කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන්ගේ ගෝත්‍රික නවක වද සමය උදා වේ

(03.06.2018 – News e Lanka)

= කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන්ගේ ගෝත්‍රික නවක වද සමය උදා වේ; කැළණිය සරසවියේ ගෝත්‍රිකයෝ ප්‍රසිද්ධියේ රඟති; වදයට පත් නවකයන් ගැන බලන්න කවුරුත් නෑ..! =

මහපාරේදී කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන් විසින් සිදුකරගෙන යන ගෝත්‍රික නවක වදය දීම මේ වන විට ඉතාමත් දරුණු ලෙස කැළණි විශ්ව විද්‍යාලය තුල සිදු කරන බවත් නවක සිසුන් කියන්නට කෙනෙක් නොමැතිව අසරණ වී ඇති බවත් ‘නිව්ස් ඊ ලංකා’ වෙත වාර්තා වේ. පහත දැක්වෙන්නේ නවක වදයට පත් සරසවි නවක සිසුවෙකු අප වෙත එවල ලද ලිපියකි.

කැළැණි විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ වල ඉතාමත් නින්දිත ආකාරයෙන් ප්‍රසිද්ධියේම සිදුකරන නවක වදයේ තරම කොතෙක්දැයි මේ දිනවල ඕනෑම අයෙකුට වාහනයක නැගී කොළඹ නුවර පාරේ සිට කැලණි කැම්පස් එක උඩට ගිය විට බලා ගත හැකිය. ඕනෑම අවස්ථාවක නවක ලමයින් 500 ක් පමන පෝලිමේ තබාගෙන එක එක ෆැකල්ටි වලින් නවක වදය දෙන ආකාරය දැක ගත හැකිය. කවුරුන් හෝ ඡායාරූපයක් ගනීදැයි පරීක්ෂා කිරීමට වෙනම පිරිසක් සිටිති. කැලණි විශ්ව විද්‍යාලයට පැමිණෙන මාර්ගය දෙපස සිට සිසුන් අල්ලා ගන්නා ජ්‍යෙෂ්ඨයෝ මහ මාර්ගයේ සිටම නවක වදය දෙති.

මේ වන විට විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට තමන් කැමති ඇඳුමක් ඇඳීමට නිදහස නැත. ඔවුන් උදේ 6 වන විට විශ්ව විද්‍යාලයට පැමිණිය යුතු අතර නවක සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් යාමට නියම කර ඇත්තේ සවස 6 ට ය.

කැළණිය දළුගම ප්‍රදේශයේ සිටිනා නවක සිසුන්ට නවක වදය දීමට ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නේවාසිකාගාර වලට බලහත්කාරයෙන් රැගෙන යති. ජ්‍යෙෂ්ඨ සිසුන්ට බියවී සිටින බොහොමයක් නවක සිසුහු තම කැමත්තෙන්ම නවක වදය විඳීමට ජ්‍යෙෂ්ඨයන්ගේ නෙවාසිකාගාර වලට යති. එසේ නොගියහොත් ඔවුන්ව විශ්ව විද්‍යාලය තුල දී සොයා අල්ලාගෙන දැඩි ලෙස නවක වදය ලබා දෙති.

දිනකට පැය 2 පමණක් දේශන තිබෙනා දින වල නවක සිසුන්ට පැය 9 පමණ එක දිගට නවක වදයට මුහුණ දීමට සිදු වී ඇත. (ආහාර ගැනීමට පැයක් ලබාදෙයි). මේ සියල්ල රහසේ සිදු නොකරන අතර මේවා විශ්ව විද්‍යාලය තුල ප්‍රසිද්ධියේ සිදු කරයි.

මේ වසරේ ගතවූ කාලය තුල නවක වදය දීමේ දී සිසුන් 7 කට පමණ ක්ලාන්තය සෑදිණ. ඉන් 5 පමණ දෙනා සිසුවියන් වෙති. එක් සිසුවියක් රෝහල් ගත කළද සිදු වූ දෙය කාටවත් හෙළි නොකරන ලෙස ඇයට දැඩිව තර්ජන කෙළේය. ඇය කට පියාගෙන සිටියා ය.

විශ්ව විද්‍යාලයේ සාදා ගෙන යන පාලු ගොඩනැගිලි තුලට ගෙන ගොස් කණ්ඩායම් වශයෙන් නවක වදය ලබාදෙයි. මේවා ඉතාමත් දරුණු වද හිංසා වේ. පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් පාලු ගොඩනැගිලි තුල දණ ගස්වා පිරිමි ළමුන්ගේ ඇඳම් ගලවයි. ඔවුන් මේ වද බන්ධන වලට පවසන්නේ මේවා සිදුකරන්නේ “බැජ් ෆිට් එක” ඇති කිරීමට බවයි.

නමුත් ගැටලුව වන්නේ මෙම සිදුවීම් දුටුවත් නවක සිසුන් ආරක්ෂා කීරීම සඳහා ආචාර්ය මණ්ඩලය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ය. අනෙක් කරුණ නම් ඉතාමත් බියට පත්ව සිටිනා නවක සිසුන් මේ පිලිබඳව කිසිවෙකුට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවීම ය.

නවක වදයට විරුද්ධ වන සිසුන් “අල” කරන්නෝ ලෙස නම් කරන ජ්‍යෙෂ්ඨයෝ ඔවුන්ට ද තර්ජනය කරති. එම සිසුන් කොන්කිරීම සහ විශ්ව විද්‍යාලයට තනිව පැමිණෙන විට පහරදීම සිදුකරති. එමෙන්ම නවක වදයට විරුද්ධ වන සිසුන්ට එක් වසරකට වඩා විශ්ව විද්‍යාලයට පැමීනිමට ඉඩ නොදෙන බවත්. එම සිසුන්ගේ කැම්පස් ජීවිතය “කරුම ජීවිතයක්” බවට පත් කරන බවත් ජ්‍යෙෂ්ඨයෝ පවසති.

බලධාරීන්ද මේ ගෝත්‍රික ක්‍රියා නොසලකා සිටිනා විට නවක සිසුන්ට කාගේවත් පිළිසරණක් නැත.

– දුකට පත් නවකයෙක්..

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *