිනෙක සිනමාව ද කලාවක් ලෙස විකාශනය වනු ඇත. ඒ යම් දිනෙක මෙහි පවතින කර්මාන්තමය ලක්ෂනය ඉවත්ව ගොස් සිනමා නිර්මාණය ඒක පුද්ගල ආත්ම ප්‍රකාශනයක් වන දිනක ය. ඒ පිළිබඳ පූර්ව ලක්ෂන දැනටමත් පෙන්නුම් කරයි. සුපර් 8 සිනමාව තව දුරට විකාශනය වනු ඇත. “ එදා ලෙස්ටර් කී අදහස එවැනි ය.

1984 දී ඩිජිටල් කැමරා වෙළෙඳ මට්ටමින් නිපදවා තිබුනේ නැත. 1975 දී නිමවා තිබුනද ඒවා භාවිතා කෙළේ හමුදාමය කටයුතු සඳහා පමණි. ප්‍රථම ඩිජිටල් DSLR කැමරාවක් වෙළෙඳ මට්ටමින් නිපදවන්නේ 1986 දී ජපාන නිකොන් සමාගම විසිනි. එයද චලන රූපය සඳහා නොවේ. එසේ වී නමුත් අද එය කෙතරම් ව්‍යාප්තව ඇත්දැයි කිවහොත් තම දුරකථනයේ කැමරාවෙන් තනි තනි පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද අපූරු සිනමා නිර්මාණ අපි නරඹන්නෙමු. ඒවා ඔවුන්ගේ ආත්ම ප්‍රකාශනයන් ය. ලෙස්ටර් එදා කී ඒ ප්‍රකාශය ඔහුගේ ජීවිත කාලය තුලදී සත්‍ය විය. ලෙස්ටර් සිනමා කරුවෙකු පමණක් නොව සිනමාවේ අනාගත වක්තෘවරයෙකු යැයි අප සඳහන් කෙළේ එබැවිනි.

ජනාධිපතිලා අනාථයි

කලාකරුවෝ සිටිති. නමුත් මහා කලාකරුවන් විය හැක්කේ කිහිප දෙනෙකුට පමණි. ඒ සඳහා ජීවිතය හඳුනාගත හැකි මහා හදවතක් මෙන්ම අලුත් තාක්ෂනය නවීන ලෝකය පිළිබඳ හොඳ ඉවක් දැනුමක් ද තිබිය යුතුය. සිනමා උළෙලවල් ගැන පමණක් ඉව තිබුනාට මදිය. ‘අනේ මං ඔය අලුත් ගැජට් බැජට් ගැන නම් දන්නේ නෑ‘ යි කියන කලාකරුවන් යැයි කියා ගන්නා පංචස්කන්ධ අපට කොතෙකුත් හමුවී ඇත. සත්‍ය වශයෙන්ම ඒ ඔවුන්ගේ නිහතමානී කම නොවේ. ගොං කම ය. ලංකාවේ උසස් පෙළ පාසැල් සිසුන්ට ‘ටැබ්‘ අවශ්‍ය නැතැයි කියා එය තහනම් කළ පාලකයා ද අංක එකේ ගොනෙක් වන්නේ ඒ අනුව ය.

ලෙස්ටර්ගේ අභාවයෙන් ලංකාවේ ජනාධිපතිවරුන් අමාරුවේ වැටී තිබේ. වසර ගානක් තිස්සේ උපන් දිනයට කැමරා කරුවන්ද සමග දුවගෙන ගොස් කේක් කපා මාධ්‍ය වල ප්‍රචාරය කර අනුන්ගේ කීර්තියෙන් බැබලීමට දැන් ලෙස්ටර් කෙනෙක් නැත. වෙනත් කෞතුක කලාකරුවෙකු සොයා ගැනීමට හෙට සිට ජනාධිපතිවරුන්ට සිදුවනු ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති ඒ මහා කලාකරුවා තම දීර්ඝ ඩියුටිය නිමවා යන්න ගියේ ය. පේන තෙක් මානයක එවැනි දීර්ඝ ඩියුටියකට සූදානම් අයෙකු සිංහල සිනමාවේ නම් පෙනෙන්නට නැත.

– සඳරුවන් සේනාධීර විසිනි

+++++++++++++++++++++++++++++++

ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
(30.04.2018 – 08:08 +0530 – sinhala.adaderana.lk)

හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතිය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (29) රාත්‍රී කොළඹ පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්ප්‍රාවූ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය.

වර්ෂ 1919 අප්ප්‍රේල් මස 05 වන දින කොළඹ දෙහිවල ප්‍රදේශයේදි උපත ලැබූ ලෙසටර් ජෙම්ස් පිරිස් මහතා මියයන විට 99 වන වියේ පසු විය.

කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා වයස අවුරුදු 17 දී සිය ජිවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගනු ලැබීය.

ඩේලි නිවස් පුවත්පතේ සංස්කාරවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා 1939 දී ටයම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ද සේවය කර තිබේ.

අනතුරුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කලක් සේවය කළ ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා පසුව 1947 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය.

1952 වසරේදී නැවත මෙරටට පැමිණෙන ඒ මහතා ටයිටස් තොටවත්ත සහ රජයේ චිත්‍රපට අංශයේ කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ විලි බ්ලෙක් ජන මහත්වරුන් සමඟ එක්ව වෘර්තාන්ත චිත්‍රපටියක් නිර්මාණය කිරිමට සූදානම් වූ අතර එය දේශිය සිනමාවේ විප්ලවීය වෙනස් සිදු කිරිමට හේතු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 1956 වසරේදී ගැමි තේමාවක් වස්තු විෂය කර ගත් මෙරට එළිමහනේ රූගත කළ පමු සිනමා පටය ලෙස සැලකෙන රේඛාව චිත්‍රපටය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා විසින් නිර්මාණය කළේය.

අනතුරුව සංදේශය, ගම්පෙරලිය, දෙලොවක් අතර, රන්සළු, ගොලු හදවත, අක්කරපහ, නිධානය, දෑසනිසා, මඩෝල්දූව, අහසින් පොලොවට, වීර පුරන්අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වලව්ව ආදී සිනමා පට රැසක් අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබීමට ඔහු සමත් විය.

2006 වසරේදී තිරගත වු අම්මාවරුනේ සිනමා පටය ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා අතින් අධ්‍යක්ෂණය කළ අවසන් සිනමා පටය වෙයි.

මීට අමාතරව ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා 1975 වසරේදී ගෝඩ්කින් නැමැති ඉංග්‍රීසි සිනමා පටය අධ්‍යක්ෂණය කළ අතර තවත් කෙටි චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර තිබේ.

ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා මෙරට සිනමාව වෙනුවෙන් සිදු කළ අග්‍රගන්‍ය සේවාව වෙනුවෙන් දේශිය මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.

අද දෙරණ සංවිධානය කරන “ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්” සම්මාන උළෙලේදී ජිවිතේ එක්වරක් පමණක් හිමිවන විශේෂ සම්මානයෙන් ද ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා පසුගියදා පිදුම් ලැබීය ෴

+++++++++++++++++++++++++++++++

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා
(30.04.2018 – 10:38 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ.

අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය මේ වන විට මල් ශාලාවේ සිට තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ, අංක 24 දරණ ඔහුගේ නිවසට රැගෙන එන බව වාර්තා වෙයි.

ලෙස්ට්ර් ජේම්ස් පීරිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(29) අභාවප්‍රාප්ත විය.

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

රිදී තිරය ඔප කර මැකී ගිය රේඛාව – ලෙස්ටර්
(30.04.2018 – 18:01 +0530 – lankadeepa.lk)

ලේඛකයකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කර ලොව අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 99 වැනි වියේ දී දැයෙන් සමුගත්තේ ලොව සිටි වයෝවෘද්ධතම සිනමා වේදියා ලෙසිනි.

චිත්‍රාගාරයකින් පරිබාහිරව මෙරට නිර්මාණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වූ “රේඛාව” සිනමා සිත්තම නිර්මාණය කරමින් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ලෙස්ටර් දේශීය සිනමාවේ බොහෝ සන්ධිස්ථාන සළකුණු කළ මෙරට අද්විතීය සිනමා නිර්මාණකරුවාය. ඔහුගේ නාමය මෙරට අමරණීය වන්නේ එබැවිනි.

ඔහු සිහිපත් නොකර මෙරට සිනමාව ගැන කිසිදා කතා කරන්නට නොහැකි වන බව අවිවාදිතය.

දෙහිවල පදිංචි රෝමානු කතෝලික වෛද්‍යවරයකු වූ ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතාට දාව ඈන් ගම්රූඩ් විනිෆ්‍රඩ් ජයසූරිය මහත්මියගේ කුසින් 1919 වර්ෂයේ අප්‍රේල් මස 05 වැනි දින මෙළොව එළිය දුටු පුංචි පුතුට දෙමාපියන් නම් තැබූවේ ලෙස්ටර් ජේම්ස් යනුවෙනි.

ඉංග්‍රීසි බස පමණක් කතා කරන නිවසේ ලෙස්ටර් හැදී වැඩුණේ එරිකා, අයිවන් සහ නොයෙල් යන සහෝදර සහෝදරියන් තිදෙනා ද සමගිනි. කතෝලික උත්සව සමරමින් එම සංස්කෘතිය අනුව ජීවත් වූ ලෙස්ටර්ගේ පවුලේ සිංහල සංස්කෘතිය සමඟ කටයුතු කළේ ඔහුගේ මිත්තණිය පමණි.

සිංහල භාෂාව කතා කිරීමේ හැකියාවෙන් යුතු වූ ඇය ඉංග්‍රීසි වෙදකම ප්‍රතික්ෂේප කරමින් සිංහල වෙදකම කෙරෙහි විශ්වාස තබා තිබීම ලෙස්ටර්ට දේශීය සංස්කෘතිය පිළිබඳ යම් දැනුමක් ලබා ගැනීමටත් සිංහල බස කතා කිරීමේ හැකියාව ලබා ගැනීමටත් මහෝපාකාරී විය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ලෙස්ටර් ජේම්ස් පීරිස් ට ඔහුගේ පියාගෙන් අපූරු තෑග්ගක් ලැබී තිබිණි. ඒ මිලි මීටර් අටක කොඩැස්කෝ ප්‍රක්ෂේපණ යන්ත්‍රයකි. නිහඬ සිනමාව ජනප්‍රිය වී තිබූ එකළ චාලි චැප්ලින්ගේ චිත්‍රපට නැරඹීමට ඔහුත් ඔහුගේ සොහොයුරු අයිවන් පුරුදුව සිටියහ. මේ දෙදෙනා කොටස් වශයෙන් විකාශය වන ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම පුරුද්දක් කරගෙන සිටියහ.

ලෙස්ටර් සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගත්තේ ජනමාධ්‍යවේදයයි. 17 වැනි වියේ දී ඩේලි නිවුස් පුවත්පතේ අතිරේකයක් සංස්කරණය කිරීමට ඔහුට පැවරිණි. ඒ අතිරේකය තරුණ ලේඛකයන්ට මනා තෝතැන්නක් විය. ලෙස්ටර්ගේ අතිරේකයේ සිය පෑනේ සවිය පෙන්නූ ලේඛකයන් අතර මර්වින් ද සිල්වා, ඇල්ෆ්‍රඩ් ද සිල්වා, පර්සි විට්ටච්චි, ජේ.බී. ද අල්විස් හා හැරිසන් පීරිස් ද වූහ. 1939 දී ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතට එක් වූ ලෙස්ටර් ඉංග්‍රීසි ජාතිකයකු නොවන එහි පළමු සංස්කාරකවරයා වූ ඉන්දියානු ජාතික ෆ්‍රෑන්ක් මොරායස් යටතේ ලේඛන කාර්යයේ නිරත වූයේය. එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ වෙනස්කම්වලට හේතුවූවාට සැකයක් නැත. ගුවන්විදුලි සංස්ථාවේ ද කෙටි කාලයක් සේවය කළ ලෙස්ටර් නාට්‍ය අනු මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කිරීමේ අවස්ථාව උදාකරගෙන තිබිණි.

සිය මවගේ ඉල්ලීම මත ලෙස්ටර් 1947 වර්ෂයේ දී එංගලන්තයට ගියේ කලා විෂයයන් හැදෑරීමේ ශිෂ්‍යත්වයක් ලබා ගනිමිනි. ඒ වනවිටත් ඔහුගේ සොහොයුරු අයිවන් එංගලන්තයේ සිටියේය. ලෙස්ටර්ගේ ලිවීමේ විශිෂ්ටත්වය හඳුනාගෙන සිටි මොරායස් ඔහු අතහරින්නේ නැත. එංගලන්තයට ගිය ලෙස්ටර්හට ටයිම්ස් ඔෆ්

සිලෝන් පුවත්පතේ ලන්ඩන් වාර්තාකරුවා ලෙස සේවය කරන්නට අවස්ථාව සැලසිණි. මොරායස්ගේ ආරාධනයෙන් එංගලන්තයේ කලාව පිළිබඳ ලිපි ලිවීමට ද ඔහුට ඉඩ ලැබිණි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති පත්තරකාරයා තුළ සැඟව සිටි සිනමාකරුවා එංගලන්තයේ දී අවදිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ලන්ඩන් නුවර සිනමා සංගම් හා ආධුනික චිත්‍රපටකරුවන් බහුලය. එහි සිනමා නිර්මාණ ගැනත් වෙනත් කලා නිර්මාණයන් ගැනත් මෙරට පුවත්පතට ලිපි ලියමින් සිටි ලේඛකයා එරට දී හමුවූ හෙරිවර්ඩ් ජෑන්ස් නම් කැමරා ශිල්පියා සමග එක්ව “සොලිලොකියු” නමැති( “ඉබේ දෙඩුම” යන අර්ථය ඇති )විනාඩි 12ක් පමණ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. 1949 වර්ෂයේ දී මිලි මීටර 16 පටයක නිර්මාණය කළ මෙම කළු සුදු චිත්‍රපටය ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. 1950 දී එංගලන්තයේ ආධුනික හා පර්යේෂණාත්මක චිත්‍රපට නිර්මාණය කරන්නන් වෙනුවෙන් පැවැති සිනමා උළෙලක දී මෙම නිර්මාණය ඉහළම ප්‍රවීණතාව පළකරන චිත්‍රපටයට හිමි “මිනි සිනමා චැලේන්ජ් කප්” නමැති සම්මානයට ද යෝජනා වී තිබිණි.

1950 දී ඔහු සිය දෙවැනි කෙටි චිත්‍රපටය Farewell to childhood (“ළමා වියට ආයුබෝවන්”) නිර්මාණය කළ අතර මෙය ලොව හොඳම ආධුනික චිත්‍රපටය ලෙස බ්‍රිතාන්‍යයේ දී සම්මානයට පාත්‍ර විය. එමෙන් ම “ඇමටර් සයින් වර්ල්ඩ්” නම් සඟරාව විසින් බ්‍රිතාන්‍යයේ නිර්මාණය කෙරුණු හොඳම කෙටි චිත්‍රපට 10න් එකක් ලෙස ද එම චිත්‍රපටය නම් කරන ලදී.

එංගලන්තයේ සිනමාකරුවකු බවට පත්වෙමින් සිටින ඉංග්‍රීසි උගත් මේ තරුණයා යළි 1952 දී සිය මව් රටට නොපැමිණෙන්නට ඔහු බ්‍රිතාන්‍ය සිනමාකරුවකු බවට පත්වන්නට ඉඩ තිබිණි. සිය රටට පැමිණි ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයේ සිටි කැමරාකරුවකු වූ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සමග එක්ව වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඒ වනවිට ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණ බිහිවෙමින් පැවතියද ඒවා හුදෙක් ඉන්දියානු සිනමාවේ පිටපත් බවට පත්ව තිබිණි. චිත්‍රපට පටිගත කරන ලද්දේ ද චිත්‍රගාර ඇතුළතය. එබැවින් එවැනි චිත්‍රපටවල ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් හෝ දේශීය සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබුණේම නැත.

ලෙස්ටර් චිත්‍රාගාරයෙන් බැහැර වී එළිමහනේ රූගත කරමින් “රේඛාව” නම් වෘතාත්නත චිත්‍රපටය 1956 දී නිර්මාණය කළේ දේශීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමිනි.

රේඛාව චිත්‍රපටය මෙරටට අවමානයකැයි කියමින් එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ විජයානන්ද දහනායක මහතා මේ චිත්‍රපටය තහනම් කළ යුතු බවට ද මතයක් ගෙන ගියේය. මේ චිත්‍රපටය එකළ ජනප්‍රිය නොවූවත් ඉන් සිංහල සිනමාවට දැඩි බලපෑමක් සිදුවූයේය. රේඛාව හෙළ සිනමාවේ රිදී රේඛාවක් වූයේය. එය 1949දී ඉතාලි චිත‍්‍රපට අධ්‍යක්‍ෂ විටෝරියෝ ඩි සිකා (Vittorio De Sica) ගේ ‘Bicycle Thief’’ලෝක සිනමාවට කළ බලපෑමට සමාන බලපෑමක් යැයි සිනමා විචාරකයෝ කියති.

‘The Making Rekava’ යන ශීර්ෂ පාඨයෙන් 1957දී ලෙස්ටර් ‘Sight and Sound’ නම් වූ කීර්තිමත් බටහිර සිනමා සඟරාවට ලියූ ලිපිය ‘A new Chapter: Rekava’ යන මැයෙන් 1975දී සිලෝන් තියෙටර්ස් සමාගමේ 50වැනි සංවත්සර සමරු කලාපයේ පලවිය. එතුමා ලියූ එම ලිපියෙන් සිංහල සිනමාව තුළ ඔහු සිදුකළ විප්ලවය කුමක්ද යන්න පැහැදිලි වනු ඇත.

(ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සමකාලීනයෝ ද විශිෂ්ඨයෝය. ලෝක සිනමාව බිහිවී වසර 50ක් ගතවූ පසු එනම්, 1950 දශකය ආසියාවේ සිනමාව සම්බන්ධයෙන් වූ ජයග‍්‍රාහී දශකයක් විය. එනම්, ලෝක සිනමාව වෙත ආසියානු සිනමාව ගෙනයාමට සිනමාධරයන් තිදෙනෙක්ට මේ දශකය තුළ හැකිවීමයි.

ජපානයේ අකිර කුරසෝවා සිය ‘රෂෝමොන්’ චිත‍්‍රපටයෙන්ද, ඉන්දියාවේ සත්‍යජිත් රායි පතෙර් පංචාලි 1955) චිත‍්‍රපටයෙන්ද, ශ්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව- (1956) චිත‍්‍රපටයෙන්ද ලෝක සිනමාව කළඹවාලුහ.

රේඛාව වාණිජ වශයෙන් අසාර්ථක වූවානම් මෙරට සැබෑ සිනමාවේ මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමාවේ ද අවසානය වන්නට ඉඩ තිබිණ. ප්‍රංශ සිනමා විචාරකයකු වූ මාරියා ෂෙල් නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිය දී රේඛාව චිත්‍රපටය නරඹා තිබිණි. එයින් වශීකෘත වූ ඇය අසීරුවෙන් මේ නිර්මාණ කරුවා සොයාගෙන හමුවූවා පමණක් නොව ප්‍රංශයට ගොස් ඊළඟ කෑන්ස් සිනමා උලෙළටද රේඛාවට ඇරයුම් කළාය. ඒ තරමට ජාත්‍යන්තර අවධානය දිනා ගත්ත ද රේඛාව මෙරට වාණිජ වශයෙන් අසාර්ථක වීම හේතුවෙන් ලෙස්ටර් ඊළඟ වසර කිහිපයම චිත්‍රපටයක් සඳහා ආයෝජකයකු නැතිව ලතැවෙන්නට විය. එසේ සිටිය දී කේ.ගුණරත්නම් ආචාර්ය ලෙස්ටර්ට ආරාධනා කරනුයේ ඔහුගේ සිනමාස් සමාගමේ දස වැනි සංවත්සරය සඳහා චිත්‍රපටයක් නිර්මාණය කරන ලෙසය.

දකුණු ඉන්දියාවේ මුල්පෙළ සිනමාකරුවන් ලවා පමණක් චිත්‍රපට තැනූ ගුණරත්නම් ලෙස්ටර්ට සිනමා කෘතියක් ලබා දෙනුයේ රේඛාවට වසඟ වීමෙන් නොවේ. ඒ සඳහා ඔහු පොලඹවාලනුයේ ඉන්දියානු සිනමාවේ දැවැන්තයකු වන රාජ් කපූර් ය. රාජ් කපූර් චෙකොස්ලෝවැකියාවේ කාලොවිවාරි උලෙළේ දී රේඛාව දැක එයට වසඟ වී සිටියේය. “සංදේශය” චිත්‍රපටය නිර්මාණය වන්නේ ඒ ආකාරයෙනි.

ඊට පසුව නිර්මාණය කෙරුණු “ගම් පෙරළිය” පිළිබඳවද සම්මත සිනමා විචාරකයන් කිසිවක් නොකියා මුනිවත රකින්නට තරම් පෙළඹුණහ. කෙසේ වෙතත් මුල්ම සරසවිය සම්මාන උලෙළේ දී ගම්පෙරළිය හොඳම චිත්‍රපටය ලෙස අබිසෙස් ලබා එයට ඉහළ වටිනාකමක් දුන්නේය. ලාංකික මුල්ම කතානාද චිත්‍රපටය තිර ගතකර හරියටම වසර 18 ක් පිරුණු 1965 ජනවාරි 21 වැනි දින නවදිල්ලියේ දී එය හොඳම චිත්‍රපටය ලෙස රණ මයුර සම්මානය දිනා ගන්නේ එයින් පසුවය.

මේ අග්‍රගන්‍ය සිනමාකරුවා 1966 දී “දෙළොවක් අතර” චිත්‍රපටය ද 1968 දී කරුණාසේන ජයලත්ගේ නවකතාවක් ඇසුරෙන් “ගොලු හදවත” ද 1970 වර්ෂයේදි “නිධානය” ද 1983 දී “යුගාන්තය” ද ඇතුළු චිත්‍රපට 20ක් සිය දිවියේ දී අධ්‍යක්ෂණය කළේය. මේ සියලු වෘත්තාන්තයන් ඔස්‌සේ ඔහු මිනිස්‌ ජීවිතයේ විවිධාකාර අත්දැකීම් ඒ ඒ චිත්‍රපටයට උචිත ලෙස රසිකයාට දායාද කළේය. බාල බොළඳ චිත්‍රපටවලින් සෑහීමට පත්ව සිටි සිනමා ලෝලීන් ලෙස්‌ටර්ගේ චිත්‍රපට නරඹා සිය රසඥතාව වර්ධනය කර ගත්හ.

සිය ජීවිතයම ලෙස්ටර් කැප කර ඇත්තේ සිනමාව උදෙසාය. ගාමිණී ෆොන්සේකා සහ තිස්‌ස අබේසේකර සිනමාවට ගෙන එන්නේ ඔහුය. ආචාර්ය ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්‌ඩාරනායක, ප්‍රසන්න විතානගේ අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි, විමුක්‌ති ජයසුන්දර, සෝමරත්න දිසානයක ආදීන් එකී පරම්පරාගත නාමය උරුමකොට ගත්තේ ලෙස්‌ටර්ගේ සිනමා පීතෘත්වය යටතේය. ඔහු හැමවිටම ඊළඟ පරම්පරාව කෙරෙහි අප්‍රමාණ උනන්දුවක්‌ දැක්‌වූවේය. තරුණ පරම්පරාවේ රැඩිකල් සිනමා කෘති විවිධ තහංචිවලට ගොදුරු වෙද්දී ඒ වෙනුවෙන් පෙනී සිටියේය.

බොහෝ සිනමාකරුවන් එකම තේමාවක් යටතේ සිනමා නිර්මාණ බිහිකරද්දී ලෙස්ටර් ඊට වඩා වෙනස් අයුරින් සිතන්නට විය. චිත‍්‍රාගාරයට කොටුව පැවැති සිනමා කැමරාව එළිමහනට ගෙනගිය අයුරින්ම ලාංකේය සිනමාව ලෝකයා අතරට ගෙනයන ප‍්‍රථමයා ලෙස ලෙස්ටර් ඉතිහාසගත වන අතර ගැමි ජීවිතයේ

වූ අව්‍යාජත්වය ග‍්‍රහණය කරගනිමින් ‘ගම්පෙරළිය’,’ අක්කර පහ’ සහ‘බැද්දේගම’ සිනමා නිර්මාණ බිහිකරන ඔහු ගැමි ජීවිතය සිනමා නිර්මාණ තුළ මැනවින් චිත‍්‍රණය කළේය.

ඔහුගේ අසහය නිර්මාණ භාවිතය අගයනු වස් ප‍්‍රංශ රජය විසින් ‘Comander of Arts and Lester’ සම්මානයෙන් ද ‘කෑන්ස්’ චිත‍්‍රපට උළෙලේදී ‘ෆ්‍රෙඞ්රිකෝ පෙලිනි’ ගෞරව සම්මානයෙන් සහ ඉන්දීය රජය විසින් පිරිනමන ‘යාවජීව කර්තව්‍ය’ ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය. 1966 දී මෙක්සිකෝවේ ‘අකපුල්කෝ’ ලෝක චිත‍්‍රපට උළෙලේදී ‘Golden Head of Perlank’ සම්මානයෙන් ද, 1978 දී තුන්වෙනි කයිරෝ අන්තර්ජාතික උළෙලේදී හොඳම චිත‍්‍රපටය සඳහා පිරිනැමෙන ‘අක්නටොන්’ සම්මානයෙන් ද ලෙස්ටර් පිදුම් ලැබීය.

1964 වර්ෂයේ දී සුමිත්‍රා ගුණවර්ධන සමග ලෙස්ටර් විවාහ වූයේය. ඇය ද එවකට දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වූවාය. “ගැහැනු ළමයි”, “ගඟ අද්දර”, ඇතුළු චිත්‍රපට නවයක් අධ්‍යක්ෂණය කළ ඇය චිත්‍රපට හයක් සංස්කරණය කර ඇත.

රේඛාව, ගැහැනු ළමයි හා මායා චිත්‍ර පට තුන නිෂ්පාදනය කරන ලද්දේ ලෙස්ටර් විසිනි. රේඛාව චිත්‍රපටයේ ද සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා චිත්‍රපටයේ ද තිර රචකයා වූ ලෙස්ටර් නිධානය චිත්‍රපටය සංස්කරණය ද කළේය.

හෙල සිනමාව වෙනුවෙන් විප්ලවීය සේවාවක් කරන ලද ඔහුට පේරාදෙණිය හා කැලණිය විශ්වවිද්‍යාලයන් ද්විත්වයෙන් ම ආචාර්ය උපාධි පිරිනමා ඇත. සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද මෙහෙවර වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාණන් හිමිකරගත් සිනමා සම්මාන සංඛ්‍යාව අති විශාලය. මෙරට පැවැති සම්මාන උළෙලවලදී වැඩිම සම්මානයන්ට පාත‍්‍ර වූ අධ්‍යක්‍ෂවරයා ලෙස ද හැඳින්විය හැකි ලෙස්ටර්, අප රටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමාන’ සම්මානයට ද හිමිකම් කීවේය.

2002 අප්‍රේල් 05 වැනි දින ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි.

වර්ෂ 2007 දී “අම්මාවරුනේ” චිත්‍රපටය නිර්මාණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මේ අග්‍රගන්‍ය කලා කරුවා එය තම අවසන් සිනමා නිර්මාණය බව ප්‍රකාශ කරමින් සිනමා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ලැබුවේය.

———————–

ලෙස්ටර් ජේම්ස් පීරිස් ලැබූ සම්මාන :

• 1981 – බැද්දේගම – ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය

• 1981 – බැද්දේගම – ලන්ඩන් සිනමා උළෙල නියෝජනය

• 1982 – කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය

• යුගාන්තය – ජනාධිපති සම්මානය – හොදම අධ්‍යක්‍ෂණය

• 1985 – යුගාන්තය – මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය

• පිං හාමි – මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම.

• 1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)

• 2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය

• 2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව සඳහා දැක් වූ දායකත්වය සඳහා

• 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ`ද වූ සම්මානය

—————————

ලෙස්ටර්ගේ චිත්‍රපට :

• 1956 රේඛාව

• 1960 සංදේශය

• 1964 ගම්පෙරළිය

• 1966 දොලොවක් අතර

• 1967 රන්සළු

• 1968 ගොළු හදවත

• 1969 අක්කර පහ

• 1970 නිධානය

• 1972 දෑස නිසා

• 1975 ද ගෝඩ් කිං ඉංග්‍රීසි චිත්‍රපටය

• 1976 මඩොල් දූව

• 1978 අහසින් පොළවට

• 1979 පිං හාමි විස්තරාත්මක චිත්‍රපටය

• 1979 වීර පුරන් අප්පු

• 1980 බැද්දේගම

• 1982 කලියුගය

• 1983 යුගාන්තය

• 1995 අවරගිර

• 2003 වෑකන්ද වලව්ව

• 2006 අම්මාවරුනේ

– සිරංගිකා ලොකුකරවිට විසින්

++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

Photos : Lester James Peris Moments in Last Respect

+++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ප්‍රවීණ සිනමාවේදියාට රණ මයුර සම්මානය සමග හිමිවූ පදක්කම අතුරුදන්
(02.05.2018 – 19:42 +0530 – hirunews.lk/sinhala)

අද දැයෙන් සමුගත් හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ට ලැබී තිබු රණ මයුර සම්මානය සමග හිමිවූ පදක්කම අතුරුදන්වී තිබෙනවා.

සිනමාවේදීයාගේ නිවසේ තිබූ පදක්කම අද අවමංගල්‍ය කටයුතු අතර අතර අතුරුදන්වී ඇති බවටයි වාර්තා වන්නේ.

1965 වසරේදී නවදිල්ලි සිනමා සම්මාන උළෙලේදීයි ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ට මෙම සම්මානය සහ පදක්කම හිමිවුයේ.

පදක්කම අතුරුදන්වීම පිලිබඳ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ ෴

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • අප සිංමල සිනමාවේ පියානන් යැයි මෙතුමා ගෞරව සම්මානයට පත්කල යුතුම වන තරමටම ඔබතුමන් ශේුෂ්ඨය. සිනමාව පිලිබදව අධ්‍යනය කරන අපි වගේ ශිෂ්‍යයන් වෙත මෙලෙස සන්ක්ෂිප්ත තොරතුරු ගොන්නක් එකතුකල ඔබ සියලුදෙනාටමත් බෙහෙවින් සුතුතියි.!
    ——————
    (අපේ සිංහල සිනමාවේ පියාණන් යැයි මෙතුමා ගෞරව සම්මානයට පත්කල යුතුය. මෙතුමා ශ්‍රේෂ්ඨය. සිනමාව පිළිබඳව අධ්‍යයනය කරන අප වැනි ශිෂ්‍යයන් වෙත මෙලෙස සංෂිප්ත තොරතුරු ගොන්නක් එකතුකල අමරසරට බෙහෙවින් ස්තූතියි !)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *