ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් මුදල් ගත්තාදැයි ජනපතිගෙන් ප‍්‍රශ්න කරයි…

(11.06.2018 – 15:50 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි :

ගරු ජනාධිපතිතුමනි,

ජනාධිපතිවරණය සදහා මුදල් ලබා ගැනීම.

දූෂිත බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන ආලෝසියස්ට අයත් සමාගම් කිහිපයකින් දේශපාලකයින්ගේ මැතිවරණ ව්‍යාපාර සදහා මුදල් ලබා ගත් බවට මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

ඒ අනුව තමන්ගේ මැතිවරණ කටයුතු සදහා අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගමකින් මුදල් ලබා ගත් බව දේශපාලකයින් කිහිප දෙනෙකු මේ වන විටත් පිළිගෙන ඇත.

2018-06-10 දින අමාත්‍ය සරත් ‌ ෆොන්සේකා මහතා මාධ්‍යට පවසන්නේ ජනාධිපතිවරණය සදහාද අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගම් වලින් මුදල් ලබා ගෙන තිබීමට හැකියාවක් ඇති බවයි. ඒ අනුව අප ඔබ තුමාගෙන් පහත සදහන් ඉල්ලීම කරමු.

2015 ජනාධිපතිවරණය සදහා අර්ජුන ඇලෝසියස්ට හෝ ඔහුට සම්බන්ධ සමාගම් වලින් මුදල් ලබා ගෙන ඇත්නම් හෝ උක්ත සමාගම් වලින් මුදල් ලබා ‌ගෙන නැතිනම් ඒ පිළිබදව ප්‍රකාශයක් කරන ලෙස.

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

+++++++++++++++++++++++++++++++++++

ඇලෝසියස්ගෙන් ලැබුණු මුදල් ගැන, හිටපු ඇමති දයාසිරිගෙන් පැය 5 ක ප්‍රකාශයක්
(11.06.2018 – 16:22+0530 – hirunews.lk/sinhala)

අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් රුපියල් මිලියනයක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන්, පැය 5 කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

අද උදෑසන 10.30 ට පමණ මන්ත්‍රීවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ මීට පෙර සිදුකළ දැනුම්දීමකට අනුවයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට පසුගියදා කථාබහක් ඇතිවුණා.

කෙසේ වෙතත් පසුව ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මැතිවරණ සමයේ තමන්ට රුපියල් මිලියනයක චෙක්පතක් ලැබී තිබූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම මගහරිමින් සිටින බවටද පසුගියදා මාධ්‍ය වාර්තා ද පළවී තිබුණා.

****************************************

‘ආවා කල්ලිය’ අභිබවා ‘ධනුරොක් කල්ලිය’ යාපනයේ හිස ඔසවයි
(11.06.2018 – News e Lanka)

යාපනයේ ක්‍රියාත්මක වූ ”ආවා ගෲප්”කල්ලිය අභිබවා ”ධනුරොක් කල්ලිය” හිස එසවීමට උත්සාහ කරණ බව යාපනයේ බුද්ධි අංශ නිලධාරීහු කියා සිටිති.

”ධනුරොක් කල්ලිය”බිහි වී ඇත්තේද යාපනයේ මුලින්ම ක්‍රියාත්මක වූ ”ආවා ගෲප්” කල්ලියෙන් කැඩී ගිය පිරිසකගෙන් බව පවසන යාපනයේ ආරක්ෂක අංශ යාපනයේ කොකුවිල් පොලීසිය විසින් ”ධනුරොක් කල්ලියේ” සාමාජිකයින් තුන්දෙනෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසුව මේ කල්ලි සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක්ම අනාවරණය වී ඇති බවද කියා සිටියේය.

”ධනුරොක් කල්ලිය” යාපනය කොකුවිල් බටහිර ප්‍රදේශයේදී ඊයේ (10) දහවල් තරුණයින් දෙදෙනෙකුට පහරදීමෙන් එම තරුණයින් තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර පහරදීමට පැමිණි පිරිසෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කොකුවිල් බටහිර අරුගල්මඩම් ප්‍රදේශයේදී මෙම පහරදීම සිදු කොට ඇති අතර යතුරුපැදි දෙකකින් පැමිණි පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මාර්ගයේ ගමන්කරමින් සිටි තවත් තරුණයින් දෙදෙනෙකුට පහරදී ඇත.

පහරදීම සිදු කරන අවස්ථාවේදී යාපනය පොලිස් නිලධාරීන් පිරිසක් විදි මුරසංචාරයක නිරතව සිට ඇති අතර එම නිලධාරීන් විසින් පැමිණි යතුරු පැදියක් සහ එහි සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ කොකුවිල් අරුගල්මඩම් ප්‍රදේශයේ පදිංචි බාලසිංහම් පහීධරන් හා රාසයියා ධනුජන් වන අතර ඔවුන් යාපනය රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අදාල පහරදී ගැනීමට සම්බන්ධ වූ පිරිස් යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ සහ ධනුරොක් කල්ලිවල සාමාජිකයින් බවට සැකකරන අතරම පසුගිය දිනවලදී මෙම කල්ලි දෙක අතර අවස්ථා කිහිපයකදී ගැටුම් ඇති වූ බවටද වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

– දිනසේන රතුගමගේ විසිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *