ඒ.එස්.පී පුබ්බරුවා සහ දෝහා ශ්‍රී ලංකා පාසල…! – ඩිප්ලොමැට්ටාගේ කොළම

(29.09.2017 – 10:30 +0530 – lankaenews.com)

ඒ.එස්.පී. ලියනගේ යනු රාජතාන්ත්‍රික කටයුතු තබා සාධාරණ ලෙස ව්‍යාපාරයක් හෝ කිරීමට නොදන්නා හාල්පාරුවෙකි. අසරණ මිනිසුන්ට ඉඩම් දෙනවා කියා ඔවුන්ගේ මුදල් ගසා කෑම නිසා හිරේ විලංගුවේ පවා වැටුනෙකි. එවැන්නෙකුට තානාපති කම් දී ඔහු ලවා තම උපන්දිනේට ‘රජා‘ කියා පත්තර පිටු පුරා දැන්වීම් පළ කරගන්නා ඔහුගේ ලොක්කා ද එලෙසම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නොදන්නා අයෙක් බව පෙනී යයි. එසේ නොවන්නේ නම් ලියනගේ වැනි අබ්බයෙක් රටක් නියෝජනය කරන තානාපතිවරයෙකු වශයෙන් පත් කරනවා තබා එවැන්නක් සිතන්නේ වත් නැත.

රටක නීතියක් යටතේ පවත්වාගෙන යන පාසලක් වසා දැමීම හෝ පවරාගැනීමට තානාපති කාර්යාලයකට බලයක් නැත. අනෙක මුදල් ලබන කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ජාත්‍යන්තර නීති රීති වලට අනුව තානාපති කාර්යාලයකට කළ නොහැකි ය. මේ බව නොදන්නා එවුන් වනාහී ගොං තකතීරුවන්ය. විදේශ අමාත්‍යාංශයේ සිටින නිලධාරීන් ඒ.එස්.පී වහන්සේට මේ බව කියා නොදීම අභාග්‍යයකි.

මැදපෙරදිග සෑම රටකම පාහේ ඉන්දියානු පාසල් ඇත. ඒ කිසිවක් ඉන්දියානු තානාපති කාර්යාල යටතේ පවත්වාගෙන යන්නේ නැත. එසේම ඒවායේ පවත්වන විභාග පමණක් අධීක්ෂණයට ඉන්දියාවෙන් අධ්‍යාපන නිලධාරීන් පැමිණෙති.

දැනට ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් කීපයක් ඕමානය, සෞදි අරාබිය, ඉතාලිය හා කටාර් රාජ්‍යයේ පවත්වාගෙන යති. මේවා ආරම්භ කරන ලද්දේ ලක් රජයේ ආධාරයෙන් හෝ ලක් රජයේ මැදිහත්වීමකින් තොරව ය. ඒවා සියල්ලම ඒ ඒ දෙමව්පියන්ගේ දැඩි කැපවීම මත ආරම්භ කරන ලද ආයතනයන් ය. අනෙක් කාරණය මෙවන් ආයතනයක් ආරම්භ කිරීම ලංකාවේදී මෙන් දේශපාලකයින්ට පගාව දී හෝ වෙනත් උප්පරුවැට්ටි තුළින් කළ නොහැකි වීම ය. මෙම පාසල් අධීක්ෂණය ඒ ඒ රජයන් මගින් කරනු ලබන අතර පිළිගත් ගණකාධිකාරී ආයතනයක් හරහා වාර්ෂික මූල්‍ය වාර්තාවන් සකස් කර ඉදිරිපත් කළ යුතුය. පාසලේ ඉගැන්වීම් සම්බන්ධයෙන්ද ප්‍රමිතියක් තිබිය යුතු ය.

වරක් ඕමානයේ පාසල පාලනය කරන්නට එවක තානාපතිව සිටි අයි. අන්සාර් තානාපතිවරයා කළ මැදිහත්වීමක් අවසානයේ විශාල ගැටුමක් ආරම්භ කරන ලදී. තානාපති වරයාගේ පැමිණිල්ල මත පාසල් පාලන මණ්ඩලයේ නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට ද පත්විය. අවසානයේ කරුණු තේරුම් ගත් හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් විසින් තානාපතිවරයා වහාම මාරු කර යවන ලදී. අද ද එම පාසල ඉතා හොඳින් පවත්වාගෙන යන අතර තානාපතිවරයා දරන්නේ ගරු නිලයක් පමණි. එම පාසලේ ලාංකික දරුවන් පමණක් නොව වෙනත් ජාතීන්ට අයත් දරුවන්ද දැන් ඉගෙනුම ලබති.

තමා පත් කළ අයට ‘මහ රජා‘ කියා ස්තෝත්‍ර ගැයූ පළියට ඒ.එස්.පී. ලියනගේ අබ්බයාට කැමති කැමති දේ කළ නොහැකි ය. රාජතාන්ත්‍රික කටයුතු ගැන අබ මල් රේණුවක් නොදන්නා මෙවැනි පුබ්බරුවන් තානාපතිලා කිරීම නිසා අසන්නට විඳින්නට ලැබෙන්නේ මෙවැනි බහු බූත ය.

කටාර් රජයේ ලියාපදිංචි කර ඇති ආයතනයක් කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට අයිති කර ගත නොහැකි ය. මෙහි ඇති එක ප්‍රශ්නයක් වන්නේ ලියනගේ වැනිම නරුම අදහස් ඇති ගොන් නාම්බෝ කීපදෙනක් එම පාසලේ බලය තමන් අතට ගන්නට උත්සාහ කරන නිසා මෙම ගැටුම උග්‍ර බවට පත්වීම ය. වාර්තා වන අන්දමට විදේශ අමාත්‍යාංශයට පාසැල් පවරා ගත නොහැකි බව ලියනගේ අබ්බයාට දැනුම් දෙන්නැයි අගමැතිවරයා විසින් නව විදේශ ඇමැති වරයාට දන්වා ඇත. නව විදේශ ඇමැතිවරයා සහ විදේශ අමාත්‍යාංශයේ ලොක්කන් ඒ බව දැනුම් දුන්නාදැයි නොදනී.

කෙසේ වෙතත් තව තව විනාශ කිරීමට පෙර කළ හැකි ඉතා කාලෝචිත ක්‍රියාව නම් ලියනගේ පුබ්බරුවා වහා ලංකාවට කැඳවා ස්විමිං පූල් නඩත්තුව, උද්‍යාන පාලනය , මහ එවුංට රජා රජා කියමින් දැන්වීම් පළ කිරීම වැනි ඔහුට කළ හැකි රාජකාරියක් බාර දීම ය. තානාපතිවරුන් පත් කිරීමට ජනාධිපතිට බලය තිබුන ද ධූරයේ වගකීම් වෙනුවට පිස්සු කෙළින තානාපතියෙකුගේ වැඩ නතර කර ඔහු යලි සිය රට කැඳවීමට විදේශ අමාත්‍යාංශයට බලය තිබේ. එහෙත් එවැන්නක් කරන්නට කොන්දක් ඇති වුන් විදේශ අමාත්‍යාංශයේ සිටීදැයි යන්න නම් ගැටළුවකි.

– ඩිප්ලොමැට්ටා

***************************************

ඩීල්දාස දේශපාලනයෙන් සමුගන්න තීන්දු කරයි..! මන්ත්‍රීකමත් රෝසිට ලැබෙන්න සලස්වයි..!!
(29.09.2017 – 06:50 +0530 – lankaenews.com)

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට තම පක්ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ තම පක්ෂයේ සියළු නායකයන්ගේ (කෘත්‍යාධිකාරී මණ්ඩලය) ඒකමතික විරෝධය එල්ල කර ඇමැතිධූරයෙන් පන්නා දැමූ ඇමැතිවරයෙක් වේ නම් ඒ විජේදාස රාජපක්ෂ හෙවත් ‘ඩීල්දාස‘ නමැත්තාය. නම්බු පිටින් ඉල්ලා අස්වීමේ අවස්ථාවක් සලසා දුන්නද ඔහු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමටවත් නිහතමානී වූයේ නැත.

ඇමැතිධූරයෙන් පන්නා දැමූ දිනයේ සිට අද දක්වා පාර්ලිමේන්තුවට නොපැමිණි විජේදාස රාජපක්ෂ පසුගියදා ඔහු හමුවූ හිතවතුන් පිරිසකට දන්වා ඇත්තේ තමා යලි කෙදිනකවත් ඡන්දයකට ඉදිරිපත් නොවන බවත් දැනට තිබෙන මන්ත්‍රී ධූරයද අහෝසි වන්නට ඉඩ දී ඒ වෙනුවට රෝසි සේනානායකට පාර්ලිමේන්තුවට පත් වන්නට ඉඩ සලස්වන බවයි. පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමට ලැජ්ජා බවත්, තමන් දේශපාලනයෙන් ඉවත් වී ව්‍යාපාර කරගෙන ජීවත් වන බවද පවසා තිබේ. (අධිකරණ ඇමැති ලෙස දැමූ ‘ඩීල්‘ වලින් මොහු දැවැන්ත ධනවතෙකු වන්නට ඇත). මේ තීරණයට වඩාත්ම හේතු වී ඇත්තේ ඔහු ඇමැතිධූරයෙන් පන්නා දැමූ දිනයේ සිට අද වනතුරු තම ආසන බල මණ්ඩලයේ කිසිවෙකු ඔහු හමුවීමට නොපැමිණීම පමණක් නොව දුරකථන ඇමැතුමක් හෝ නොදී දැඩි සේ ප්‍රතික්ෂේප කිරීමය.

අධිකරණ ඇමැතිවරයාව සිටියදී පරාජිත මැදමූලන රාජපක්ෂ කණ්ඩායම සමග ඩීල් දැමුවද ඇමැති ධූරයෙන් පන්නා දැමීමෙන් පසු මැදමූලන කණ්ඩායම ද ඩීල්දාසව සත පහකට මායිම් කෙළේ නැත.

කලෙක අනාගත අගමැති සිහිනයද මැවූ ‘ඩීල්දාසට සිදු වූ වින්නැහිය‘ ඉදිරියේ දී ඩීල් කාරයෙකු වීමට නිකමට හෝ සිතෙනා ලංකාවේ කුමන හෝ දේශපාලකයෙකුට අපූරු පාඩමකි.

පසුගිය 2016 නොවැම්බර් මාසයේ 18 වෙනිදා පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ උස් හඬින් කීවේ ලංකා ඊ නිව්ස් කර්තෘ ‘පුලන්නෙක්‘ බවත් ඔහුට කීයක් හරි සල්ලි ටිකක් දුන් විට ඕනෑම කෙනෙකුට මඩ ගහන බවත්, ඔහු කොහේ සිටියත් ඉන්ටර්පොල් වරෙන්තුවක් රැගෙන ලංකාවට කුදලා ගෙන විත් හිරේ දමන බවයි. පදනමකින් තොර වෛරී සහගත එවැනි උදාරම් කතා අද දිනයේ කියන අයද විජේදාස රාජපක්ෂ ඛේදවාදකයෙන් පාඩම් ඉගෙන ගත්තොත් මැනව ය. ඒ අන් කිසිදු බලවේගයක් නිසා නොව තමන් කරනා කියනා සියල්ලේ ප්‍රථිපල ගොනාගේ කුර පසුපස එන කරත්ත රෝදය සේ තමා පසුපසම එනවා මිස අනෙකෙකු පසුපස නොයන නිසා ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *