අනුර සැගවෙයි.. බිමල් ලෙඩවෙයි.. 20 ගැන ‘හිරු බලය’ වීරවංශ-ගම්මන්පිල සමග විවාදයට නෑවිත් පැන යයි..

(12.06.2018 – 14:10 +0530 – lankacnews.com)

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හිරු රූපවාහිනිය විසින් අනින්දා (14) දිනයේ සූදානම් කර තිබූ ‘බලය’ දේශපාලන විවාදය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් කලින් පොරොන්දු වූ පුද්ගලයන් කිසිවෙකු සහභාගී නොවන තත්වයක් ඇතිව තිබේ.

හිරු නාලිකාව වෙත ඔවුන්ගේ පාර්ශවයෙන් පවසා ඇත්තේ විවාදය සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා හෝ බිමල් රත්නායක මහතා සහභාගී නොවන බවයි.

බිමල් රත්නායක මහතා උගුරේ ආබාධයක් හේතුවෙන් සහභාගී නොවන බව දන්වා ඇතත් අනුර දිසානායක මහතා සහභාගී නොවන්නේ කුමක් නිසාදැයි නිශ්චිතව පවසා නැත.

ඒ වෙනුවෙන් විජිත හේරත් මහතා සහ දකුණු පළාත් සබා මන්ත‍්‍රි නලින් හේවගේ මහතා සහභාගී කරවන බව හිරු නාලිකාවට දන්වා ඇත.

මෙම අභියෝගය සිදු කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කර ඇත්තේ පොරොන්දු වූ පරිදි අනුර දිසානායක මහතා මේ සදහා පැමිණෙනු ඇති බව තව දුරටත් බලාපොරොත්තු වන බවත් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු හෝ සහභාගී කරනු ඇතැයි සිතන බවත්ය.

ජවිපෙ පාර්ශවයෙන් අනුර දිසානායක හා බිමල් රත්නායක මහත්වරුන්ද ප‍්‍රති පාර්ශවයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ද විවාදය සදහා සහභාගී වීමට නියමිතව තිබින.

පොරොන්දු වූ පුද්ගලයන්ගේම සහභාගීත්වයෙන් විවාදය පැවැත්වෙන්නේ නම් තමන් දෙදෙනා ස්ථිරවම සහභාගී වන බව වීරවංශ හා ගම්මන්පිල මහත්වරුන් සදහන් කරති.

අනුර දිසානායක මහතා විසින් තම පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලද කෙටුම්පත සම්බන්දයෙන් ප‍්‍රසිද්ද වාදයකට ඔහු නොපැමිනෙන්නේ මන්දැයි ඔවුහු පෙරලා හිරු නාලිකාවෙන් ප‍්‍රශ්න කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++++

මෛත‍්‍රී ජනාධිපති වූ පසු රටට දැනෙන ජයග‍්‍රහණ කිසිවක් නෑ.. 19 සංශෝධනය කලබලේට සම්මත කල නිසා අද ප‍්‍රශ්න ගණනාවක් ඇතිවෙලා..
(12.06.2018 – 15:50 +0530 – lankacnews.com)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ අනුග්‍රහයෙන් ගෙන එන කූට වැඩ පිළිවෙලක් බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

ඊයේ (ජුනි 11) රත්නපුර නව නගරයේ දේශපාලන ක්‍රියාකාරී රැස්වීමක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධීකරණයෙන් පාර්ලිමේන්තුවෙන් පමණක් සංශෝධනය කිරීමට ඉඩ ලබා නොදුන් විධායක ජනාධිපතිවරයාගේ බලතල ඉතාමත් සුක්ෂම ලෙස කප්පාදු කරමින් අගමැතිවරයාට එම බලතල පවරාදීම 20 වෙනි සංශෝධනය තුළින් සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘ජනතා විමුක්ති පෙරමුණ මේ 20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ඔවුන්ගේ දේශපාලනික උපාය මාර්ගයක් ලෙසයි. ඔවුනට ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව කිසිදා ජයග්‍රහනය කළ නොහැකිවීම, ඔවුන් මැතිවරණයට තීරණාත්මක බලපෑමක් සිදුකිරීමට නොහැකිවීම, පාර්ලිමේන්තුව අස්ථාවරවීම තුළ ඔවුනට පක්ෂයක් ලෙස එහි වාසිය ලබා ගැනීම යනාදී කරනු මේ සඳහා හේතු වී තිබෙනවා.

ඒ වගේම 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කර ලබා ගත් දේශපාලන බල හුවමාරුව තුළ රටට දැනෙන ජයග්‍රහන කිසිවක් අත්පත් කර දීමට අසමත් වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අනාගතය බරපතල අර්බුදයකට ගිහින් තියෙනවා.එම නිසා එම දේශපාලන අර්බුදය සමනය කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ න්‍යාය පත්‍රයට සූක්ෂම ලෙස සහය දැක්වීමට අද ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරමින් සිටිනවා’සෙනෙවිරත්න මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින්,

‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කරනව නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් ඒ හා සමගාමීව වෙනස් කළ යුතුමයි.එසේ නොවුනහොත් රට සම්පූර්ණයෙන්ම අස්ථාවර වීමත් රට අරාජික වීමත් වලක්වා ගත නොහැකියි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි කඩිමුඩියේ සංශෝධනය කිරීමෙන් යම් යම් ගැටළුකාරී තත්වයන් අද උද්ගතව තිබෙනවා.කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී 19 වෙනි සංශෝධනයේදී සිදු කළ සංශෝධන නිසා අද ගැටළු මතුව තිබෙනවා.

20 වෙනි සංශෝධනයෙන් අගමැතිගේ උපදෙස් මත ජනාධිපති කැබිනට් මණ්ඩලය පත් කිරීමට යෝජනා කරනවා. ඒ කියන්නේ ජනාධිපතිට තියෙන්නේ අත්සන් කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේම අපි දැක්ක පසුගිය කාලයේ කැබිනට් මණ්ඩලය තුළ රටට අහිතකර යෝජනා ගණනාවක් විසිකරන්න ජනාධිපති වරයා කටයුතු කලා. ඒවා අතර සමලිංගික යෝජනා, රාජ්‍ය සම්පත් විකුණන යෝජනා තිබුණා. දැන් නව යෝජනා අනුව ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානියා නොවෙයි. ඔහු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වෙන්නෙත් නෑ. මේ අනුව සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති බලතල අගමැතිට පවරලා තියෙනවා. ඒ වගේම 20 තුළ තිබෙන්නේ රටේ ජනතාවට තමන්ගේ කැමැත්තෙන් ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ පරමාධිපත්‍ය බලය අහිමි කරවීමේ වැඩපිළිවෙලක්.

අපි පැහැදිලිවම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි.ඒ වගේම අපේ රටේ බහුතරයක් මහා සංඝරත්නය, සුළු ජාතික පක්ෂ, විද්වතුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් 20 ට විරුද්ධව පෙළගැසී සිටිනවා. ඒ අනුව මේ සංශෝධනය අනිවාර්යයෙන්ම අපි පරාජය කරනවා’ සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *