රණවිරුවෙක් ස්ථාන මාරු වෙලා යද්දි කවුරුත් නොහිතපු විදියට හිටපු LTTE සාමාජිකයෝ කරපු වැඩේ මෙන්න

(10.06.2018 – 16:22 +0530 – sinhala.adaderana.lk)

යාපනය කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අද (10) දින විශ්වමඩු අණ දෙන මූලස්තානය සිට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේදී පුනුරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ප්‍රදේශවාසීහු හඬා වැටෙන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

වසර පහමාරක රත්නප්‍රිය බන්දු මහතා මෙම ප්‍රදේශයට පැමිණ එල්ටීටීඊ සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කොට ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි.

එය අනුව ස්ථාන මාරු ලැබ පිටව යන අවස්ථාවේ දී ඔවුහු සියලු දෙනාම හැඬු කඳුළින් සමුදීම සිදුකෙරිණි.

එමෙන්ම කිලිනොච්චිය සමුපකාර ගොඩනැගිල්ලේ දී ඔහුට සමු දීමේ උත්සවයක් ද සංවිධානය කර තිබිණි.

————————————–

++++++++++++++++++++++++++++++++

ඉස්සර අපේ නායකයා ප්‍රභාකරන් – දැන් අපේ නායකයා කර්නල් රත්නප්‍රිය
(11.06.2018 – 11:20 +0530 – sinhala.adaderana.lk)

යාපනය කිලිනොච්චි මුලතිව් අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කිළිනොච්චිය ඉරණමඩු සිවිල් ආරක්ෂක බළකා ප්‍රධාන මූලස්ථානයේ සිට අඹේපුස්ස යුධ හමුදා කඳවුරට ස්ථාන මාරු ලැබ පිටත්ව යන මොහොතේ පුණරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන් හැඬූ කඳුළින් සමුදීමේ සංවේදී අවස්ථාවක් ඊයේ 10 දින දැක ගැනීමට හැකිවිණි.

කිලිනොච්චිය විශ්වමඩු හි පිහිටි ප්‍රධාන මූලස්ථානයට ප්‍රදේශවාසීන් මෙන්ම අති විශාල ජනතාවක් පැමිණ කර්නල් රත්නප්‍රිය බන්දු මහතා බදාගෙන හඬා වැටෙන ආකාරයත් කිහිපදෙනෙකු ක්ලාන්තය දා වැටෙන ආකාරයත් දැක ගැනීමට හැකියාව ලැබිණි.

කර්නල් රත්නප්‍රිය බන්දු මහතා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී 2012 වසරේ ‍ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුරක් හොබවමින් ඔහුට බාර වූයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කොට එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ ක්‍රියාවලිය යි.

3500 කට අධික පිරිසක් කිසිදු අවියක් අත නොතබා පුනරුත්ථාපනය කොට ඔවුන්ගේ ජීවන මඟ සවි කිරීමට ඔහුට හැකියාව ලැබිණි. ඒ අනුව වසර පහමාරක කාලයක් මෙම ජනතාව සමඟ එකට ගැටී දිස්ත්‍රික්ක තුනේම ජනතාව සමඟ විවිධ ස්වේච්ඡා සංවිධාන ආරම්භ කරමින් ප්‍රදේශයේ ජනතාවගේ ගැලවුම්කාරයා බවට ඔහු පත්ව තිබේ.

විශ්වමඩු ප්‍රධාන කාර්යාලයට පැමිණි ඔව්හු දැඩි ලෙස හඬා වැටීමෙන් පසු රත්නප්‍රිය බන්දු මහතා එම ස්ථානයෙන් පිටත් වෙද්දී කිලිනොච්චිය නගර මධ්‍යයේ තවත් සුවිශේෂී වූ උත්සවයක් සංවිධානය කර තිබිණි.

එනම් විශාල කාන්තාවන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් එක්ව මගදිගට ඔහුට මල්මාලා පරදවමින් උපහාර දක්වමින් නැටුම් ගැයුම් ආදී වලින් උත්සවයක් සංවිධානය කර තිබිණි.

පසුව පුටුවක් මත වාඩි කර වූ මෙම යුද හමුදා නිලධාරියා මෙම දමිළ ජනතාවගේ කරමතින් තබාගෙන කිලිනොච්චි නගර මධ්‍යයට ගෙන් වීමද විශේෂත්වයකි. පසුව එම ස්ථානයේදී මෝටර් රථයට නැග රත්නප්‍රිය මහතාට පිටව යන්නට නොදී කාන්තාව හඬා වැටෙන්නට වූවාය.

රත්නප්‍රිය බන්දු මහතා දිවා ආහාරය ලබාගැනීම සඳහා ප්‍රදේශයේ හෝටලයකට ගොස් ආහාර ගනිමින් සිටියදී තවත් කණ්ඩායමක් එක වරම එම ස්ථානයට පැමිණ ඔහුට නොයන ලෙස ඉල්ලමින් හඬාවැටෙන්නට වීමද විශේෂත්වයකි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරුත්ථාපනය වූ බොහෝ දෙනා කියා සිටියේ පෙර තමන්ගේ නායකයා බවට පත්වූයේ ප්‍රභාකරන් බවය එහෙත් මේ වන විට ඒ සියල්ල අතහැර දමා තමන්ගේ නායකයා ලෙස හඳුනාගෙන තිබෙන්නේ ආදරය කරන්නේ කර්නල් රත්නප්‍රිය බන්දුට බව ඔවුහු හඬා වැටෙමින් කියන්නට වූහ.

ඒ මහතා මෙම ප්‍රදේශයට ලබාදෙන්නැයි ඔවුහු කෑකෝ ගසමින් කියන්නට වීම විශේෂත්වයකි.

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

කර්නල්වරයා ඉදිරියේ සිදුකළ හැසිරීම එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට කරපු ද්‍රෝහිකමක් – සිවාජිලිංගම්
(11.06.2018 – 20:20+0530 – hirunews.lk/sinhala)

අවස්ථාවාදී දේශපාලනඥයින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තම පටු අරමුණු ඉටුකර ගැනීමට මෙවලම් කර ගන්නා සංහිඳියාව මේ මහ පොළවේ පැළකළ හැක්කක් නොවේ.

නමුත්, ජනහද තුළින් මතු වූ මහ පොළවේ පැළ වූ සැබෑ සංහිඳියාවේ කතාවක් ඊයේ කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කිලිනොච්චිය ප්‍රදේශයේ කාගේත් ගෞරව බුහුමානයට ලක්වූ සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත ස්ථාන මාරුවක් ලබා පිටව යෑම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව හැඟීම්බර වූවා.

වසර 6 කට ආසන්න කාලයක් යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ඒකාබද්ධ නිලධාරියා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අප රට ඉල්ලා සිටින සංහිඳියාව ඒ බිම තුළ පැළ කර ඇති ආකාරයට තවත් නිදසුන් කුමටද..?

අවස්ථාවාදී දේශපාලනඥයින්ට අතුල් පහරක් එල්ල කරමින් කිලිනොච්චි ජනතාව සංහිඳියාවේ යථාර්ථය එසේ පෙන්වද්දී එම ක්‍රියාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට කළ ද්‍රෝහිකමක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිංලිගම් මේ අදහස් පළ කළේ අද යාපනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

එම්.කේ. සිවාජිලිංගම් – උතුරු පළාත් සභා මන්ත්‍රී :

මෙම අවස්ථාවේදී අපේ ගම්වල ජනතාවගේ හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණත් හිටපු කොටි සාමාජිකයින් මෙහෙම කරපු එක වැරදියි. දෙමළ ඊළම ඉල්ලලා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට කරපු ද්‍රෝහිකමක්. අදාළ කර්නල්වරයා හොද කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට එසේ සැලකීම නිසා තවදුරටත් උතුරේ යුද හමුදාව රැදී සිටිය යුතුයි කියන මතය තවදුරටත් මිනිසුන්ගේ ඔළුවලට යනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *