එන්තරාවාසිය තුට්ටුවකට නොතකයි.. ජවිපෙ සල්ලි ගත් බව මෛත‍්‍රී ගුණරත්න යලි කියයි..

(12.06.2018 – 13:20 +0530 – lankacnews.com)

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මෛත්‍රී ගුණරත්න මහතා විසින් මාධ්‍ය හරහා කරන ප්‍රකාශයකට අදාලව ඊයේ (11) වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ මහතා වෙත රුපියල් මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසියක් ඒවා තිබේ.ඊට අදාලව අද (12) උදැසන ඒ මහතා විසින් මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දී තිබේ.

“ජනතා විමුක්ති පෙරමුණ මට ගෙදරට ඇවිත් වෙඩි තබා හෝ බෙල්ල කපා මරා නොදමා නිත්‍යානුකුලව එන්තරවාසියක් එවීම ගැන මම මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට ස්තුතිවන්ත වෙනවා”යැයි ඔහු සදහන් කළේය.

තව දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා,

“88/89 කාලයේදී වගේ මම මේ ප්‍රකාශය කළා නම් මම දන්නවා එදා හවස මගේ ගෙදරට කීර්ති විජයභාහුගේ අත්සනින් ලිපියක් එවයි,නැත්නම් බෙල්ල කපා හෝ වෙඩි තබා මරා දමයි.ඇත්තටම අද ජවිපෙ කැලෑ නිතිය වෙනුවට රටේ නිතිය පිළිගනිම ගැන අපිට සතුටු වෙන්න පුළුවන්”

“කෙසේ නමුත් අපි අහන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඒක ප්‍රශ්නයයි,මාධ්‍යවේදී මහේෂ් සේනානායක සමග තිබුණු විශේෂ සම්බන්ධය කුමක්ද කියන එකයි.ඔහු හරහා පර්පචුවල් ට්‍රෙෂරිස් සමගින් යම් මුදලක් ගත්තද නැද්ද කියන එකයි, එසේ නොගත්තානම් ඇයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ජවිපෙ මේ තරම් පස්සට යන්නේ.එහෙම ගත්තේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සට පුළුවන් වෙන්න ඕනේ එහෙම ගත්තේ නෑ කියලා දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කරන්න.එහෙම නැතුව මට එන්තරවාසියක් එවලා වැඩක් නෑ.ගුනරත්නලා නිහඩ කරන්න ජවිපෙට එන්තරවාසි එවලා බැහැ”

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“පසුගිය කාලේ ජවිපෙට මුදල් ලක්ෂ ගානක් දුන්න බව විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇති බව මාධ්‍ය වාර්තා කරලා තිබුනා.ඒ වගේම රාජිත ඇමතිතුමාගේ පුතා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ජවිපෙට මුදල් දුන් බව සදහන් කරලා තිබුනා.ඒ අවස්ථාවලට ජවිපෙ මේ වගේම ලොකු ඝෝෂාවක් කරා,නමුත් ජවිපෙ අද වෙනතුරු ඒ මුදල් සම්බන්ද චෝදනා වලට අධිකරණය මගින් විසදුම් ලබාගත්තේ නැහැ.මම ජවිපෙට අභියෝග කරනවා නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාගේ හා මාධ්‍යවේදී මහේෂ් සේනානායකගේ හා මෙන්ඩිස් සමාගමේ එහෙමත් නැත්නම් අර්ජුන ඇලෝසියස්ලගේ දුරකථන සංවාදවල සවිස්තර වාර්තාවක් මාධ්‍යට දෙන්න කියලා.එතකොට රටේ ජනතාවට බලා ගන්න පුළුවන් එයාලගේ සුජාත භාවය” යනුවෙන් ඔහු සදහන් කළේය.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

++++++++++++++++++++++++++++++++++++++

බැදුම්කරයෙන් කොල්ල කා ඇත්තේ ජනතා මුදල්.. මැතිවරණ ව්‍යාපාරවලට ගත්ත අයගේ රෙදි ගලවමු.. – එජාප මන්ත‍්‍රී මරික්කාර්
(12.06.2018 – 12:00 +0530 – lankacnews.com)

බැදුම්කරයෙන් කොල්ල කා ඇත්තේ ජනතා මුදල් බවත්, ඒ මුදල් දැන දැනම මැතිවරණ ව්‍යාපාරවලට ගත්ත අයගේ සුදු පිරුවට පාට පක්ෂ පාට භේදයකින් තොරව ගලවා දැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, රුපියල් ලක්ෂ 56 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොටිකාවත්ත බෝගහවත්ත මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක් වෙමින්ය.

“මහබැංකු බැදුම්කරය වුනේ මාර්තු මාසේ, මැතිවරණය තිබ්බේ අගොස්තු මාසේ,එතකොට මහජනතාවගේ බදු මුදල් උඩ තියෙන මහ බැංකුව කොල්ලකෑවායි කියන මතය තමයි සමාජයේ ගියේ. මාර්තු මාසේ කොල්ල කාපු සල්ලි අගොස්තු මාසේ වෙනකොට එළිවෙලා තියෙනවා. ජනතාවගෙන් කොල්ල කෑ බව දැන දැනම කවුරුහරි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඒ මුදල් අරගෙන තියෙනවා නම්, ඒ අයගේ සුදු පිරුවට පක්ෂ පාට භේදයකින් තොරව ගලවලා දාන්න ඕනේ.

සාමාන්‍යයෙන් මැතිවරණකදී ව්‍යාපාරිකයෝ අපේක්ෂකයින්ට උදව් කරනවා. ඒ ක ඇත්ත හැබැයි තමන් ගන්නේ කාගේන් ද නොගන්නේ කාගෙන් ද කියලා තමන් දැන ගන්න ඕනේ. ඒක හරියට ගම්මන්පිල මහත්තයා රුපියල් 100 ගත්තා වගේ තමයි. ඒ රුපියල් 100 ඇතුලේ කුඩුවිකුණපු අයගේ, පාතාලයින්ගේ සල්ලි තියෙන්න පුළුවන්.ඒ හා සමානයි ඇලෝසියස්ගෙන් මුදල් ගැනීම.

මේ 118 එළියට දැමීම අතිශයින්ම වැදගත් වෙනවා. මොක ද මේ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම හොරු ගානට වැටිලා තියෙනවා. ඒ අය දිහා වපර ඇහින් බලනවා. මං බය නැතිව කියනවා දේශපාලනයට ආපු වසර 03 තුළ මගේ අත් දෙකම පිරිසිදුයි ඇගිලි 10 පිරිසිදුයි.මගේ නියපොත්තේ වත් කුණු ගෑවිලා නෑ.ඒක මං වගකීමෙන් කියනවා. අනික මේවා හොද පාඩම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලදී මුදල් ලබා ගන්න අයට. මොක ද හේතුව මැතිවරණ ව්‍යාපාරවලදී ගන්න හැම රුපියලකටම අපි වගකියන්න ඕනේ යැයි පැවසීය.”

– මිනුර රෂාන්ත

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *