118 දෙනාගේ නම් හෙළි කරන්න මාස 3 ක් ඇති – ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා

(04.06.2018 – mawbima.lk)

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනාගේ තොරතුරු හෙළිකිරීම සඳහා වසර 30ක් නොව පවතින නීති ප්‍රතිපාදන අනුව ඒ සඳහා මාස 3 ක කාලයක් වුවද ප්‍රමාණවත් යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා 2 ක්, 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ සඳහන් වන බවත් එහි 2 වැනි කොටසේ සහ 5 වැනි වගන්තියේ 1,2 උප වගන්ති අනුව එසේ ප්‍රතික්ෂේප කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේ එහි 5 වැනි වගන්තියේ 1,2 (අ) උප වගන්තිය අනුව පෞද්ගලික තොරතුරු හෙළි කිරීම සිදු කළ නොහැකි යැයි පවසමින් ඔවුන් මේ තොරතුරු හෙළි නොකළද තොරතුරු දැනගැනීමේ පනතේම 5 (4) 1 වගන්තියට අනුව මේ තොරතුරු හෙළි කිරීමට හැකි බවද ආචාර්යවරයා පැවැසුවේය.

ඉහත උප වගන්තිවල කුමක් සඳහන් වුවද එසේ හෙළිකිරීම නිසා සිදුවන මහජන සුබසිද්ධිය, එම තොරතුරු හෙළි කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ යුතු යැයි තොරතුරු දැනගැනීමේ පනතේ 5 (4) 1 වගන්තියේම සඳහන් වන බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව එම තොරතුරු හෙළි කිරීමේ නීති ප්‍රතිපාදන පෑදෙන බව ඔහු පැහැදිලි කළේය.

එසේම 2018 පෙබරවාරි මස 3 වැනි සිකුරාදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයට අනුවද ප්‍රතික්ෂේප නොකොට තොරතුරු ලබා දෙන ලෙස සඳහන්ව ඇතැයි ඔහු පැවැසුවේය.

එසේම මෙම ආණ්ඩුවේ දින 100 වැඩසටහන යටතේද සියලු වංචා, හොරකම්වලට අදාළ සැකකටයුත්තන්ගේ නාම ලේඛන හෙළි කරන බව සඳහන් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

නෛතික වශයෙන් හා යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවලින් අදාළ නම් 118 හෙළිකර ගැනීමේ සුවිශේෂී ඉඩකඩක් පවතිද්දී මේවා පෞද්ගලික තොරතුරු යැයි පවසමින් යටගසා ගැනීම ආණ්ඩුවේ වුවමනාවට සිදුවන්නක් බවත් හෙතෙම පැවැසීය.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මේ තොරතුරු පෞද්ගලික ඒවා ලෙස සැලකිය නොහැකි බවද පිහිටුවූ වෙනමම විශේෂ විමර්ශන කොමිෂන් සභාවකින් හෙළිකරගත් තොරතුරු බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ නිසාම මෙවැනි තොරතුරක් යටපත් වීමට ඉඩ නොතබා මහජන සුබසිද්ධිය සඳහාය යන කරුණ ඉස්මතු වන ලෙස රටේ ජනතාව ඒකරාශී වී ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මේ තොරතුරු ඉල්ලා අඩුම තරමේ තැපැල්පතක් හෝ තැපැල් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කර සිටියේය. තොරතුරු දැනගැනීම සඳහා වන නීති ප්‍රතිපාදන සමාජයට හෙළි කිරීම වගකීමක් ලෙස සලකා තමා මේ බව මව්බිමට හෙළි කරන බවද ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය ඇමැතිවරයකුගේ ‘බොඩිගාඩ්’ගෙන් ප්‍රශ්න කරයි
(04.06.2018 – mawbima.lk)

ප්‍රශ්න ගත භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් යන අයගෙන් මුදල් ලබාගත් බව පැවැසෙන රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකුගෙන් සහ මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායකයකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රශ්න කිරීම්වලදී අදාළ පෞද්ගලික ආරක්ෂකයා ප්‍රකාශ කර ඇති පරිදි එකක් රුපියල් ලක්ෂ 10 බැගින් වූ රුපියල් ලක්ෂ තිහක් වටිනා චෙක්පත් තුනක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් තමන් ලබාගත් බව ප්‍රකාශ කර තිබේ. මේ අතර මහ බැංකුවේ කාර්යාල සහායකයා ඔහුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් තවත් පෞද්ගලික බැංකුවකින් චෙක්පත් තුනක් මුදල් බවට පත් කර ඇති අතර එයින් භාණ්ඩාගාර බැඳුම්කර වංචාවලට සම්බන්ධ බව කියැවෙන සිවුවැනි පෞද්ගලික බැංකුව පිළිබඳවද කරුණු හෙළි වී තිබේ. කෙසේ වුවද අදාළ බලධාරීන්ගෙන් විමසූවිට එම චෙක්පත් තුනෙහි වටිනාකම හෙළි කිරීමට අකැමැත්ත පළ කර ඇත ෴

++++++++++++++++++++++++++++++++++++

ඇලෝසියස් මගේ පාසැල් මිතුරෙක්.. මට උදවු කලා තමයි..- හර්ෂණ රාජකරුණා..
(04.06.2018 – 11:20 +0530 – lankacnews.com)

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයෙකු වී සිටින අර්ජුන් ඇලෝසියස් පාසැල් කාලයේ සිට තම මිතුරෙක් යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

ඇලෝසියස් තමනට ඕනෑ තරම් අදවු කර ඇති බවත් තමන්ද ඔහුට උදවු කර ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

එක්සත් ජාතික පක්‍ෂයට පමණක් නොව රාජපක්‍ෂලාටද ඇලෝසියස් ආධාර කර ඇති බවද සදහන් කරන ඔහු පසුගිය රජය සමයේ කොළඹ පැවති රාත‍්‍රි කාර් තරගවල ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වූයේද අර්ජුන් ඇලෝසියස් බවද කියයි.

දින සියයේ වැඩපිලිවෙල ගැන තමන්ද එකග නැති වුවත් සියළු දෙනා එක් වී සකස් කරන ලද එම වැඩපිලිවෙල ගැන ජනාධිපතිවරයා නොදැන සිටීම පුදුමයක් යයිද සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහනට සම්බන්ධ වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *