බුද්ධ ප්‍රථිමා වහන්සේලා දහසකට ලක්ෂ 32 ක් බදු ගහලා, මහා සංඝරත්නය බලවත් අපහසුතාවයක .!

(29.04.2018 – nethgossip.lk)

“බෞද්ධ රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා, කණගාටුයි” බුද්ධ ප්‍රථිමා වහන්සේලා දහසකට ලක්ෂ 32 ක් බදු ගහලා, මහා සංඝරත්නය බලවත් අපහසුතාවයක .!

ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි විහාරස්ථාන වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා සිදු කිරීමට නියමිත දානමය පුණ්‍යකර්මයකට බදු පැනවුනු පුවතක් වාර්තා වෙනවා.

වෙසක් පොහොය යෙදුණු ඊයේ දින (29) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලා 1000 කට මෙලෙසින් රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම වහන්සේලා බෙදා දිමට නොහැකි වී තිබෙන බව සදහන්.

චීන දූතයන් විසින් මෙවැනි බුද්ධ ප්‍රථිමා වහන්සේලා වෙනත් රටවලටද පූජා කොට තිබෙන නමුත් මෙලෙසින් බුද්ධ ප්‍රථිමා වහන්සේලා මත රජයේ බදු පැනවුනේ ශ්‍රී ලංකාවේදී පමණක් බවත් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නය මාධ්‍යයට පවසා තිබුනා.

මේ පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ :

“අද වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා, ඔවුන් එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා. ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා.

ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා. මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා. ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ.

ඉතින් අද මේ ලෝකෙම වෙසක් මංගල්‍යය සමරනවා. ඒ වගේම අපේ රටේත් සමරනවා. ජනාධිපති අගමැති එක තැනකට වෙලා වෙසක් උත්සවය සමරනවා. ඉතින් මෙය හදවතට එකඟවද මේ වගේ දේවල් කරන්නේ, ලෝකය රවට්ටන්නද, ලංකාවේ මිනිස්සු රවට්ටන්නද මේවා කරන්නේ. මම කියනවා කතිරයෙන් දිනලා පාර්ලිමේන්තුවට යන අයගේ වාහන වලටත් මේ බද්ද ගහන්න ඕනේ කියලා, තවත් මංකොල්ල කන ඒවා බොහොම රාශියක් තිබෙනවා, ඒවාට චක්‍රලේඛන නැද්ද? හොරෙන් මංකොල්ල කෑවේ කොහොමද කියලා තමයි අපි අහන්නේ. වැඩමවන ලද සංඝයාවහන්සේ දහස් නමක් පමණ මෙම ස්ථානයේ වැඩසිටිනවා. උන්වහන්සේලාගේ බලවත් විරෝධය රජයට පළකර සිටිනවා මෙවැනි අදූරදර්ශී නායකයන් රටට උවමනා නෑ ” යනුවෙන් පවසා තිබුනා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ :

“අද මේ වෙසක් දිනයේ ඓතිහාසික මිහින්තලා පුදබිම තුළ චීන දානපතියන් විසින් බෙදා දීමට නියමිත බුද්ධ ප්‍රතිමා, සෑම විහාරස්ථානයකටම පරිත්‍යාග කිරීමට, මිහින්තලා රජමහා විහාරාධිපති අති ගෞරවනීය ධම්මරතන නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විධිවිධාන යොදා තිබුණා. ඉතින් බෞද්ධ රටක් වන මේ ශ්‍රී ලංකාදීපයේ රටේ බෞද්ධ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ඉන්න මේ බෞද්ධ දීපයේ, හැම තැනම ජාතික වෙසක් උත්සවය සමරන මේ උත්තරීතර අවස්ථාවේ දී ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට ලක්ෂ 32 ක පමණ බදු මුදලක්, අය කරන්න රජය තීරණය කර තිබෙනවා. ඒ නිසා අද බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිදහස් කිරීමට හැකියාවක් ලැබී නැහැ.

අද මෙතන ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල පිරිවෙන්වලින්, විද්‍යායතන වලින්, පන්සල් වලින් වැඩම කළ හාමුදුරුවන් වහන්සේලා සිටිනවා. උන් වහන්සේලා සියලු දෙනාමත්, මේ රැස්ව සිටින බෞද්ධ මහජනතාවත් අපිත් දැඩි සේ විරෝධය පලකර සිටිනවා, බෞද්ධ රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා නම් එය හෙළා දැකිය යුතු කාරණයක්, මොකද බුදු පිළිම ගෙන්නන්නේ, වෙළඳාමට නොවෙයි. බුදුන්ට වන්දනාමාන කිරීමටයි. අසරණ හාමුදුරුවරුන්ට දුප්පත් හාමුදුරුවරුන්ට පන්සල්වලට මේ වෙසක් පොහෝ දවසේ ඒ පිළිම වහන්සේලා බෙදාදීමට තමයි චීන බෞද්ධ පිරිස සූදානම් වෙලා සිටියේ ” යනුවෙන් පවසා තිබුනා ෴

*******************************************

අලුත් දුම්රිය මැදිරි දින හතරෙන් වනසලා
(30.04.2018 – 20:29 +0530 – lankadeepa.lk)

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර – මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර තිබේ.

මෙම එක් මැදිරියක් නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 14 ක පමණ මුදලක් වැය කර ඇති අතර ඒවා ධාවනයට යොදවා දින 4 ක් පමණ ගතවන විටම අගුල් කඩා, සීට් පුළුස්සා, වැසිකිලිවල සබන් රඳවන ගලවා දමා, තැන තැන ආහාර කැබලි ආදිය දමා විනාශ කර තිබෙන බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අයවැය යෝජනාවකට අනුව ක‍්‍රියාත්මක කළ පැරණි හා අබලන් වූ දුම්රිය මැදිරි 200 ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තන්ත්‍රී සමාගම විසින් නවීකරණය කෙරුණු මෙම දුම්රිය මැදිරි නවය ධාවනය සඳහා එක්කිරීම සිදුවූයේ ඉකුත් 31 වැනිදාය.

මෙම එක්මැදිරියක ආයු කාලය වසර 15 ක් වන සේ නවීකරණය කර ඇති අතර මෙවන් මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60 ක් වැයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම දුම්රිය මැදිරිවලට හානි කර තිබෙන අයුරු දැක තමන් ඉතා කණගාටුවට පත්වූ බවයි.

දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් නවීකරණය කළ දුම්රිය මැදිරි මෙම දුම්රිය සඳහා යෙදවූ බව කී අමාත්‍යවරයා මගීන් විසින්ම ඒවා විනාශ කරන්නේ නම් හොඳ සේවයක් සැපයීම ගැටලූවක් වන බව ද සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *