ශ්‍රී ලංකාව ආසියාවේ කුණු බක්කිය වෙලා වසන්ත සමරසිංහ කියයි

(12.06.2018 – 15:01 +0530 – sinhala.adaderana.lk)

සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර තිබෙන නිසා කණෙන් ඇදගෙන ගොස් හෝ එට්කා ගිවිසුම අත්සන් කර ගැනීමට ඉන්දියාවට හැකියාවක් පවතින බව ජනතා විමුත්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (12) එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වු වසන්ත සමරසිංහ මහතා :

“සිංගප්පූරුවෙන් ලැබුණු සංතෝෂම්වලට රැවටිලා, සිංගප්පූරු සංචාරවලට රැවටිලා ජොලි කරපු නිලධාරීන් සහ ඇමතිවරුන් එකතු වෙලා රටේ ජනතාවගේත් රටේ ආර්ථිකයේත් ආරක්‍ෂාව ගැන නොහිතා රට අනතුරක හෙළලා ගිවිසුම අත්සන් කොට තිබෙනවා. මේ ගිවිසුම මගින් ලෝකය ඉදිරියේ අපි අවදානමට ලක්වෙලා තිබෙනවා. වසර 10-12 ක් ගතවන විට අපේ රටේ ආර්ථික ක්ෂත‍්‍රයේ ඉතිරිවන දෙයක් නැතිවෙනවා.

මේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ ඉතාමත් වගකීම් විරහිතවයි. මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය පිළිබඳව වාර්තාවක් එළිදක්වලා තිබෙනවා. 2017 මහ බැංකු වාර්තාව අනුව අපේ රටේ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 10,313 යි. විගණකාධිපති වාර්තාව අනුව එම වර්ෂයේම ණය එකතුව රුපියල් බිලියන 10,701 ක් වෙනවා.

එය ශ්‍රී ලංකාවේ ආර්ථියේ 81% ක්. නමුත් මහ බැංකු වාර්තාවට අනුව එය 77.6% ක්. වෙනස 3.4% ක් වන අතර එය රුපියල් බිලියන 400 ක් පමණ වෙනවා. එතරම් ණය ප‍්‍රමාණයකට මොකද වුණේ? අපේ රටේ ණය ප‍්‍රමාණය නිවැරදිව ගණනය කරගන්න බැරි පාලකයින් අත්සන් කරන ගිවිසුම් අප විශ්වාස කරන්නේ කොහොමද? එම නිසා මෙම ගිවිසුම රටට හානිකරයි. අපේ රටේ කර්මාන්තවලට හානිකරයි.

එනිසා මෙම ගිවිසුම පරාජයට පත්කළ යුතුව තිබෙනවා. රටට හොරෙන් අත්සන් කරපු මෙම ගිවිසුම මගින් රට පාවාදී තිබෙනවා. මෙම ගිවිසුම පිළිබඳව ජනාධිපතිට හෝ අගමැතිට තමන් නොදන්න බව පවසන්න බැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය එන්නත් කලින් මෙම ගිවිසුම අත්සන් කළාදැයි ප‍්‍රබල සැකයක් තිබෙනවා. එම නිසා මෙම ගිවිසුම මගින් රටට වෙන හානිය වළක්වා ගන්න ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. එම ගිවිසුම මගින් බලපෑමට ලක්වෙන සියලූම ක්ෂත‍්‍රවල නියෝජිතයින් සමඟ අපි සාකච්ඡා කරනවා.

ලබන 27 වැනිදා ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණයක් පවත්වනවා. ඒ වගේම සියලූම ක්ෂත‍්‍රවල ජනතාව සහභාගි කරවාගෙන මෙම ගිවිසුම පරාජය කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

එට්කා ගිවිසුම අත්සන් කිරීමට යන මොහොතේ ප‍්‍රපාතන විරෝධී ප‍්‍රතිතෝලන බදු පනත සහ ආරක්‍ෂණ පියවර බදු පනත සම්මත වී තිබුණේ නැහැ. නමුත් එම පනත් දෙක සම්මත වී තිබෙන නිසා සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර තිබෙන නිසාත් දැන් ඉන්දියාවට හැකියාව තිබෙනවා කණෙන් ඇදගෙන ගොස් හෝ එට්කා ගිවිසුම අත්සන් කර ගැනීමට.

මෙම ගිවිසුම මගින් වාසියක් ඇත්තේම නැද්ද කියලා සමහරු ප‍්‍රශ්න කරනවා. සිංගප්පූරු වෙළඳපොළ අපිට විවෘත වෙනවා කියලා එය වාසියක් ලෙස කියන්න පුළුවන්. නමුත් අපිට ලැබෙන වාසියට වඩා වැඩිපුර සිදුවෙන්නේ අවාසියි. කෙසේ වෙතත් මෙම ගිවිසුම මගින් ලංකාවට ලැබෙන අලූත් වාසිදායක තත්වයක් නැහැ. මොකද, සිංගප්පූරුව කොහොමත් ආර්ථිකය විවෘත කරපු රටක්. ගිවිසුම හරහා ලංකාවට හිමිවන්නේ වැඩිපුර අවාසි පමණයි.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *