සෝමගුණ පිරි සෝමවීර සේනානායක දැයෙන් සමුගනී

(09.06.2018 – News e Lanka)

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සම්මානනීය නවකතාකරුවෙකු, සිංහල ටෙලිනාට්‍ය තිරකතා රචනයේ ආරම්භකයෙකු මෙන්ම පතාකයෙකු වූ සෝමවීර සේනානායක මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය. ඔහු සති දෙකක පමණ කාලයක සිට අසනීපව රෝහල්ගතව හිඳිමින් ප්‍රතිකාර ලබද්දී අභාවප්‍රාප්ත වී ඇත.

සිංහල ජන සමාජය දෝතින් තුරුළු කර ගත් යශෝරාවය, පළිඟුමැණිකේ, දූ දරුවෝ, නෑදෑයෝ, අසල්වැසියෝ, මවකගේ ගීතය, මිහිකතගේ දරුවෝ, මැණික් නදිය ගලා බසී ආදී අති ජනප්‍රිය ටෙලි නාටක මාලා සෝමවීරයන්ගේ නවකතාවලින් ඔහු විසින්ම රචනා කරන ලද තිර නාටකයන් විය. පුවත් පත් කලාවේදියෙකු ලෙස ජීවිතය ආරම්භ කළ ඔහු පසුකලෙක නිර්මාණ සාහිත්‍ය කරා යොමු විය.

දැයෙන් සමුගත් ඒ විශිෂ්ඨ නිර්මාණකරුවාගේ වියෝව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ. එය පහත දැක්වේ :

අගමැතිගේ ශෝක පණිවුඩය

ප්‍රවීණ සාහිත්‍යධර ටෙලිනාට්‍ය සිනමා තිර රචිත පුවත්පත් කලාවේදී සෝමවීර සේනානායක මහතා සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයෙකි.

පාසල් ශිෂ්‍ය සමයේදී පුවත්පත් සඟරා සඳහා ලිපි ලියමින් ලේඛන කලාවේ අත්පොත් තැබූ ඔහු 1966 වසරේ විශ්වවිද්‍යාලයෙන් පිටවී ලේක් හවුස් ආයතනයේ රැකියාවට පිවිස මුල් කාලයේ චිත්‍ර කතා සඳහා කතා නිර්මාණය කරන්නේය. ලංකාවේ පළමු චිත්‍ර කතා පත්තරය වූ සතුට පුවත්පතේ චිත්‍ර කතා කිහිපයක් ලියමින් සාම්ප්‍රදායික චිත්‍ර කතා කලාවට නව මුහුණුවරක් ගෙන දෙන්නට සමත් විය.

පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරන අතරම, 1972 වසරේ මාවතේ ගීතය නවකතාව පළ කිරීම සමග ඔහු නවකතාකරුවෙකු ලෙස අභිශේක ලබන්නේය. පොදු ජන හදට සමීප කතා රසයෙන් අනූන නවකතා ලියමින් පාඨක ප්‍රසාදය දිනාගත් සෝමවීර සේනානායකයන්, රූපවාහිනියේ ආගමනයත් සමග එකී නවීණ තාක්‍ෂණය සහ සාහිත්‍ය කලාවේ සුසංයෝගය මනාව වටහා ගනිමින් ටෙලි තිර කතා රචනයට පිවිසියේය.

සෝමවීරයන්ගේ පළමු ටෙලි තිර කතාව ඔහුගේම නවකතාවක් ඇසුරෙන් ලියවුණු යශෝරාවයයි. නවකතාවක් ටෙලි නිර්මාණයකට නැඟී අතිශය සාර්ථක වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.

ඔහු විසින් රචිත ප්‍රාසාංගික ටෙලිනාට්‍ය 30 ක් සහ 200 කට අධික ඒකාංගික තිර රචනා අතර, පළිඟු මැණිකේ, දූදරුවෝ, අසල් වැසියෝ වැනි ටෙලි නිර්මාණ අදත් ප්‍රේක්ෂක මනසින් මැකී නොවන සාර්ථක නිර්මාණ වේ.

සිනමා තිර රචනයට ද දස්කම් පෑ ඔහු සමස්ත ජීවිතය සාහිත්‍ය කලාව වෙනුවෙන්ම කැප කළ අපේ කාලයේ සුවිශේෂ සාහිත්‍යධරයෙකි.

සෝමවීර සේනානායක මැතිතුමාගේ සදානුස්මරණීය සාහිත්‍ය කලා මෙහෙවරට ගෞරවනීය ආචාර්ය පුදකරමින් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2018 ජුනි 09

සෝමගුණ පිරි සෝමවීර උපහාර ගීය

සෝමවීර සේනානායක මහතා පිළිබඳව නිමැවුණු උපහාර ගීතයක් පහත වීඩියෝවේ දැක්වේ. මෙම ගීතය බණ්ඩාර ඇහැලියගොඩ විසින් රචනා කරන ලදුව ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීත නිර්මාණය කොට ගායනා කර දීප්ති විජේතුංග විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.

+++++++++++++++++++++++++++++++=

+++++++++++++++++++++++++++++++++++

සෝමවීර සූරී අද සමුගනී…
(11.06.2018 – mawbima.lk)

ප්‍රවීණ නවකතාකරුවකු, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු හා ටෙලිනාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. සති දෙකකට අධික කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසුවිය.

රූපවාහිනි නාට්‍ය කලාව මෙරටට හඳුන්වාදුන් 80 දශකයේ මුල් භාගයේ ඉමහත් ජනතා ප්‍රේක්‍ෂක ප්‍රසාදයට පත්වූ පළිඟු මැණිකේ, යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී ඇතුළු ටෙලි නාට්‍ය රැසක පිටපත් රචනය කරනු ලැබුවේ සෝමවීර සේනානායකයන් විසිනි.

ඒ හැරුණු විට බලදේවගේ ලෝකය, රන් කහවණු, මිහිකතගේ දරුවෝ, අසල්වැසියෝ 1-2, මවකගේ ගීතය, කන්දේගෙදර -2, ගිරය, මට මතකයි, සඳළුතලය, අපේ ඇත්තෝ, නෑදෑයෝ, සෙනෙහෙවන්තයෝ, සුබ දවසක්, අම්මයි තාත්තයි ටෙලිනාට්‍යවල පිටපත් ඒ මහතා රචනා කළේය.

1944 නොවැම්බර් මස 25 වැනි දින උපත ලබා කුඩාගම කනිටු විදුහල, ඇපලපිටිය විදුහල සහ රුවන්වැල්ල මැදි මහ විදුහලින් අධ්‍යාපනය ලබා විදේ‍යාදය විශ්වවිද්‍යාලයෙන් 1976 ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත් සෝමවීර සේනානායකයන් සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඩිප්ලෝමාවද හිමිකරගෙන ඇත.

ලස්සන වස්තුව, දඩමං ඔස්සේ, ගඟ අද්දර කැලේ, දියෙන් උපන් කුමාරයා වැනි පොත්ද, අඹු සැමියෝ, ආදරයට බය මිනිස්සු, එක්ටැම් ගෙවල්, මවකගේ ගීතය (1972 හොඳම නවකතාව), මතු දවස, ඉර හඳ පායන ලෝකය, යශෝරාවය (1977 හොඳම නවකතාව) බල දේවගේ ලෝකය වැනි ජනප්‍රිය නවකතා රචනා කළ එතුමා එම නවකතා ටෙලිනාට්‍ය හරහා නිවෙසේ ආලින්දයට ගෙන එමින් උසස් ටෙලි නාට්‍ය කලාවක් ප්‍රේක්‍ෂකයන්ට හඳුන්වා දුන්නේය.

වෙසක් පහන, වින්කල් පැංචා, මල් මාවත, යොමා නුවන්, අපූරුගම, දෙමව්පියෝ, දරු සුරතල්, නදී තෙර, වෙස් බැඳි මිනිස්සු, උඩු පිලයි – යටි පිලයි, තවත් පෙරහරක්, අහළ පහළ, අම්මා – තාත්තා, පහන් සිළුව, සහෝදරයෝ, මහ ගෙදර, අපේ කාලේ පටාචාරවක්, හිත මිතුරෝ, අඳුරට එළියක් ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍ය මාලා රැසක් රචනා කළ බෞද්ධ සමාජයක් වෙනුවෙන් නිර්මාණය කළ සිත නිවන කතා ටෙලි නාට්‍ය මාලාවද රූපවාහිනි ප්‍රේක්‍ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය විය.

සිරිකත මහිම, බුලත් මහිම, ජල දහරාවෝ, දළදා මාලිගයේ අවුරුදු සිරිත, රම්‍ය අටමස්ථානේ, වාසනාවේ මල් පිපිලා, පුණ්‍ය භූමි, සිරි දළදා පෙරහර සිරිත, පුවත්පතක් බිහිවෙයි ඇතුළු වැඩසටහන් රැසකද නිර්මාණකරුවා වන්නේ සෝමවීර සේනානායක නමැති විශිෂ්ටයාය.

නවයුගය පුවත්පතේ කර්තෘවරයා ලෙස කලක් කටයුතු කළ ඒ මහතා ලිට්ල්රෝස් පුවත්පත් ප්‍රකාශන සමාගමේ අධ්‍යක්‍ෂ ධුරයද කෙටි කලක් දැරුවේය.

රාජ්‍ය සම්මාන රැසක් දිනා ඇති සේනානායකයන් කලක් ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් මෙරට චිත්‍ර කතා
ක්‍ෂේත්‍රයට නව පිටුවක් පෙරළමින් සත්වැනි දවස, තනිතරුව ඇතුළු ජනප්‍රිය චිත්‍ර කතා රැසක් රචනා කළේය. සිනමා තිර රචනයටද දස්කම් පෑ එතුමා තම දිවිය සාහිත්‍ය කලාව වෙනුවෙන් කැප කළ නූතන යුගයේ සුවිශේෂි සාහිත්‍යධරයෙකි.

රූපා ලාලනි බමුණුඅරච්චි මහත්මියගේ සැමියා වූ සෝමවීර සේනානායකයෝ අකලංක විශ්වමිත්‍ර සේනානායක පුතණුවන්ගේ හා මධුභාෂිණි සේනානායක දියණියගේ පියාණන් වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාමාජිකයකුවූ ප්‍රවීණ සාහිත්‍යධර සෝමවීර සේනානායකයන්ගේ මහරගම, බොරලැස්ගමුව, අම්බිලවත්ත පාරේ පිහිටි නිවෙසේ තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11දා) සවස 5.30 ට මහරගම, ගොඩිගමුව සුසාන භුමියේදී සිදුකෙරේ.

– උපතිස්ස පෙරේරා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *