ජවිපෙ මේ කරන්නේ මහා භයානක විහිළුවක්

(04.06.2018 – mawbima.lk)

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මැදිහත් වන බව පැවැසූ අනුර කුමාර දිසානායකගේ යෝජනාවේ කිසිදු තැනක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් සඳහන් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසයි.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (31 දා) පිටකෝට්ටේ පිහිටි ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඔහු මෙසේද පැවැසීය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක විධායක ජනාධිපති ධුරය කියලා තනතුරක් නැහැ. එහි 7 පරිච්ඡේදයේ 30 වගන්තිය යටතේ ජනරජයේ ජනාධිපතිවරයා කියලා යෙදුමක් තියෙනවා. ඒ වගන්තියේ තියෙනවා ‘ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වන්නේය’ කියලා. විධායක ජනාධිපති කියලා සුළු හරි හැඟවීමක් තියෙන්නේ මේ වගන්තියෙ. එහෙම නැතිව විධායක ජනාධිපති කියලා වචනයක් ව්‍යවස්ථාවෙම නැහැ. ඒක සංශෝධනය කරන්න අනුර කුමාර යෝජනා කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා කියන එක ඉවත් කිරීමට පමණයි. එතැන තියෙන අනෙක් කරුණු එහෙම්මමයි. ඔහු මෙතැනදී උත්සාහ දරන්නේ ආණ්ඩුවේ ප්‍රධානීත්වයෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීමට පමණයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් මේකේ ඇත්ත අරමුණ මේ සංශෝධනයේදී විධායකයේ ප්‍රධානියා කියන කොටසයි ඉවත් විය යුත්තේ. හැබැයි ඒකට අත තියන්නෙ නැහැ. ඔහුට හදිසි ජනාධිපතිව ආණ්ඩුවේ ප්‍රධානීත්වයෙන් ඉවත් කිරීමටයි.

මොවුන්ගේ ප්‍රධාන අරමුණු 3 ක් තියෙනවා. එහිදී පේන්න තියෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් කිසිදු තැනක සඳහන් නොවීම. දෙවැන්න ජනාධිපතිවරයාට දැනට තියෙන බලතලවලින් අතිශය බහුතරයක් අගමැතිවරයාට ලබාදීම. තුන්වැන්න තමයි අප මුල පටන් අනතුරු අඟවපු රට ෆෙඩරල් කරණය කිරීමේ මාර්ගයට යා හැකි ආකාරයේ හිස් තැන් ගොඩක් මෙහි පැවතීම.

මේ යෝජනාවෙ හැටියට 2020 දී ජනවාරි 09 වැනිදා ඉඳලා පත්වෙන මේ ජනාධිපති කොහෙන් හරි එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔහු රටට හිතැති කෙනෙක් කියලා හිතන්න බෑ. ඔහු වෙනත් න්‍යාය පත්‍රයකට ඉත්තෙක් වීම අනිවාර්යයි.

ඒ නිසා මේක එක පැත්තකින් විහිළුවක්. අනෙක් පැත්තෙන් අතිශය භයානක විහිළුවක්. මොකාටද එන්න හදන්නෙ කියලා අප පැහැදිලි කරගන්න ඕන.

මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුමයි. කොහොම වුණත් මේක ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතාම අවමයි. ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරලා තියෙන්නේ මේකට නිල වශයෙන් සහාය නොදී ඉන්න. එතකොට 2/3 ලැබෙන්නෙ නෑ. ජනමත විචාරණයකට ගියත් ඒකාබද්ධ සහාය නැතිව ඒක ජයග්‍රහණය කරන්න බැහැ.

මං හිතන්නෙ නැහැ ඔවුන් මේක නොදැනයි ආවේ කියලා. ඔවුන් දන්නවා. ඔවුන්ගේ අරමුණ තමයි ඊළඟ ජනාධිපතිවරණයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන සටන් පාඨය නැවත කර තබාගෙන යන පොදු අපේක්‍ෂකයකු ගෙන ඒමට පසුබිම සැකසීම.

ජ.වි.පෙ. නායකයා පසුගිය මාර්තු 2 එක්තරා පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියනවා මේ ව්‍යවස්ථා කෙටුම්පත ගෙන ඒම ප්‍රමාද වෙන නිසා එතකන් ඉන්න බැහැ. ඒ නිසා අපි ඊට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ඒකටයි මේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන්නෙ කියලා.

මේකෙන් පැහැදිලි වෙන්නේ එදා සම්මත කර ගන්න බැරිවුණු ෆෙඩරල් යෝජනා ටික වෙන වෙන ක්‍රමවලින් ලහි ලහියේ කරගන්න උත්සාහ දරන බව. කවුරුත් දන්නවා ජ.වි.පෙ.ට ඓතිහාසික නෑකමක් තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ඔවුන් මේ සටන් පාඨය කරේ තියාගෙන යන්න සුදුසු පුද්ගලයන් එහෙම සුදුසුකමක් තියෙන කෙනෙක් ලව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කියන සටන් පාඨය පෙන්නලා වෙනත් යමක් කරගැනීම තමයි අද වන විට සතුරාගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ ෴

++++++++++++++++++++++++++++++++++

අනුර දිසානායක රෙද්ද ගලෝගෙන කැළණි හිගන්නෙක් ගානට වැටෙයි..
(04.06.2018 – 22:58 +0530 – lankacnews.com)

20 වන ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ අනුර දිසානායක මහතාට 2020 ජනාධිපතිවරණයට මුහුණ නොදී සැඟවීමට උපායක් ලෙසද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

‘‘නැත්තං මොකෝ අනුර දිසානායක ජනාධිපතිවරණයට ඇවිල්ල 3-4% ක් ඡන්ද අරගෙන රෙද්ද ගලෝගෙන කැළණි හිඟන්නෙක් ගානට වැටෙන්නයැ ?’’

හලාවතදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා විසින් මෙම අදහස් පල කලේය.

********************************************

මාරිස්ටෙලා එකේදීත් රන්ජන් ‘වර්චස්’ වෙලා
(04.06.2018 – mawbima.lk)

මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුන්ගේ සුහද හමුවකදී ආදි සිසුවකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම සුහද හමුවේදී දේශපාලනය කතා කිරීම නිසා ඇති වූ සිද්ධියක් මත නියෝජ්‍ය අමාත්‍යවරයාට එම සුහද හමුවෙන් පිටව යෑමට සිදුවීමේ පුවතක් වාර්තා වේ. මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුන්ගේ සුහද හමුවක් පෙරේදා (02දා) විදුහල් පරිශ්‍රයේ පවත්වා ඇත. ආදි සිසුවකු ලෙස රන්ජන් රාමනායක මහතාද මෙම සුහද හමුවට සහභාගි වී තිබේ. රන්ජන් රාමනායක මහතා සංවිධායක මණ්ඩලයේ ආරාධනයෙන් මේ අවස්ථාවේ ගීතයක් ගායනා කර ඇත. දේශපාලනඥයකු ලෙස ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලනය කතා කිරීමට යෑම නිසා සිය හිතමිත්‍ර ආදි සිසුන් විරෝධය පළකර තිබේ. මේ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් තරමක කලබල ගතියක් පෙන්වීම නිසා ආදි සිසුන්ගේ විරෝධයද තරමක් වැඩි වූ බව කියයි.

සංවිධායක මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට සහාය ලබාදී නියෝජ්‍ය අමාත්‍යවරයාව විදුහල් භූමියෙන් පිටතට ගෙන යෑම මෙහිදී සිදුව ඇත ෴

+++++++++++++++++++++++++++++++++

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙක් යයි ඇමරිකාව නම් කරයි..
(04.06.2018 – 00:01 +0530 – lankacnews.com)

නියොජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු ලෙස නම් කර ඇති බව විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

රාමනායක මහතා ඇමරිකාවේ රැකියාවක් කරන කාලයේදී එරට බැංකුවකින් ලබා ගත් ණයපතකට මුදල් නොගෙවීම නිසා මෙමේ නම් කර ඇතැයිද ඔහු කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *