බැඳුම්කර මගඩියේ තවත් හෙළිදරව්වක්

(07.06.2018 – 17:00 +0530 – newsfirst.lk/sinhala)

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම අවස්ථා තුනකදී රුපියල් මිලියන 3.2 ක චෙක්පත් නිකුත් කර ඇතැයි, අද අධිකරණයේදී අනාවරණ විය.

බැඳුම්කර වංචාව පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේදී කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, මහ බැංකුව මහේන්ද්‍රන් මහතාට නිකුත් කර තිබූ සිමා රහිතව වියදම් කළ හැකි ක්‍රෙඩිට් කාඩ් පතෙන් සිදු කළ පෞද්ගලික වියදම් පියවිම සඳහා එම මුදල් වැය කර ඇති බවයි.

අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික ලේකම්වරියවූ අමිලා දහනායක , මෙම චෙක්පත් මාරු කිරීම සඳහා කාර්යාල කාර්ය සහකයෙකුට ලබා දී ඇති බව ද අද අධිකරණයේදී අනාවරණ විය.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයෙකුට අවස්ථා 2 කදී රුපියල් මිලියනය බැගින් චෙක්පත් 2ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් නිකුත් කරනු ලැබ ඇතැයි ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය දැනුම් දුන්නේ ය.

ඉන් එක් චෙක් පතක් නිකුත් කර ඇත්තේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2016 වසරේ මාර්තු 31 වන දිනයි.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇතැයි ද අධිකරණයේදී අනාවරණ විය.

මීට පෙර අධිකරණයේදී මුදල් ගෙන ඇතැයි, අනාවරණ වූ මන්ත්‍රීවරයා තවත් රුපියල් මිලියනයක චෙක්පතක් ලබා ගෙන ඇතැයි ද අධිකරණයේදී හෙළි විය.

නඩුවේ සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ ෴

++++++++++++++++++++++++++++++++++++

අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතට පර්පෙචුවල් සමාගම ලක්ෂ 32 ක් ගෙවයි – රාජ්‍ය අමාත්‍යවරයෙකුට මිලියන 2 ක්
(07.06.2018 – 17:21 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැදුම්කර නඩුවේ පළමු චූදිත හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පෞද්ගලික වියදම් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලැබුණු මුදල්වලින් පියවා ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණ වුණා.

එහිදී වැඩිදුරටත් හෙළිදරව් වූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 2 ක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට ද ලබාදී ඇති බවයි.

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ බව අධිකරණයට දැනුම් දුන්නා.

මහබැංකු බැදුම්කර නඩුව අද යළිත් කැදවනු ලැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන එහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට නියෝග කළේ සමාගමේ වත්කම්, බැරකම් සහ ආදායම් – වියදම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා සදහන් කළේ ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයට අනුව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත නොහැකි බව සිංගප්පූරු පොලීසිය දන්වා ඇති බවයි.

එරට නීතිය අනුව, එම දැන්වීම සිදුකළත්, අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙසට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කරන බව ඔහු සදහන් කළා.

ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ ඒ සදහා අවශ්‍ය ඉල්ලීම නීතිපති දෙපාර්තමේන්තුව කෙටුම්පත් කරමින් සිටින බවයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් තවත් සමාගමක් හරහා රාජ්‍ය අමාත්‍යවරයෙකුට ලබාදී ඇති බවට මෙහිදී ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා හෙළිදරව් කළා.

ඔහු පැවසුවේ එම රාජ්‍ය අමාත්‍යවරයාට අවස්ථා දෙකකදී රුපියල් මිලියන 2 ක් ලැබී ඇති බවයි.

එම මුදල් චෙක්පත් මාරු කිරීම සදහා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සපයා ඇති පොලිස් නිලධාරින් යොදා ගෙන ඇති බවට තහවුරු වී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියා.

මේ අතර, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 32 ක් චෙක්පත් මගින් ලැබී ඇති බව ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා සදහන් කළා.

ඔහු පැවසුවේ අදාළ චෙක්පත් මාරු කර අර්ජුන් මහේන්ද්‍රන්ට ලබාදී තිබූ සීමා රහිතව වියදම් කළ හැකි ක්‍රෙඩිට් කාඩ් පතේ බිල්පත ගෙවා ඇති බවයි.

මේ ආකාරයෙන් විවිධ පුද්ගලයින්ට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාදුන් මුදල හෙළි කිරීම සම්බන්ධයෙන් එම සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සිය විරුද්ධත්වය පළ කළා.

එළඹෙන 20 වනදා නඩුව යළි කැදවීමට නියමිත අතර, එදින දක්වා අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලූ අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

එම ප්‍රකාශයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශෙහාන් සේමසිංහ සහ නලින් බණ්ඩාර යන මහත්වරු ද අදහස් දක්වා සිටියා.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී මුදල් නොගත් බවට ඊයේ දින වනවිට කියා සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 60 ක්.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම, අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, ලකී ජයවර්ධන සහ අමාත්‍ය පී.හැරිසන් යන මහත්වරු තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් නොගත් බව අද ප්‍රකාශ කළා.

ඒ අනුව මෙතෙක් මුදල් ලබා නොගත් බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති මැති ඇමතිවරුන් සංඛ්‍යාව 65 ක්.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බවට වාර්තා වන මන්ත්‍රීවරුන් 118 දෙනා සම්බන්ධයෙන් තවමත් දේශපාලන වේදිකාවේ පුළුල් සංවාදයක් පවතිනවා.

+++++++++++++++++++++++++++++++++

බැඳුම්කර බෑනාගෙන් සූජීව සේනසිංහටත් රු. මිලියන 03 ක්
(07.06.2018 – lankatruth.com)

බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහටද රුපියල් මිලියන 03 ක් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) අධිකරණයට දැනුම්දී තිබේ.

එම ඇමතිවරයාට රුපියල් මිලියනය බැගින් චෙක්පත් තුනක් ලැබී ඇති බවත් එම චෙක්පත් රාජ්‍ය ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු මගින් මාරු කර ඇමතිවරයා ලබා ගත් බවට එම ආරක්ෂකයා අනාවරණය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිට ඇත ෴

++++++++++++++++++++++++++++++++

ඇලෝසියස්ගේ මුදල් ලයිස්තුවේ සජිත් ප්‍රේමදාසත්…?
(08.06.2018 – 00:02 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයාද අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා සදහන් කරයි.

කොළඹදී පැවදි ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂයට හැකියාම ලැබී ඇත්තේ බැංකු කැඞීම හා නිධන් කැඞීමට පමණක් යයිද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා වන්නේ ඇමති සජිත් ප්‍රේමදාස මහතායි.

++++++++++++++++++++++++++++++++++

අර්ජුන් ඇලෝසියස් ගෙන් මිලියන 3 ක් ගත් ඇමතිවරයා ගැන හෙළි කරයි
(08.06.2018 – nethnews.lk)

පර්පචුවෙල් ට‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම විසින් මැතිවරණ කටයුතු සදහා මුදල් ලබාදුන් පුද්ගලයින් පිළිබදව තවමත් දැඩි කතාබහක් පවතිනවා. එලෙස මුදල් ලබාගත් රාජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (07) කරුණු දැක්වීමක් සිදුකළා. කැෆේ සංවිධානය පැවසුවේ මෙම රාජ්‍ය අමාත්‍යවරයා සුජීව සේනසිංහ බවයි.

මේ, ඒ පිළිබදව අදහස් දක්වන එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා :

තවත් පුද්ගලයින් 150 කට වැඩි පිරිසකට පර්පචුවෙල් ට‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් ලබා දී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ අතර දේශපාලකයින්, සිවිල් සංවිධාන සාමාජිකයින් සහ මාධ්‍යවේදීන් සිටින බවට ද ප්‍රකාශ කෙරුණු අතර මෙම බැදුම්කර වංචාවේ තොරතුරු වසන් කිරීමටද කටයුතු කරන බවටද ඔහු චෝදනා එල්ල කළා.

++++++++++++++++++++++++++++++++++

සුජීවයි අනාගත්තේ.. ඇලෝසියස්ගේ චෙක්පත් තුන සමග තවත් රහස් හෙලිවෙයි..
(08.06.2018 – 11:20 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා මෙන්ඩිස් සමාගමෙන් ලක්ෂ 30 ක මුදලක් ලබා ගැනීම අල්ලසක් නොවන්නේ කෙසේද ?

ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුවට අදාල සමාගමට අයත් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට අවස්ථා 3 ක දී රැපියල් මිලියනයේ චෙක්පත් තුනක් මැතිවරණ ව්‍යාපාර කටයුතු සදහා ලබා දී ඇති බව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව එම චෙක්පත් ලබා දී ඇති දිනයන් ලෙස නීතිපති දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ 2015/08/24- 2015/10/12- 2016/03/31 යන දිනයන්ය.

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව සදහා නාමයෝජනා භාරගනු ලබන අවසාන දිනය වන්නේ 2015/07/13 වන දින වන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 2015/08/17 දිනය. මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය ඇමතිවරයා මෙම චෙක්පත් තුනේම මුදල් ලබා ගන්නේ 2015 මහමැතිවරණය නිමාවූවාට පසුව බවය. අවසන් චෙක්පත ලබා ගත් 2016/03/31 වන විට සුජීව සේනසිංහ ජාත්‍යයන්තර වෙළද කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිවරයාය. ඔහු එම රාජ්‍ය ඇමතිධූරයේ දිවුරැම් දෙනු ලබන්නේ 2015/09/09 දිනය.

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා විසින් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් මෙසේ මුදල් ලබා ගැනීම පැහැදිලිවම අල්ලසක් වන බව අප සංවිධානයට පෙනී යන බැවින් අප සංවිධානය විසින් ඒ පිළිබදව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවවෙත පැමිණිලි කිරීමට කටයුතු සූදානම් කර ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

++++++++++++++++++++++++++++++

ඇලෝසියස්ගෙන් සුජීව සේනසිංහට කෝටි 3.3ක්.. සරත් ෆොන්සේකට ලක්ෂ 15 ක්.. තවත් රෙදි ගැලවෙයි..
(09.06.2018 – 00:02 +0530 – lankacnews.com)

අර්ජුන් ඇලෝසියස් විසින් චෙක්පත් 166 කින් මැති ඇමතිවරු ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදල් ලබා දී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධනය හෙලි කරයි.

එහි කැඳවුම්කරු පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා සදහන් කරන්නේ රාජ්‍ය අැමති සුජීව සේනසිංහට රුපියල් මිලියන 33 ක් දී ඇති බවත් ඉන් කොටසක් ඔහු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට බෙදා දී ඇති බවත්ය.

රුපියල් ලක්ෂයක් පමණක් තමනට ඇලෝසියස් දුන් බව ඇමති සරත් ෆොන්සේකා කියා සිටියද ලක්ෂ 15 ක් ඔහුට දී ඇතැයිද සමරසිංහ මහතා කියයි.

ඉදිරියේදී තවත් තම් හෙලි කිරීමට තම සංවිධානය බලාපොරොත්තු වන්නේ යයිද ඔහු කියා සිටී ෴

+++++++++++++++++++++++++++++++++

ඇලෝසියස්ගෙන් ලැබුණු, මිලියන 3 ක් වියදම් කළ බව සුජීව සේනසිංහ පිළිගනී
(08.06.2018 – 19:07 +0530 – hirunews.lk/sinhala)

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3 ක් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අද පිළිගත්තා.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනු කළ වැඩිදුර විමර්ශන වාර්තාවට අනුව එම රුපියල් මිලියන 3 රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලැබී ඇත්තේ මැතිවරණය පැවැත්වීමෙන් පසුවයි.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 3 ක් අවස්ථා තුනකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ වාර්තා කළා.

ඒ, මහබැංකු බැඳුම්කර නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදියි.

ඉන් රුපියල් මිලියනයක චෙක් පතක් ඇමති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලවා මාරු කරවාගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඍජුව ලබාදුන් උපදෙස් අනුව බව වැඩිදුර වාර්තාවේ සඳහන්.

එහි දැක්වෙන්නේ අනෙක් චෙක්පත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ මැතිවරණ සහ මුදල් සම්බන්ධීකාරක විසින් පොලිස් නිලධාරීන් ලවා මාරු කර මුදල් ලබාගෙන ඇති බවයි.

මේ, අද පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ මැතිවරණ සමයේදී තම මිතුරන් විසින් එම චෙක් පත ආරක්ෂක නිළධාරියා ලවා මාරු කර ඇති බවත්, කථානායකවරයා හෝ වගකිව යුතු පුද්ගලයෙකු නැවත එම මුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් තමන් එම මුදල් ලබාදීමට සූදානම් බවයි.

කෙසේ වෙතත්, පසුගිය දා විදේශගතව සිට යළි දිවයිනට පැමිණීමෙන් පසු ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලිපිගොනු බැලීමෙන් අනතුරුව මුදල් ලබා ගත්තා ද යන්න පිළිබදව ප්‍රකාශ කළ යුතු බවයි.

ඔහු එසේ සඳහන් කළත්, අදාළ චෙක්පත් තුනම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට හිමි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් මධ්‍යසාර නිෂ්පාදන සමාගම නිකුත් කර ඇත්තේ 2015 මහමැතිවරණය අවසන් වීමෙන් පසුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.

ඔවුන් අධිකරණයට ගොනු කළ වාර්තාවේ දැක්වෙන්නේ අංක 401139 දරණ රුපියල් මිලියනයක් වටිනා පළමු චෙක්පත මහමැතිවරණයෙන් දින 7කට පසුව නිකුත් කර ඇති බවයි.

එය ඊට පසු දිනම රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඍජුවම උපදෙස් ලබාදී සිය ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ලවා මාරු කර මුදල් ලබාගෙන ඇති බව ද එහි සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට දෙවන චෙක්පත ලැබෙන්නේ 2015 වසරේ නොවැම්බර් 12 වන දායි.

ඒ, මහමැතිවරණය පවත්වා දින 87 කට පසුවයි.

එසේම ඔහුට මහමැතිවරණයෙන් දින 227 කට පසුව එනම්, 2016 වසරේ මාර්තු 31 වන දා රුපියල් මිලියනයක් වටිනා තුන්වන චෙක්පත ලැබී තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ඊයේ අධිකරණයට පෙන්වා දුන්නේ එදින ප්‍රශ්නගත බැදුම්කර නිකුතුවක් ද පැවති බවයි.

මේ අයුරින් මැතිවරණයක් නොමැති අවස්ථාවක බැදුම්කර නඩුවේ තුන් වන චූදිතයා වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 3 ක් අවස්ථා තුනකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලැබීම ගැන රහස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

එසේම මෙම චෙක්පත් මාරු කර මුදල් ලබා ගැනීමට මැදිහත් වූ ඔහුගේ මැතිවරණ සහ මුදල් සම්බන්ධීකාරකවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ පර්පචුවෙල් සමාගමෙන් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ලේඛනවල සටහන් කිරීමක් හෝ ඒවා බැංකුවල තැන්පත් කිරීමක් සිදුනොකළ බවයි.

චෙක්පත් ලැබුණු ආකාරය තමන් නොදන්නා බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව රුපියල් මිලියන ගණනක චෙක්පත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලබාදුන්නේ ඇයි දැයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව ඊයේ අධිකරණයේදී කියා සිටියා.

++++++++++++++++++++++++++++++

ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට ලැබුනායි කියු මිලියන 3 ක චෙක්පත් සම්බන්දව මාධ්‍ය වෙත අදහස් දක්වමින්

Posted by Sujeewa Senasinghe on Friday, June 8, 2018

+++++++++++++++++++++++++++++++++

¤¤ධිපති බෑණා සහ සජිත් ප්‍රේමදාසත් ඇලෝෂියස්ගෙන් මුදල් අරන් ; ¤¤ධිපති ලැයිස්තුව හෙළි නොකරන්නේ ඒකයි; සුජීව සේනසිංහත් මිලියන 3 ක් අරන්..!
(08.06.2018 – News e Lanka)

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් ගෙන් ¤¤ධිපතිවරයාගේ බෑණා ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස ද මුදල් ලබා ගෙන තිබෙන බව හෙළි වී ඇතැයි ‘නිව්ස් ඊ ලංකා’ වෙත වාර්තා වේ.

දැනට ¤¤ධිපතිවරයා අතේ ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් අයගේ නම් ලැයිස්තුව මේ දක්වා හෙළිදරව් නොකරන ලද්දේ ඒ නිසා යැයි ද යම් හෙයකින් ¤¤ධිපති බෑණාගේ නම සඟවා ලැයිස්තුව හෙළි කිරීමේ හැකියාවක් ලැබුනහොත් එසේ කිරීමට ද කුමන්ත්‍රණයක් කරගෙන යන බව දැනගන්නට තිබේ.

මේ අතර අර්ජුන් ඇලෝසියස්ගෙන් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ද අවස්ථා 3 ක දී රුපියල් මිලියන 3 ක් ලබාගෙන ඇතැයි ඊයේ අධිකරණය හමු‍වේ හෙළිදරව් විය. අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ මෙන්ඩින් අරක්කු සමාගමේ කෑෂ් චෙක් පත් තුනකින් මෙම මුදල් සුජීව සේනසිංහට ගෙවා ඇත ෴

++++++++++++++++++++++++++++++

ලක්‌ෂ තිහේ චෝදනාව; සුජීවගේ නම හංගන්න හදලා – සී.අයි. ඩියට , නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම්
(09.06.2018 – divaina.com)

පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් රුපියල් ලක්‌ෂ තිහක මුදලක්‌ ලබාගත් බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනකු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

බලපෑම් නොසලකමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පිළිබඳව අධිකරණය හමුවේ පෙරේදා 7දා හෙළි කර තිබිණි.

පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් රුපියල් තිස්‌ලක්‌ෂයක මුදලක්‌ සුජීව සේනසිංහ මහතා විසින් ලබාගත් බවට විමර්ශනවලින් හෙළිවීමත් සමගම කලබලයට පත් වූ මෙම රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකු ඒ මහතාගේ නම අධිකරණය හමුවේ හෙළි නොකරන්නැයි ඉල්ලමින් විමර්ශන කණ්‌ඩායම්වලට දැඩි බලපෑම් එල්ල කර ඇත.

එම බලපෑම් දැඩි වීම නිසා එක්‌තරා අවස්‌ථාවක නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳුම්කර වංචා විමර්ශන නඩුවෙන් ඉවත් වීමටද තීරණය කර තිබූ බව ආරංචි මාර්ග කියා සිටියේය.

– හේමන්ත රන්දුණු

++++++++++++++++++++++++++++++++

09.06.2018

****************************************

රුපියල ඉතිහාසගත වාර්තාවක.. ඩොලරය රු. 160 ට වැඩියි
(07.06.2018 – 18:48 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ බාල්දු වූ ඉහලම බාල්දු වීම අද දිනයේ වාර්තා කර ඇත.

අද මුල්‍ය වෙලදපලේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 160 ඉක්මවා ගියේ ඉතිහාසයේ මුල් වරටයි.

අද යාවත්කාලීන කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක් 156.9108 ගැනුම් මිල ලෙසත් රුපියල් 160.0069 විකිණුම් මිල ලෙසත් සටහන් වී ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *