ජනාධිපතිට ශ‍්‍රීළනිපය ‘ඇලජික්’ වෙයි.. ගමන එජාප කොලු කුරුට්ටන් සමගයි..

(28.09.2017 – 03:23 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් වටකරගෙන රටරටවල රවුම් ගහන ජනාධිපතිවරයා හිටිහැටියේ නින්දෙන් නැගිට්ටා සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම ගැනත් නන් දොඩවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

නිව්යෝක් සංචාරයට එක්සත් ජාතික පක්ෂයේ කොලු කුරුට්ටන් පමණක් රැගෙන යාමෙන් ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාකාරයන් ‘ඇලජික්’ වී ඇති තරම පැහැදිලි වූ බව පැවසූ රණතුංග මහතා සියලු කෙනෙහිලිකම් දරාගෙන සිරිකොත වලව්වේ ඉඳුලුත් කන්නට සිදුව ඇති නිදහස් පක්ෂ ඇමැතිවරුන් ගැන රටම කම්පා වන බවත් කීවේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සංවිධාන කළ රාත්‍රී භෝජන සංග්‍රහයකින් අනතුරුව ශ්‍රී ලාංකිකයන් අමතමින් ඊයේ (26). ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

තිස් වසරක ත්‍රස්තවාදය නිමා කරලා සංවර්ධනයේ සීඝ්‍ර ගමනක් යන්න සූදානමින් හිටපු රට 2015 ජනවාරි 08 වැනි දා සිට නැවතත් අඳුරු යුගයකට යමින් තිබෙනවා. රට තුළ ඉන්න ශ්‍රී ලාංකිකයන් වගේම රටින් පිටත සිටින ඔබ වැනි ශ්‍රී ලාංකිකයනුත් අද රට මුහුණ පා තිබෙන මේ අභියෝග ගැන අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ.

මේ ආණ්ඩුව බලයට ආවේ රටට වෙනසක් උදා කරනවා කියලයි. පසුගිය අවුරුදු දෙකහමාර දිහා ආපහු හැරිලා බැලුවොත් කාට කාටත් තේරෙයි මේ අය උදා කරලා තියෙන වෙනස මොකක්ද කියලා. වෙනසක් කළා. හැබැයි ඒක රටටවත් ජනතාවටවත් හොඳ වෙනසක් නෙමෙයි. රටම විනාශ කරන වෙනසක් තමයි සිදුවුණේ.

2005 මහින්ද රාජපක්ෂ මහත්තයා රට භාර ගන්න කොට තිබුණු තත්ත්වය තමුන්නාන්සේලාට මතක ඇති. එක පැත්තකින් යුද්ධය, බිඳ වැටුණු ආර්ථිකය, ඉහළ ගිය විරැකියාව, අඩාළ වුණ සංවර්ධනය තමයි එදා අපේ රටේ ප්‍රධාන මාතෘකා වෙලා තිබුණේ. මහින්ද මහත්තයා රට භාරගෙන මේ සියලු ප්‍රශ්න එකින් එක විසඳුවා.

2015 ජනවාරි 08 වැනි දා යහපාලන නඩය භාර ගත්තේ යුද්ධයක් නැති, සංවර්ධනයට පාර කපපු රටක්. 2015 වෙනකොට රැකියා විරහිත උපාධිධාරියෝ හිටියේ නැහැ. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් තැනකට ඇවිත් තිබුණා. තවදුරටත් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් නොවන බව සාක්ෂි සහිතව ඔප්පු කරලා තිබුණා.

ඒ වගේ රටක් තමයි මේ යහපාලන නඩය විසින් අද අඳුරු යුගයකට ඇද දමලා තියෙන්නේ. බලන්න එදා ලස්සනට තිබුණු නගර අද විනාශ වෙලා තියෙන හැටි. කුණු ටික අස්කරගන්න බැරි ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ. ප්‍රාදේශීය සභා, නගර සභා ටික විසුරුවා හැරලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි.

දැන් පළාත් සභා ඡන්දයත් හොර පාරෙන් ගිහින් කල්දමා ගත්තා. පළාත් සභා මැතිවරණය කල්දානවා නම් ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙද්දිත් ආණ්ඩුව කොළේ වහලා ගහලා ඡන්දය කල්දැම්මා. මේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවවත් ගණන් ගන්නේ නැති ඒකාධිපති ආණ්ඩුවක් බවට පත් වෙලා.

ආණ්ඩුව ආපු ගමන් කළේ මැතිවරණ කොමිසන් සභාව ඇතුළු කොමිෂන් සභා පිහිටුවපු එකයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා පිහිටුවපු ‍මැතිවරණ කොමිෂන් සභාව අද ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වෙලා. මැතිවරණ කොමිසමේ නම ‘මැතිවරණ නොතියන කොමිසම’ කියලා නම වෙනස් කරන්න වෙලා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කවදත් රැඩිකල් චරිතයක්. එදා මහින්ද මහත්තයාගේ කාලේ එතුමා කිව්වේ හොර ඡන්ද දාන්න ‍ආවොත් කකුල් දෙකෙන් පහළට නෙමේ ඔලුවටම වෙඩි තියලා දානවා කියලයි. එහෙම කියපු එතුමටම අද තමන්ගේ ඔලුවටම වෙඩි තියාගන්න වෙලා තියෙනවා.

මේ රටේ ස්වාධීන යැයි ජනතා විශ්වාසයක් තිබුණු ආයතන සියල්ලම අද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දඬු අඬුවට යට වෙලා. කතානායකවරයා අද අගමැතිවරයාගේ පියන් කෙනෙක් වෙලා. මැතිවරණ කොමසාරිස්වරයා විහිලුකාරයෙක් වෙලා. පොලිස්පතිවරයා ඇමැතිවරුන්ගේ කඩේ යන කොලුවා වෙලා.

මේකද දැන් දෙනවයි කිව්ව යහපාලනය? මහින්ද මහත්තයාගේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ හඬින් කෑගහපු සිවිල් සංවිධාන, විද්වතුන් හැමෝම අද ගොලු වෙලා. ආණ්ඩුවේ දොලපිදේනි ගත්ත මහාචාර්යවරුන් දැන් ගලේ පහරපු බළල්ලු වගේ කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නවා දැක්කාම අපිටත් දුකයි.

ජනාධිපතිවරයාගේ එකම අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කරලා එක්සත් ජාතික පක්ෂයට සාදාකල් බලයේ ඉන්න අවස්ථාව හදලා දෙන එකයි. හැම පනතක්ම ගේන්නේ එක්සත් ජාතික පක්ෂයට‍ වාසිසහගත වෙන්නයි. ඒ මදිවට දැන් ජනාධිපතිවරයා එක්ක විදෙස් සංචාරවලට යන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ අය විතරයි.

නිව්යෝක් යනකොට නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් එක්කගෙන යන්න බැරි තරම් දැන් ජනාධිපතිවරයාට නිදහස් පක්ෂ‍ය ‘ඇලජික්’ වෙලා. යූ. ඇන්. පීකාරයෝ වටකරගෙන රට රටවල රවුම් ගහන ගමන් සමහර වෙලාවට නින්දෙන් නැගිටලා වගේ නිදහස් පක්ෂයේ ආරක්ෂා කිරීම ගැනත් බොරු පූචානම් කියනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *