මට චෝදනා කරලා වැඩක් නෑ ; ඇමැති අනුර කුමාරගේ උමා ඔය ව්‍යාපෘතිය විනාශ කළේ ආණ්ඩුව – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

(28.09.2017 – 16:08 +0530 – sinhala.adaderana.lk)

විපක්ෂය දඩයම් කිරීමට අලුත් ආණ්ඩුවේ මුලු කාලයම වැය වූ නිසාත් ජවිපෙද කලින් ආණ්ඩුවේ වැරදි සෙවීමටත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතු මෙහෙයවීමටත් කාලය මිඩංගු කිරීම නිසා ජවිපෙ ඇමැතිවරයකු විසින් මුල පුරන ලද එකම මහාපරිමාන ව්‍යාපෘතිය අර්බුධයට යන විට ඊට වග කිව යුත්තේ තමා බවට ප්‍රචාර ගෙන යන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

1959 සිට විවිධ රජයන් උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සහා කළත් චන්ද්‍රිකා කුමාරණතුංග රජය යටතේ 2005 ජනවාරී 26 වනදා මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමි කර ගත්තේ එවකට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග ඇමතිවරයා වූ අනුර කුමාර දිසානායක විසින් බව මෙම නිවේදනයෙන් සිහිකර ඇත.

ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ඉල්ලා 2005 ජනවාරි 4 වන දින අමාත්‍ය අනුර කුමාර දිසානයක විසින් කැබිනට් මණ්ඩලයට යොමුකළ කැබිනට් පත්‍රිකාව උපුටා දක්වා ඇති හිටපු ජනාධිපතිවරයා එදා මෙම ව්‍යාපෘතිය පිළිබඳ අනුර දිසානායක දැරූ ආකල්පය මෙසේ දක්වා ඇත.

උපුටා දැක්වීම :

“ශ්‍රී ලංකාවේ අග්නිදිග වියලි කලාපය (විශේෂයෙන්ම හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක) දියුණු කිරීම සඳහා උමාඔයෙන් ජලය ලබාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.”

“හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක ආර්ථික වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගය මෑත කාලයේ වෙනස් වී ඇත. උමා ඔය කිරිඳි ඔයට හැරවීමේ ව්‍යාපෘතිය දැන් සලකා බලනු ලබන්නේ මෑතක සිට ප්‍රචලිත වී ඇති රුහුණුපුර සංවර්ධනය පිළිබඳ සංකල්පය අනුවය. රුහුණුපුර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ හම්බන්තොට වරාය මේ කළාපයේ නවීන වරායක් බවට පත් කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා තෙල් පිරිපහදුවක් ඉදිකිරීම යන අංගයන්ගෙන් සමන්විත ව්‍යාපෘතියකි. ඉන්දියන් සාගරයේ සැරි සරන නැව් විශාල ගණනක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බවටත්, ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයද ඇතුලුව කාර්මික කටයුතු විශාල ගණනක් සිදුවනු ඇති බවටද බලාපොරොත්තු වේ. මේ නව සංවර්ධන කටයුතු සඳහා 2030 වන විට ජල අවශ්‍යතාවය මෙට්‍රික් කියුබික් මීටර් 100 ක් වනු ඇති බවට ගණන් බලා ඇත. එම ප්‍රදේශයේ ස්ථාවර ජල සැපයුමක් නොමැති නිසා උමා ඔයෙන් ජලය ලබා ගැනීම මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එකම විකල්පය වශයෙන් සැලකේ.”

“එමනිසා මෙම ව්‍යාපෘතියට ඉහල ප්‍රමුඛතාවයක් දිය යුතුය.”

උපුටා දැක්වීම අවසන්.

2001 – 2004 එජාප ආණ්ඩුව සමයේ එකල විදුලිබල හා වාරිමාර්ග අමාත්‍යවරුන් වූ කරෑ ජයසූරිය හා ජයවික්‍රම පෙරේරාගේ සභාපතිත්වයෙන් ඌව පළාතේ සියළුම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අන්තර් අමාත්‍යංශ රැස්වීම් වලදී උමා ඔය ව්‍යාපෘතිය ඉහල ප්‍රමුඛතාවකින් යුතු ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද බවද සිය මාධ්‍ය නිවේදනයෙන් රාජපක්ෂ මහතා සිහිකර ඇත.

උමා ඔය ව්‍යාපෘතිය 2005 සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද ප්‍රමුඛතාව ලැබිය යුතු ව්‍යාපෘතියක් ලෙස සඳහන් වූයේ කලින් ආණ්ඩු ගණනාවක්ම යටතේ පෙරකී සියල්ල සිදුවූ නිසාත් ජවිපේ සහය තමන්ට හිමි වූ නිසාත් බව හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩි දුරටත් පවසා ඇත.

තත්ත්වය මෙසේ වුවත් මෑත කාලයේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැටළු මතුවූ පසු ජවිපෙ මන්ත්‍රීවරුන්, යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා ඔවුන්ට පක්ෂපාත රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් මේ සියල්ලටම වගකිවයුත්තේ මමත් මගේ ආණ්ඩුවත් බවට ප්‍රචාරයක් ගෙනයන බව රාජපක්ෂ මහතා පවසා ඇත.

මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් උමා ඔය ව්‍යාපෘතියේ අංගයක් හැටියට ඉදිවෙමින් පවතින උමං මාර්ගයක් තුළට ජලය කාන්දුවීම හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඇති වී ඇති ගැටළුවලට වගකිව යුත්තා තමන් යැයි අනුර කුමාර දිසානායක චෝදනා කළ අයුරුත් මේ සියල්ලටම හේතුව හම්බන්තොට තමන්ගේ ඉඩම් වලට ජලය සපයා ගැනීමට උමා ඔයේ ජලය හරවා ගැනීමට උත්සාහ කිරීම නිසා බවට තවත් ඇමතිවරයෙක් කළ චෝදනාවටත් මේ ව්‍යාපෘතිය ‘දේශපාලන උවමනාවක්’ මත ආරම්භ කරන ලද්දක් බවට රටේ ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයටත් අනුර කුමාර දිසානායක ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව පිළිතුරක් ලෙස හිටපු ජනාධිපති වරයා මෙහිදී හොවා දක්වා ඇත.

ඕනෑම මහපරිමාන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන විට එමඟින් අවතැන් වන හා අගතියට පත්වන පිරිසක් සිටිය හැකිබව උදාහරණ සහිතව තම මාධ්‍ය නිවේදනයෙන් පෙන්නා දී ඇති හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා රජයකට වැඩපිළිවෙළක් තිබිය යුතු බව ද අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම උමගක් ඉදිකිරීමට කැනීම් සිදුකරන විට ඊට ඉහලින් ඇති භූමියේ භූගත ජලය එය තුළට කාන්දු වීම සාමාන්‍ය සිදුවීමක් වන බැවින් උමග ඉදිකරන අතරතුර ඒ ජල කාන්දුව නැවැත්වීමට පියවර ගතයුතු වුවත් 2015 බලයට පැමිණි ආණ්ඩුව 2014 දෙසැම්බර් අවසාන කාලයේ එනම් ආණ්ඩුව බලයට පැමිණීමට දින කීපයකට පෙර සිට ආරම්භ වූ මේ ජලකාන්දුව පිළිබඳ අවධානය යොමු නොකළ බැව් සදහන් කර ඇත.

විපක්ෂය දඩයම් කිරීමට අලුත් ආණ්ඩුවේ මුලු කාලයම වැයවූ නිසා ත් ජවිපෙද කලින් ආණ්ඩුවේ වැරදි සෙවීමටත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතු මෙහෙයවීමටත් මුලු කාලයම මිඩංගු කිරීම නිසාත් උමා ඔය උමං මාර්ගයේ ජලකාන්දුව ගැන කිසිවෙකුවත් අවධානය යොමු නොකළ නමුත් කලට වේලාවට මේ ගැන පියවර ගනු ලැබුවේ නම් මෙයින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට තිබුණා මෙන්ම ජවිපෙ ඇමැතිවරයකු විසින් මුල පුරන ලද එකම මහාපරිමාන ව්‍යාපෘතිය අර්බුධයට නොයවා රැක ගැනීමට ද කියාව තිබුණ බව මෙම මාධ්‍ය නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

+++++++++++++++++++++++++++++++

පරාජය අවජාතකයි ! ජයග්‍රහණයට පියවරු සීයයි ! උමා ඔයටත් එහෙමයි ! ජවිපෙ මහින්දට උත්තර දෙයි
(29.09.2017 – nethnews.lk)

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ජනතා විමුකිති පෙරමුණට කළ චෝදනාව සම්බන්ධයෙන් ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ අදාළ ව්‍යාපෘතියෙන් ගැටලූ මතු වූ පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන්, යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා ඔවුන්ට පක්ෂපාත පිරිස් ඊට වගකිව යුත්තේ තමන් සහ පසුගිය ආණ්ඩුව බවට ප‍්‍රචාරයක් ගෙන ගිය බවයි. මෙම ව්‍යාපෘති යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

ඊට ප්‍රතිචාර දක්වන සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය 2008 අප්‍රේල් 28දා ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ බවයි. “අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමති කාලේ මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා විෂය භාර ඇමතිවරයා විදියට කැබිනට් පත්‍රිකාවක් දමපු එක ඇත්ත. නිසි පරිසර අධ්‍යන වාර්තාවකින් තොරව ඔහු ව්‍යාපෘතිය ආරම්භ කළානම් තමයි ඔහු වැරදි.

2001 – 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදී උමා ඔය ව්‍යාපෘතිය ඉහළ ප‍්‍රමුඛතාවකින් යුතු ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ බවද මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබුණා. උමා ඔය ව්‍යාපෘතියේ අඩුපාඩු සිදුව ඇත්තේ ව්‍යාපෘති උපදේශකවරුන්ගෙන් නිවැරදි උපදෙස් නොලැබීම හේතුවෙන් යැයි තමන්ට දැනගන්නට ලැබී ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් ද ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අදහස් දැක්වූවා.

“දැන් මේ ව්‍යාපෘතිය හොඳටම හරිගියා කියල හිතමුකෝ, එතකොට මේ හිටපු ජනාධිපතිතුමා කියයිද මේක අනුර කුමාර දිසානායක මහතා ගෙනාපු යෝජනාවක්. හොඳ ව්‍යාපෘතියක් කියල. නෑ. දැන් මේක වැරදිලානේ. ඒකයි මේ කියන්නේ. පරාජය අවජාතකයි.ජයග්‍රහණයට පියවරු සීයයි. දැන් මේ වෙලා තියෙන්නේ ඒකයි.”

++++++++++++++++++++++++++++++

උමා ඔය ගැන හිටපු ජනපතිගේ ලිපියට ජවිපෙන් ප්‍රතිචාර"පරාජය අවජාතකයි, ජයග්‍රහණයට පියවරු සියයයි" – සමන්ත විද්‍යාරත්න#lka #UmaOya #JVP #News1st

Posted by Newsfirst.lk on Friday, September 29, 2017

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *