හිටපු අගවිනිසුරු රන් අකුරින් ඉතිහාස ගතවන නඩුවක් පවරයි.. නීතීඥයා තමන්මයි.. පරමාධිපත්‍ය ඉල්ලයි..

(28.09.2017 – 14:10 +0530 – lankacnews.com)

සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ඔහු පෙත්සම මගින් කියා සිටී.

මෙරට හිටපු අගවිනිසුරුවරයෙක් ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ ඉතිහාසයේ මුල් වතාවට වන අතර පරමාධිපත්‍ය අරඹයා වන පැමිණිල්ලක් වන නිසා හදිසි කටයුත්තක් සේ සලකා මෙම නඩුව විභාගයට ගැනෙනු ඇත.

වාර්තා වන ආකාරයට මෙම නඩුව සදහා පැමිණිල්ල වෙනුවෙන් කිසිදු නීතීඥයෙක් නියෝජනය නොකරමින් හිටපු අගවිනිසුරුවරයාම පෙනී සිටිනු ඇත. ඒ සදහා ඔහුට ව්‍යවස්ථාවෙන් ප‍්‍රතිපාදන හිමිය.

පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ගෙන එන ලද 20 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විමසුමකට යොමු කල යුතු යයි දැන්වුවත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාල නොවන සංශෝධන විශාල ප‍්‍රමාණයක් එක් කර සම්මත කර ගනිමින් ජනමත විචාරණයකට නොයා පළාත් සභා මැතිවරණය කල් දමා ඇතැයි විපක්‍ෂයෙන් ප‍්‍රබල විවේචනයක් වෙයි ෴

+++++++++++++++++++++++++++++++

සරත් එන් සිල්වාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
(28.09.2017 – 13:50 +0530 – sinhala.adaderana.lk)

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති ජයන්ත ජයසූරිය, කතානායක කරු ජයසූරිය සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් නම් කර තිබේ.

පෙත්සම්කාර හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණ කල් දැමීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්ම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරිමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ මගින් පසුගියදා තීන්දුවක් ලබාදුන් බවයි.

එසේ තිබියදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන එක් කළ රජය එය හදිසියේ සම්මත කිරීමට පියවර ගත් බව සරත් එන්. සිල්වා මහතා පෙන්වා දී තිබේ.

එසේ හදිසියේ එක් කළ සංශෝධන අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට තිබු අයිතිය රජය විසින් අහිමි කළ බවට චෝදනා කරන පෙත්සම්කාර හිටපු අගවිනිසුරුවරයා පළාත් සභා මැතිවරණය කල් දැමීමේ අරමුණින් රජය සහ මැතිවරණ කොමිසම එක්ව එම කුමන්ත්‍රණය දියත් කළ බවට චෝදනා කර සිටී.

මේ නිසා පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතට අලුතින් එක් කළ සංශෝධන ක්‍රියාත්මක කිරීම වලක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා දැනට පවතින නීතිය යටතේ විසුරුවාහරිනු ලබන පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් පනවන්නැයි සරත් එන්. සිල්වා මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

++++++++++++++++++++++++++++++++

01.10.2017

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *