විද්‍යා දැරිය ඝාතනයට විජයකලා අත්අඩංගුවට ගනු.. – යාපනේ හර්තාල් කැදවයි..

(29.09.2017 – 16:40 +0530 – lankacnews.com)

යාපනය පුන්කුඩතිව් විද්‍යා දැරියගෙ ඝාතකයින් රැක ගැනීමට උපකාර කළ පිරිස් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටත් ඒ වෙනුවෙන් 30 වැනිදා යාපනයේ හර්තාලයක් පවත්වන බවට යාපනය නගරයේ ස්ථාන කිහිපයක අද (29) පොස්ටර් අලවා තිබුණි.

එම පොස්ටර් වල සඳහන කොට තිබුනේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා ස්විස් කුමාර්ට උපකාර කළ නීතිඥ තමිල් මාරන් නමැත්තාගේ ජායාරූප යොදා අදාල පිරිස් වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක කොට සාධාරණයක් කළ යුතු බවටයි.

විද්‍යා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් අත්අඩංගුවේ සිටින අවස්ථාවේදී ඔහු මුදා හැරීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් හා නීතිඥ තමිල්මාරන් නමැත්තා උපකාර කළ බවටද අදාල පෝස්ටර් මගින් පෙන්වා දී තිබුණී.

යාපනය දූපත් ජනතාව හා යාපනය කාන්තා සංවිධාන විසින් මෙම පෝස්ටර් අලවා තිබූ අතර 30 වනදා යාපනයේ හර්තාලයක් සිදු කිරීමටද සහය වන මෙන් ඉල්ලා ඇත.

නමුත් වෙළඳ සංවිධාන ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් කියා සිටින්නේ 30 වනදා හර්තාලයක් සිදු කිරීමට තරම් ක්‍රියාවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවටත් විද්‍යා දැරියට මේ වන විටත් නීතියෙන් සාධාරණයක් සිදුව ඇති අතරම අද (29) රාත්‍රියේ හර්තාලය සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

*****************************************

ඊ නිව්ස් කී දෙයක් වැරදිලා නෑ : රංග කලංසූරිය ඉල්ලා අස්වේ..!
(29.09.2017 – 14:15 +0530 – lankaenews.com)

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රතිපත්තිවලට එකහෙලා විරුද්ධ ප්‍රතිපත්තියක හිඳිමින් එම අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන්ව සතයකට මායිම් නොකරමින් කටයුතු කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දැරූ ආචාර්ය රංග කලංසූරිය මහතා අද උදෑසන තම ඉල්ලා අස්වීමේ ලිපිය ඇමැති මංගල සමරවීර මහතාට බාර දී තිබේ. තම ඉල්ලා අස්වීම දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දහවල් 2 කට විශේෂ රැස්වීමකට ද කැඳවා තිබේ.

රංග කලංසූරිය හිටපු ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ සමග ද ගැටුම් හදා ගත්තේ ය. වර්තමානයේ ආයතනයේ නිලධාරීන් සහ රංග කලංසූරිය අතර තිබෙන ගැටුම් තව දුර ගියහොත් නිලධාරීන් විසින් වැඩ වර්ජනයකට පවා යෑමට සූදානම් බව ලංකා ඊ නිව්ස් විසින් හෙළිකර සිටියේ පසුගිය 20 වෙනිදා ය.

ලංකා ඊ නිව්ස් කී දෙයක් වැරදී නැති බව යලිදු තහවුරු කරමින් ‘හබුං කටයි; හිනා විටයි – මංගලං කලං යකා නටයි..! -ජනමාධ්‍ය අමාත්‍යාංශය යලි අවුල් ජාලයක‘ නමැති එම ලිපිය පළ වී දින 10 ක් යෑමටත් පෙර රංග කලංසූරිය ඉල්ලා අස්වී ඇත.

එම ලිපිය අවසානයේ ලංකා ඊ නිව්ස් පසු සටහන ලෙස අප තැබූ සූත්‍ර පිටකයේ උපුටනය යලිදු අවධාරණය කිරීම මැනවැයි සිතේ.

“බාල, අව්‍යක්ත, ක්ෂේත්‍රය නොදන්නා, පර්වතයෙහි හැසිරෙන එළු දෙන විෂම පර්වතයෙහි සැරිසැරීමට අසමත් වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම නො ගිය විරූ දිගට යන්නේ නම්, නො කෑ විරූ තණකොළ කන්නේ නම්, නො බිව් පැන් බොන්නේ නම් අපූරුය” කියා ය. එවිට ඒ එළු දෙන පා හරියට නො පිහිටුවා වැරදි පා නඟයි. මහණෙනි, බාල අව්‍යක්ත ක්ෂේත්‍රඥ නො වූ ඒ දෙන යම් හෙයකින් විසම පර්වතයෙහි සරණට නො සමත් ද, ඕ නො ගිය විරූ දිගට නො යයි. නො කෑ විරූ තණ ද නො කයි. නොබිව් පැන්ද නො බොයි. පර්වතයෙන් බිමට ඇද වැටෙයි. පියසට නිදුකින් පෙරළා නො යෙයි.“

( සූත්‍ර පිටකය, අංගුත්තර නිකායේ නවක නිපාතය, ගාවී උපමා සූත්‍රය )

******************************************

ලක්ෂ 120 ක් වංචාකල සැලසිනේ හිටපු සභාපතිට වරෙන්තු
(29.09.2017 – lankatruth.com)

සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු සභපති ප්‍රදීප් උදයකුමාර එදිරිසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (29) විවෘත වරෙන්තු නිකුත් කළේය. ලන්ඩනයේ ජීවත් වූ ප්‍රදීප් එදිරිසිංහ සැලසිනේ ආයතනයේ සභාපති වශයෙන් පත්කොට ඇත්තේ ඔහුගේ මිතුරා වන නාමල් රාජපක්ෂ විසිනි.

දැනට එංගලන්තයේ පදිංචිව සිටින ඔහු සැලසිනේ සභාපතිව සිටි කාලයේ දී එම ආයතනයේ මුදල්වලින් රුපියල් ලක්ෂ 120 ක් කූඨ ලෙස සුබ සාධක ගිණුමට ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.තම හිතවතුන්ට තනතුරු, හා වරප්‍රසාද පිරිනැමීම, රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සහ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම ආදී චෝදනා රැසක් සැලසිනේ හිටපු සභාපතිවරයාට අවස්ථා ගණනාවක දී එල්ලවී තිබේ.

එම නඩුවට අදාළව සැලසිනේ හිටපු අභ්‍යන්තර විගණක මහේෂා සුභානි ජයලත් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඇය ලබන ඔක්තෝබර් 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *