‘අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා ! ‘ ජාතික රූපවාහිනියේ මහේෂ් නිස්සංක මහතා සියළු දෙනාගෙන්ම ඉල්ලයි

(12.06.2018 – 16:53 +0530 – saaravita.lk)

ජනප්‍රිය නිවේදක මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස ඒ මහතා සියළු මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

‘මහේෂ් නිස්සංක මහතා කාය වර්ධන මධ්‍යස්ථාන හිමිකරුවකු සමග අරවුලක් ඇති කරගෙන ඔහුට පිහියෙන් ඇන තිබෙන බවත් තුවාලකරුවා මේ වන විට රෝහල් ගත කර ඇති බවත්, මහේෂ් නිස්සංක මහතා නිවසින් බැහැරව සැගවී සිටින බවටත්’ ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රචාරය කරමින් සිටියි. එමෙන්ම‍ ‘කඩවත පොලිසියේ මහේෂ් නිස්සංක මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඔහු පොලිසිය මගහැර සැගවී සිටින බවත්’ මෙම අසත්‍ය කටකතා මගින් ප්‍රචාරය කරමින් සිටියි.

එනමුත් සත්‍ය සිදුවීම වන්නේ එඩේරමුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදී මහේෂ් නිස්සංක මහතාගේ දරුවාව බලහත්කාරයෙන් පැහැර ගැනීමට කිසියම් නාදුනන පිරිසක් පැමිණ තිබේ. එම අවස්ථාවේ නිස්සංක මහතා තම මෝටර් රථයේ තිබුණු ඉස්කුරුප්පු නියනකින් එම නාදුනන පිරිසෙන් එක් අයකුට ප්‍රහාරයක් එල්ල කර ඇත. ප්‍රහාරයෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 ස් හැවිරිදි වසන්ත කුමාර ලියනගේ නැමති කාය වර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකු තුවාල ලබා ඇත. ඔහු සහ දරුවාව පැහැර ගැනීමට පැමිණි පිරිස පිළිබඳව මේ වන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

මහේෂ් නිස්සංක මහතා අද දින (12) ඔහුට එරෙහිව කර ඇති පැමිණිල්ලේ විභාගයට පෙනී සිටීම සදහා කඩවත පොලිසියට නියමිත වේලාවට පැමිණ තිබේ.

මෙම සිද්ධිය පාදක කර ගිනිමින් මහේෂ් නිස්සංක මහතාට එරෙහිව අසත්‍ය මඩ ප්‍රචාර නිකුත් වෙමින් පවතී. එම අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඔහු සියළු පාර්ශ්ව වලින් කාරුණිකව ඉල්ලා සිටියි ෴

+++++++++++++++++++++++++++++++++++++

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රිමාන්ඩ්
(12.06.2018 – 15:42 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

වත්තල – එඬේරමුල්ල ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 9 වනදා රාත්‍රි 7.30 ට පමණයි.

පහරකෑමට ලක්ව ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 33 හැවිරිදි වසන්ත ලියනගේ නැමැත්තෙක්.

සාදයකට සහභාගිවීම සඳහා යමින් සිටි අතරතුරදී ඔහු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එඬේරමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ සුපිරි වෙළඳසැලට ගොස් තිබෙනවා.

එහිදී ඔහුට මාධ්‍යවේදී මහේෂ් නිස්සංක, දරු දෙදෙනා සහ ඔහුගේ බිරිඳ හමුවී ඇති අතර, පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව රථ ගාල තුළදී එය ගැටුමක් දක්වා පරිවර්තනය වී ඇති අතර, එම අවස්ථාවේදී තියුණු ආයුධයකින් අදාළ පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අතර කළක පටන් පවතින පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරකෑමට ලක්වූ වසන්ත ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා :

‘‘මහේෂ් කියන පුද්ගලයා රූපවාහිනී සංස්ථාවේ වැඩකරන මගේ නමට හරි නැති ගොඩක් දේවල් පතුරුවලා තියෙනවා ගෙවල් පැත්තේ. ඒ වෙලාවේ ‘කැත වැඩ කරන්න එපා; පිරිමියෙක් වගේ වැඩකරනවා’ කියලා මම කිව්වා. කියලා මම යන්න යනකොට කාර් එකට තට්ටු කරලා පුතාලා දෙන්නා ‘මොනවද කිව්වේ ?’ අනං මනං කියලා මට එක පාරක් ගැහුවා. මට දැන් මුකුත් කරගන්න විදිහක් නැහැ. ඒ ගොල්ලෝ ගහනවා. මම කොහොම හරි ඒ එක්කෙනෙක්ව අල්ලගෙන බිමට වැටුණා තල්ලු කරගෙන ගිහිල්ලා. බිමට වැටිච්ච වෙලාවේ පිටිපස්සෙන් මගේ යාළුවෙක් බේරන්න ඇවිල්ලා තියෙනවා. එයාවත් තල්ලු කරලා එයාටත් ගහලා මේ මනුස්සයා ඇවිල්ලා මගේ පිටට කිනිස්සකින් ඇනලා.’’

ප්‍රශ්නය – කවුද ඇන්නේ?

‘‘ඒ මහේෂ් කියන පුද්ගලයා. මට නිකන් පණ නැතුව වගේ ගියා. ඇවිල්ලා බලද්දී මෙයා පිහිය අරගෙන අනිත් අයටත් අනින්න කෑගගහා හිටියා. යාළුවො මාව ඇදගෙන ගිහින් වාහනයට දැම්මා. රෝහල් ගත කළා. මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ දවස් දෙකක් ඉඳලා තමයි වාට්ටුවට දාලා තියෙන්නේ’’

ඔහුගේ මවද සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසක් :

‘‘ඔය මාධ්‍යවේදියා – මහේෂ් නිශ්ශංක හැංගිලා හිටියා. පොලිසිය හොයන්න යනකොට ‘නැහැ’ කියලා. කඩවත පොලිසිය පැමිණිල්ල ලියන වෙලාවෙත් අර මාධ්‍යවේදියාගේ පැත්ත ගත්තා මිසක් තුවාල වෙලා අසාධ්‍යයෙන් ඉස්පිරිතාලේ ඉන්න මගේ දරුවාගේ පැත්ත ගත්තේ නැහැ. සාක්ෂිකාරයෝ දෙන්නට කිව්වා ‘දානවා කූඩුවට බොරු කියන්න එපා. පිහි ඇණුමක් නෙමෙයි ඇනිලා තියෙන්නෙ. ගලක් ඇනිලා තියෙන්නේ. පොරබදද්දී අපට ඉස්පිරිතාලෙනුත් කිව්වා’ කියලා බොරුත් කිව්වා. සෙනසුරාදා මගේ ළමයට පිහියෙන් ඇන්නෙ රෑ 7.30 ට. ඔය මාධ්‍යවේදියා – ඔය මහේෂ් ඉරිදා සජීවි වැඩසටහනක් කරනවා. එතකොට එයාල අත්අඩංගුවට අරගෙන තිබුණේ නැහැ. දැන් අද (12) මම ගියා පෑලියගොඩට, නියෝජ්‍ය පොලිස්පතිතුමා හමුවෙන්න. ඒවෙලාවේ මම ඉන්න තැනදීම නියෝජ්‍ය පොලිස්පතිතුමා කඩවත පොලිසියට කතා කරලා මේ පිහි ඇණුමේ කේස් එකේ මාධ්‍යවේදියා නිශ්ශංක අත්අඩංගුවට ගන්න කියලා කිව්වා’’

මෙම සිදුවීම සම්බන්ධයෙන් ‘මාධ්‍යවේදී මහේෂ් නිස්සංකගේ ඉල්ලීම පරිදි’ බව පවසමින් ඔහුගේ මිතුරෙකු ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ එය මහේෂ් නිස්සංකගේ ෆේස්බුක් පිටුවේද හුවමාරුවන අයුරින්.

එහි සඳහන් කර ඇත්තේ ‘මහේෂ් නිස්සංකගේ දරුවා බලහත්කාරයෙන් පැහැරගැනීමට උත්සාහ කළ නාඳුනන පිරිසක් අතර සිටි පුද්ගලයෙකුට මෝටර් රථයේ තිබූ ඉස්කුරුප්පු නියනකින් ඔහු ප්‍රහාරයක් එල්ල කර ඇති’ බවයි.

කෙසේ වෙතත් අවස්ථා දෙකකදී මේ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා පොලීසිය ඔහුගේ නිවසට ගොස් ඇති අතර, නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ රජයේ රූපවාහිනී ආයතනයක සේවය කරන ඔහු වැඩසටහනකට සහභාගිවී ඇති නිසා නිවසේ නොමැති බවයි.

කෙසේ වෙතත් අද නීතීඥවරයෙකු මාර්ගයෙන් ඔහුගේ පුත්‍රයන් දෙදෙනා සමඟ කඩවත පොලීසියට භාරවී ඇති අතර, අනතුරුවයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් බාල පුත්‍රයා රුපියල් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ පහරකෑමට ලක්වූ පුද්ගලයාට එරෙහිව මාධ්‍යවේදී මහේෂ් නිස්සංක පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බව කඩවත පොලීසිය සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

සුපර්මාර්කට් කාර් පාක් එකේදී බොඩි බිල්ඩර්ට පුතයි යාළුවයි එක්ක මහේෂ් පෙරළගෙන ඇන්නා
(13.06.2018 – gossiplankanews.com)

පුද්ගලයකට පහරදී උල් ආයුධයකින් තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකට රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංකත් ඔහුගේ බාල වයස්කාර පුතාත් තවත් පුද්ගලයෙකුත් ඊයේ (12) කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේෂ්ගේ ළාබාල පුතු තනුජ නිශ්ශංකට ඇප නියමවූවත් මහේෂ් සහ අනෙක් පුද්ගලයා අද (13) දක්වා රිමාන්ඩ් කරන්නට මහර මහේස්ත්‍රාත් ශෂාන් දිනෙල් කටයුතු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාඨකයින් නොමග යවන ආකාරයේ ඇතැම් ආරංචි සමාජ මාධ්‍ය තුළ පතුරුවාහැර තිබුණත් අධිකරණයේදී හෙළිවූ කරුණු අනුව සිද්ධිය මෙසේය :

වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ ‘බොඩි වර්ක්ස් පර්සනල් ට්‍රේනිං’ නමැති ප්‍රසිද්ධ කාය වර්ධන මධ්‍යස්ථානය පවත්වා යන එහි හිමි කරුවූ වසන්ත කුමාර ලියනගේ මහතා කලා ශිල්පීන් සමගද සමීපව කටයුතු කරන්නෙකි.

ප්‍රකට නළුවන් නිළියන්ද ඔහුගේ ආයතනයේ පුහුණුවීම් සඳහා නිතිපතා පැමිණෙන අතර ඔහු කායවර්ධන අභ්‍යාස ගැන උපදෙස් සැපයීමට රූපවාහිනී වැඩසටහන්වලටද පෙනී සිටින අයෙකි.

ජාතික රූපවාහිනියේ මහේෂ් නිශ්ශංකවද ඔහු හොඳින් හඳුනයි. නමුත් මෑත කාලයේ ඔවුන් දෙදෙනා අතර කිසියම් විරසකභාවයක් පැනනැගී තිබී ඇත්තේ පුද්ගලික ගැටලුවක් මුල් කරගෙනයි. පසුගිය 9 වනදා රාත්‍රී කාලයේ කඩවත ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකදී මේ දෙදෙනා මුණගැසුණ අවස්ථාවේ පෙරකී ගැටලුකාරී තත්වය ගැන කථාබහක් මතුව ඇත.

මෙම කථාබහට එම අවස්ථාවේ මහේෂ් සමග පැමිණි ඔහුගේ පාසල් යන වයසේ පුතුද මිතුරෙකුද සම්බන්ධවූ අතර දුරදිග ගිය කතාව සුපිරි වෙළෙඳ සල ඇතුළේ කරගෙනයාම බාධාකාරී වූ නිසා ඔවුන් එළියටද පැමිණ බහින්බස්වීම සිදු කර ඇත.

එම අවස්ථාවේ කෝපය ඉහවහා ගිය මහේෂ් රථගාලේ නවතා තිබූ තම වාහනය වෙත දිවගොස් එය විවර කර එයින් උල් ආයුධයක් ගෙන ඇවිත් වසන්ත කුමාරට පෙරළගෙන පහරදී ඇත. එම පහර දීමට මහේෂ්ගේ පුතු මෙන්ම මිතුරාද සම්බන්ධවී ඇත. කෙතරම් ශක්තිවන්තයෙකු වුවත් තිදෙනෙකුගේ පහරදීම හමුවේ වසන්ත කුමාර දුබලවී ඇති අතර පහරකෑමට ලක් වූ කායවර්ධන ශිල්පියා බිම වැටී ඇති අතර ඔහු බරපතල තුවාල සහිතව රෝහල් ගත කරන්නට අවට සිටියවුන් පියවර ගෙන ඇත.

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් 35 හැවිරිදි අවිවාහක කායවර්ධන ශිල්පි වසන්ත කුමාර ජාතික රෝහලට ඇතුළත් කරන ලදුව සිව්වැනි දිනයටත් ප්‍රතිකාර ලබමින් පසුවුවත් මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවී තිබුණි.

ඊයේ (12) ඔවුන් තිදෙනාවම පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මහර මහේස්ත්‍රාත් ශෂාන් දිනෙල් මහතා මහේෂ්ගේ පුතු වන තුන්වන සැකකරු මුදල් හා ශරීර ඇප මත මුදාහරින්නැයි ඊයේ (12) නියෝග කළේ පාසල් යන වයසේ දරුවකු බැවින් ඔහු රඳවාගැනීම අවශ්‍ය නැති බව දක්වමිනි. රුපියල් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහුව මුදා හැරියද මහේෂ් සහ මිතුරා රිමාන්ඩ් කෙරිණි.

සිද්ධිය පිළිබඳ නඩු විභාගය අදත් පැවැත්වේ ෴

+++++++++++++++++++++++++++++++++++++

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රක්ෂිත බන්ධනාගාරයට
(13.06.2018 – 11:19 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (13) නියෝග කර තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++++

රූපවාහිනි නිවේදක හා වැඩිමහල් පුත්‍රයා ලබන 18 තෙක් යළිත් රිමාන්ඩ්
(14.06.2018 – mawbima.lk)

කඩවත සුපිරි වෙළෙඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන රාජ්‍ය රූපවාහිනි නාළිකාවක නිවේදකයා සහ ඔහුගේ වැඩිමහල් පුතුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහර මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සැකකරුවන් දෙදෙනා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඊයේ (13දා) නියම කළේය.

ඉකුත් 09 වැනිදා රාත්‍රි වත්තල එ‍ෙඬේරමුල්ල ප්‍රදේශයේ කායවර්ධන ශිල්පියකුට පහරදී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රියශාන්ත මහේෂ් නිශ්ශංකට සහ ඔහුගේ පුත් තනුජ කාවින්ද නිශ්ශංක (අවු. 24) යන දෙදෙනා මෙසේ නැවත රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. අධිකරණයෙන් ඇප නියම කර ඇති සැකකාර නිවේදකයාගේ පාසල් යන 17 හැවිරිදි පුත්‍රයාද ඊයේ (13දා) අධිකරණයට ඉදිරිපත් විය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්ද්‍රා සේනානායක මහත්මිය පැවැසුවේ ප්‍රධාන සැකකරු තම සේවාදායකයා සම්බන්ධයෙන් වසරක පමණ කාලයක සිට නොයෙකුත් අසත්‍ය ප්‍රචාර කරන බවත් සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ තුවාලකරු ශ්වසන අපහසුතාවයෙන් පෙළීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ ප්‍රදීප් ගමගේ මහතා පැවැසුවේ දෙපිරිස අතර සුපිරි වෙළෙඳසලේදී ඇතිවූ ආරාවුලෙන් අනතුරුව සැකකරුවන් සිද්ධියවී පැයක් ඇතුළත කඩවත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදී ඉදිරි පරීක්ෂණවලට සහාය වීමක් වශයෙන් ඔවුන්ගේ ජංගම දුරකථන අංක පවා පොලිසියට ලබාදී අනතුරුව පොලිසිය කළ දැනුම්දීම මත කඩවත පොලිසිය වෙත 12 වැනිදා ඉදිරිපත් වූ බවයි. ප්‍රධාන සැකකාර සේවාදායකයා තම බිරිය සහ දරු දෙදෙනා සමඟ කඩවත පිහිටි සුපිරි වෙළෙඳසලට ගොස් සිටියදී තුවාලකරු සැකකරු දෙස තරහින් බලා සිට ඇති බවත් එසේ බලා සිටින්නේ වැරැදීමකින්ද යන්න ඇසූ අවස්ථාවේ වෙළෙඳසල තුළදී දෙපිරිස අතර කතාබහක් ඇතිවීමෙන් පසු නැවත රථ ගාලේදී දෙපිරිස අතර ආරාවුලක් ඇතිවූ බවයි. එහිදී දෙවැනි සැකකරු වන තම පුත්‍රයාට බිම පෙරළාගෙන පහර දෙමින් ඔහුගේ ඇඟ උඩ ඉඳගෙන පුතාගේ ගෙලද මිරිකා සිටි අවස්ථාවේ පුතුගේ ජීවිත ආරක්ෂාව පතා පළමු සැකකරු වාහනයේ තිබූ නියනක් ගෙන තුවාලකරුට ඇන ඇති බවයි.

පළමු සැකකරු තම පුතාගේ සිරුර මත සිටි තුවාලකරුට නියනෙන් ඇනීම නිසා හටගත් තුවාලය ඇත්තේ ඇලපැත්ත ප්‍රදේශයේ බවත් තුවාලකරු කායවර්ධන ශිල්පියකු හෙයින් ඔහු සමඟ පොර බැඳීමක් කළ නොහැකි නිසා තම පුතුව බේරා ගැනීම සඳහා මෙසේ වාහනය තුළ තිබූ නියනකින් තුවාලකරුට පහරදුන් බවට පළමු සැකකරු පිළිගන්නා බවත්ය. ඒ නිසා සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කරුණු ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියම කිරීමෙන් අනතුරුව කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පෙරුමාල් පද්මනාදන් මහතා කරුණු දක්වමින් පැවැසුවේ 09 වැනිදා රාත්‍රියේදී දෙපිරිස අතර වචන හුවමාරුවක් වෙළෙඳසල තුළදීත් එම වෙළෙඳසලේ රථ ගාලේදීත් සිදුව ඇති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා 10 වැනිදා සහ 11 වැනිදා ඔවුන්ගේ නිවෙස් වෙත ගියත් සැකකරුවන් නිවෙසේ නොසිටි හෙයින් පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීම මත 12 වැනිදා පොලිසියට පැමිණි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවැසීය.

සැකකාර නිවේදකයා සහ ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළ මහෙස්ත්‍රත්වරයා ඇප මත මුදා හැර සිටින සැකකාර නිවේදකයාගේ 17 හැවිරිදි පුත්‍රයාට එදිනම (18දා) මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.

සැකකරුවන් වෙනුවෙන් චන්දන රාජපක්ෂ, ප්‍රසන්න විමලරත්න, ලලිත් පියුම් පෙරේරා සමඟ ප්‍රදීප් ගමගේ යන නීතිඥවරු පෙනී සිටියහ. කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පෙරුමාල් පද්මනාදන් මහතා පැමිණිල්ල මෙහෙය විය ෴

+++++++++++++++++++++++++++++++++++++

මාධ්‍යවේදී මහේෂ් නිස්සංකට ඇප
(18.06.2018 – 12:06 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔවුන් අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

රුපියල් හැත්තෑපන්දහසක ශරීර ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

මම කලේ තාත්තා කෙනෙක් විදියට මට තිබුණු එකම විසඳුම..! අධිකරණයෙන් එලියට ආ මහේෂ් කියපු සංවේදී කතාව…!
(18.06.2018 – nethgossip.lk)

පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ප්‍රවීන නිවේදන ශිල්පියෙකු වන මහේශ් නිශ්ශංක සහ ඔහුගේ පුත්‍රයා රුපියල් 75,000 ක ශරීර ඇපයක් සහ රුපියල් 1000 ක මුදල් ඇපයක් මත අද (18) නිදහස් කර ඇති අතර නැවත එළඹෙන ඔක්තෝම්බර් මස 22 වන දින අදාල නඩුව කැඳවීමට නියමිත තිබෙනවා.

මේ අතර අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි මහේෂ් නිශ්ශංක කියා සිටියේ තමන් කිසිඳු වරදක් නොකල බවත්, තමන් එම අවස්ථාවේදී සිදුකලේ පියෙකු තමන්ට කලහැකිව තිබූ එකම විසඳුම බවයි. එසේම මෙම මැර කණ්ඩායමේ එක්තරා පුද්ගලයෙකුගෙ විවාහක කාන්තාවක් සමඟ ඇති අනියම් සම්බන්ධතාවයක් හෙළිදරව් කල බව කියන චෝදනාවකට මෙම පහරදීම කල බවත්, ඔවුන් කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් මහේශ් නිශ්ශංක පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු කල ප්‍රකාශය පහතින් :

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

rupavahini.lk > Sihinayaki Re

+++++++++++++++++++++++++++++++++++++

‘කුණු ප්‍රේමයේ සුන්දරත්වය’ ගැන දේශන පවත්වන්නට යන්නේ නැතුව මෛත්‍රී පාරමිතාව සහ ක්ෂාන්ති (ඉවසීමේ) පාරමිතාව වැඩුවා නම් මෙබඳු විපතක් සිදුවන්නේ නැත – අමරසර

+++++++++++++++++++++++++++++++++++++

විදුලි බල මණ්ඩලයට වූ පාඩුව ලක්‍ෂ 16 යි – දඩය රුපියල් 10,000 යි
(12.06.2018 – 17:43 +0530 – lankadeepa.lk)

කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකුට රුපියල් 10,000 ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් ලක්‍ෂ 16කට අධික පාඩුව ගෙවීමටද විත්තිකරුට අද (12) නියම කළාය.

වායු සමීකරණ යන්ත‍්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත‍්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසේ විදුලි බිල වශ්‍යයෙන් පසුගිය වසර ගණනාවක කාලයක් ගෙවා ඇත්තේ රුපියල් 2,000 ක පමණ බිලක් බවත් ඉන් ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවී ඇති බව කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.

ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 16 ක මුදල කොටස් තුනකින් ගෙවීමට විත්තිකරුට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තිලක් අත්තනායක මහතා ඉල්ලා සිටියත් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඊට විරුද්ධත්වය පළ කරමින් ද්විත්ව පුරවැසිභාවය හිමි මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන විත්තිකරු මෙම නිවස විකුණා දමා රටින් පිටව යෑමට හැකියාව ඇතැයි කියමින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහෙස්ත‍්‍රාත්වරිය ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් 1,606,487.26 ක පාඩුව වහාම ගෙවීමට විත්තිකරුට නියම කළාය.

චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ 07, බුලර්ස් පටුමගේ පදිංචි ලක්සිරි ද සිල්වා මහතාටය.

විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරී ගාමිණි ප‍්‍රනාන්දු සහ සහකාර විමර්ශන නිලධාරීන් වන අධිකාරි පුෂ්පකුමාර සහ චානක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට ඇත ෴

++++++++++++++++++++++++++++++++

උසාවිය ගැනයි මගේ විශ්වාසය – මහේෂ් නිශ්ශංක
(25.06.2018 – saaravita.lk)

සුරම්‍ය රාත්‍රියෙන් ඒ මාධ්‍ය සගයා රාත්‍රියක් මුළු ලෝකයම නිදිවර්ජිතව තැබුවේයැයි මට සිතේ. හෘදයාංගම වූ කටහඬින් ඔහු බලහත්කාරයෙන් තොරවම අපේ නෙතු පියන් පැය ගණන් ඇහැරවා තැබුවේයැයි මට සිතේ. තවත් පැය ගණනක් අසා ඉන්නට තිබුණා නම් යෙහෙකැයි සකිසඳ කියන්නට සිතුණු තරමට වරෙක සිහිනයකි රූ අප වින්දනීය ඉසව් කරා රුගෙන ගියේය. මහේෂ් නිශ්ශංක හුදු නිවේදකයෙක් පමණක් නොව ජීවිත සරතැසට කලාවේ උල්පත් පාදමින් සිසිලසේ බිඳු ඉසින සොඳුරු සහෘදයෙක් වූයේ එනයින්ය. ඒ පූර්විකාව අසාධාරණ නැතැයි ඔබ එදා මෙදා තුර සිහිනයකි රූ සමඟ රුඳුණිනම් ඔබ ඔබටම සාක්ෂියක් වනු ඇත.

එහෙත් ඒ මාධ්‍ය සගයා ඉකුත් දින කිහිපයේ රටේ මාතෘකාවක් බවට පත්වූයේ මේ කිසිදු කරුණක් නිසා නොවේ. ඒ සිදුවීම අද පාඨක ඔබට යළි මතක් කළ යුතු සිදුවීමක් නොවන තරමට ඒ සිද්ධියට අහේතුකව වැඩි ඉඩක් මෙන්ම සහේතුකව අල්පමාත්‍රික ඉඩ හසරක් නානාවිධ අරමුණු ඔස්සේ විවිධ මාධ්‍ය ලබා දුන් වගද අපි දුටුවෙමු. ඇත්තටම සිදු වූයේ කුමක්ද? ඒ කිසිවක්ම විෂයෙහි තීන්දු තීරණ දීමට අපි විනිසුරුවන් නොවෙමු. එය හෙට දවසකදී අපක්ෂපාතී ලෙස ඉටුවෙන නීතියේ වගකීමක් පමණක් බවද අපි විශ්වාස කරමු. එහෙත් විද්‍යුත් වේවා මුද්‍රිත වේවා ඔහු අපේ මාධ්‍ය සගයෙකි. ඔහු හඬට අප ඉඩක් වෙන් කළේ එබැවිනි.

මහේෂ් අපි අහපු විදිහට ඔබේ ජීවිත පතුළේ සැඟවුණු එක අත්තිවාරමක් කියන්නේ දුප්පත්කම බඩගින්න කෙනෙහිලිකම් හා කඳුළු… මම එහෙම කීවොත් මොකක්ද ඔබ මට දෙන උත්තරය?

මට දැනුම් තේරුම් තිබුණු අවුරුදු පහක හයක කාලයේ ඉඳන් අපි හරිම දුප්පත්කමින් ජීවත් වෙච්ච පවුලක්. මායි, මල්ලියි, අම්මයි, තාත්තයි. අපි හිටියේ එඬේරමුල්ලේ. තාත්තට ස්ථීර රස්සාවක් තිබුණෙ නෑ. ගල්වලේ තාත්තා ගල් කැඩුවා. තල කොටලා තල කැරලි හදාගෙන බයිසිකලෙන් අරන් ගිහින් විකිණුවා අපිට වේලක් හරි කන්න දෙන්න. අම්මාට මැහුම් ගෙතුම් පුළුවන්. අම්මාට ජීවිතේ තිබුණු ලොකුම සම්පත තමයි ඒ මැෂින් එක. අම්මට ඒ මැෂින් එකයි ජීවිතයයි දෙකම එකක් වුණා. අපි වේලක් හරි එක වෑංජනයක් එක්ක බත් ටිකක් කෑවනම් එකම එක ඇඳුම හරි හෝද හෝද ඉස්කෝලේ ඇන්දානම් ඒ කෑවේ ඒ ඇන්දේ අම්මයි තාත්තයි ඒ වගුරපු අප්‍රමාණ කඳුළු දහඩියවලට අනේක වාරයක් පින්සිද්ධ වෙන්න….. ඕනෑතරම් වෙනස්කම් ඒ දුප්පත්කම අපිට උරුම කළා.

ඔබ ඔය කියන ‘ඕනෑතරම් වෙනස්කම්’ අස්සේ අදටත් මතක් වෙද්දී හිත පාරන වෙනස්කමක් ගැන මට මතකයි මහේෂ් ඔබ ජීවිතේ හුඟක් තැන්වලදී හරිම සංවේදීව කතා කරනවා.

ඔව්…. දවසක් මමයි මල්ලියි රූපවාහිනියක් බලන්න තිබුණු ආසාවට ගමේ යමක් කමක් තිබුණු ගෙදරකට ගියා. එදා අපි දෙන්නව ඒ ගෙදරින් එළියට ඇදලා දාලා දොර වැහුවා. ඒත් ටීවී බලන්න තිබුණු ආසාවට අපි වහපු දොර ළඟ තිබුණු පුංචි වා කවුළුවකින් ටීවී බැලුවා. ඒ පාර ඒ මිනිස්සු වා කවුළුවල දූවිලිවලට පිම්බා අපේ ඇස්වලට යන්න. එදා මායි මල්ලියි දෙන්නා හොඳටම ඇඬුවා කේන්තියටයි දුකටයි. සාමාන්‍ය පෙළ පන්තියේ හිටපු මුළු අවුරුද්දටම මට අඳින්න තිබුණේ එකම එක කොට කලිසමයි. මගේ අම්මා හරි දිරියවන්ත ගැහැනියක්. අම්මා මාව කොහොමහරි කැලණියේ ගුරුකුලයට දාලා තිබුණා. මට අවුරුදු දහය විතර කාලේ තාත්තාට පුංචි පොල් අතු තේ කඩයක් තිබුණා. ඉස්කෝලේ ඇරිලා මම එන්නේ තේ කඩේ වැඩට. පෑන් කේක්, තෝසේ, රෝල්ස්, පැටිස් ඔක්කොම හදන්න තාත්තා පිටි ටික හදලා දීලා නාන්න ගියාම මම හදලා බැදලා කරලා තියෙනවා. තේකක් බොන්න මනුස්සයෙක් ආවොත් තේ එක හදලා දීලා සල්ලි ගන්නවා. කඩේ වැඩේට ලොකු වතුර ටැංකියක් තිබුණා ඒක පුරවා ගන්න ඕන වතුරින්. මට උස්සන්න බැරි තරම් ලොකු බාල්දියකින් මම වතුර පුරවලා තියෙනවා ඒ ටැංකියට. මම ජීවිතේ ඇදගෙන ආවේ අන්න එහෙම පාරක් දිගේ.

වරිච්චි බිත්ති ගහපු ගෙදර- වැහිදාට බිම තෙමපු දිරච්ච පොල් අතු වහලය ඔබට දුප්පත්කම ඇරුණම අම්මගේ තාත්තගේ ආදරයත් මහමෙරක් වගේ කියන එක කියලා දුන්නා නේද කියලා මම කීවොත් එකඟද ඔබ මාත් එක්ක?

පොල් අතු මැද්දෙන් වැහිදාට වැටෙන වතුර හැමදාම ගේ තෙමන එක අපිට අරුමයක් වුණේ නෑ. ගහල යායක් තිබුණා. වැහිදාට තාත්තගේ වැඩේ ඒ ගහල යායේ ගහල වැල් කප කපා අර පොල් අතු අස්සට ඔබපු එක. පොල් අතු ටික අලුතින් හෙවිල්ලා ගන්න තාත්තට හයියක් තිබුණෙ නෑ.. අපි නිදාගත්තේ එක ගුලියේ පුංචි ඉඩක. වැහිදාට මමයි මල්ලියි නිදි කරලා අම්මායි තාත්තයි අර වරිච්චි බිත්තියට අත තියාගෙන ඉන්නවා. අත් දෙකින් බිත්තිය කඩා වැටුණොත් නතර කරන්න බැරි බව අම්මත් තාත්තාත් දැනගෙන ඉන්න ඇති. ඒත් ඒ තමයි අම්මාගෙයි තාත්තාගෙයි ආදරය.. ඒ ආදරයේ අසරණකම සහ බලවත්කම දෙකම..

අද සැප ඇඳන්වල නිදියද්දී එදා අබලන් බූරු ඇඳ ඔබට අදටත් ජීවිතය ගැන කියා දෙන යථාව මොකක්ද මහේෂ්?

එදා අපේ මුළු ගෙදරටම තිබුණු එකම එක බූරු ඇඳ පස්සේ මට නිදාගන්න හම්බුණා. ඒත් කැඩුණු බූරු ඇඳට අලුත් ගෝනි පඩන්ගුවක් ගහගන්න තාත්තාට වත්කමක් තිබුණේ නෑ. ලණු පොටවල් හරහට ඇදලා රෙද්දක් දාලා තිබුණු බූරු ඇඳේ නිදාගෙන නැගිට්ටම මගේ පිට පුරා ලණු පාරවල්. මගේ තාත්තා මාව රිදවපු ඒ පිටේ ලණු පාරවල් අත ගගා අඬලා තියෙනවා. ලණු පාරවල්වල වේදනාව ඉවසන්න මගේ දුප්පත්කම මට කියලා දීලා තිබුණා. ඒත් එදා තාත්තාගේ වේදනාව එදා වගේම අදටත් මාව කොහේදී හරි තැනකදී රිද්දනවා. හැබැයි ජීවිතය අත්නොහරින්න පන්නරයක් දුන්නෙත් ඒ දුප්පත්කම නැතිබැරිකමම තමයි.

ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ සංගීත වැඩසටහන ඔස්සේ ඔබ රටක් නොවෙයි විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවක්ම ආකර්ෂණයට ගත්තා…

මම නිවී සැනසිල්ලේ වචන අතරේ ඉඩ තියලා කතා කරන්න කැමති කෙනෙක්. මගේ කටහඬ හෘදයාංගමයි කියලා කෙනෙක් කියනවනම් ඒ ළෙන්ගතුකම මගේ හදවතින්ම එන දෙයක්. සිහිනයකි රෑ මාව නොසිතූ තැනකට අරන් ආවා. වැඩසටහනට විශ්වාසවන්ත හිතවත් අධ්‍යක්ෂකවරයෙක් ඉන්න ඕනෑ. ඒ අඩුව පිරෙව්වේ මාත් එක්ක එකම දවසේ සේවයට බැඳුණු ජයමිණි ඉලේපෙරුම මහත්මිය. අදටත් ඇය කල්‍යාණ හිතවත්කමකින් මට ඊට උපරිම සහය ලබා දෙනවා. සිහිනයකි රූ සමඟ අපි රටවල් රැසකට ගියා. සැප්තැම්බර් මාසයේ අපි සිහිනයකි රෑ සමඟ ඕස්ට්‍රේලියාවට යනවා. මාව දැනුමින් පෝෂණය කළ, මට ආදරය කරන, මාව රැකගත්ත, දුක සැප දෙකේදීම මාව හැර නොගිය හිතෛශී හැම කෙනෙකුටම, හැම ප්‍රේක්ෂයෙකුටම මගේ හදවත මත දකුණු අත තියලා ඔළුව පාත් කරලා මම මගේ භක්ත්‍යාදරය දක්වනවා.

මහේෂ් මාධ්‍යවේදියෙක් වීම සිහිනයක් හැබෑවීමක්ද? ජීවිතේ එක අහම්බයක්ද?

දුප්පත්කමින් අසීමිත විදිහට රිදුම් කාපු ජීවිතේ තුවාල සුව කරගන්න රට සල්ලි හොයන්න මැදපෙරදිග රටකට හරි යන්න වෙර වීරිය දරපු කාලයේ, අනූව දශකයේ දවසක මගේ අම්මා මට දිනමිණ පත්තර කෑල්ලක් ගෙනත් දුන්නා දාපන් පුතේ කියලා. ඒකෙ තිබුණේ රූපවාහිනී සංස්ථාවට පුහුණුවෙන නිෂ්පාදකවරු ගන්නවා කියලා. අම්මාගේ පෙරුත්තය උඩ ඊට ඉල්ලුම් කළත් පළවෙනි පරීක්ෂණයට කැඳවීම් ලැබිලා ගේට්ටුව ළඟට ගිහින් මම ආපහු හැරිලා ආවා ටික දුරක්. මීටර් සීයක් විතර එද්දී මට මතක් වුණා මගේ දුප්පත් අම්මා මට කියපු දේ. අම්මා කීවා පුතේ මම වෙනුවෙන් උඹ ඔය පරීක්ෂණයට ලියපන් කියලා. මම ආයෙත් විභාග ශාලවට ගිහින් විභාගය ලීවා. ඒ වෙද්දී තාත්තා රට. අපි යන්තම් ඔළුව උස්සන්න හදපු කාලය ඒ. එදා පුහුණු වෙන නිෂ්පාදකවරයෙක් විදිහට පටන් ගත්තු ගමන අද මම දුරක් ඇවිත්. ඒ ගමනේ දී හේම නලින් කරුණාරත්න, ජැක්සන් ඇන්තනි වැනි තවත් බොහෝ කුහකත්වයෙන් තොර ආදරණීය මාධ්‍ය ඇඳුරු ප්‍රවීණයන් දුන් දිරිය අප්‍රමාණයි. මම ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කරපු වැඩසටහනක් දිගටම කරගෙන යද්දී දවසක් එතුමා මට කැන්ටිමේදී කීවා අයිසේ තමුසේ කරනවකෝ මේක කියලා. එදා ඔහු මගේ හදවතට කාන්දු කළේ උඹට තනියම ඔය වැඩේ කරන්න පුළුවන්. උඹ දක්ෂයෙක්. තනියම නැගිටපං මහේෂ් කියන හැඟීම, ශක්තිය. ඔහු මට එදා දුන්නේ විවරණයක්. අවසානයේ මට ලැබුණු අභියෝගය තනියම වැඩසටහනක් නිෂ්පාදනය කරලා අනුමත කිරීමේ කමිටුවට බාර දීම. එතන හිටියේ මෑතකදී අපෙන් සමුගත් සුන්දර මාධ්‍ය ප්‍රවීණයෙක්. ඒ හේම නලින් කරුණාරත්න. හේම නලින් අයියා මගේ කැසට් එක අරන් ඇතුළට ගිහින් එනකම් මම හිටියේ තමන්ගේ බිරිඳව පළමු දරු ප්‍රසූතිය සඳහා ප්‍රසුතිකාගරයට අරන් ගියාම ඉන් පිටත හිඳින සැමියකුගේ මානසිකත්වයෙන් කීවොත් හරියටම හරි. මොහොතකින් දෙකකින් හේම නලින් කරුණාරත්න මහත්මයා එළියට එනකම් මගේ හදවත තත්ත්පරයට සියදහස් වාරයක් ගැහෙන්න ඇති. එතුමා ආවා. මට අර නිවුණු ප්‍රියමනාප ආදරණීය හඬින් මෙහෙම කතා කළා. ඉලන්දාරියා තමුසෙට වැඩේ කරගෙන යන්න පුළුවන් හැබැයි තමුන්ට කිසිම විදිහකින් අයිතියක් දීලා නෑ ප්‍රේක්ෂකයන්ට ඇඟිල්ල දික් කරන්න. අදටත් මම ඒ අවවාදය පිළිගන්නවා. කවදාවත් තොරතුරක් සම්ප්‍රේෂණය කරද්දී මම ප්‍රේක්ෂකයන්ට මගේ දබර ඇඟිල්ල දිගු කරලා නෑ. රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක් විදිහට මා ලැබූ අත්දැකීම් අප්‍රමාණයි.

මහේෂ් නිශ්ශංක කියන මෙතුවක් කතා කළ මාධ්‍යවේදියාට පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත මෑත දවසක දෑතට විලංගු වැටුණා. ඔබ අධිකරණය හමුවේ ඔබේ පාර්ශවයෙන් කළ හෙළිදරව්ව ඔබේ ආදරණීයන් වෙනුවෙන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියන්න ඔබට දැන් ඉඩක් තියෙනවා.

මම හිටියේ මගේ බිරිඳ, දරු දෙදෙනකු සහ මගේ මිත්‍රයෙක් සමඟ. කෙනෙක් මා දිහා බලාගෙන ඉද්දි මම ඇහුවා ඔබට මාව අඳුනගන්න බැරුව බලාගෙන ඉන්නවද එහෙම නැත්නම් ඇත්තටම ප්‍රශ්නයක්ද කියලා. ඔහු මට ද්වේශ සහගත් විදිහට කීවා මම උඹව අඳුරනවා. උඹ චීත්තයක් කියලා. මගේ බිරිඳ, දරුවෝ එහෙම කියද්දි වික්ෂිප්ත වුණා. එහෙම කියලා තත්ත්පර පහකින් විතර ඔහු කීවා මම උඹට චීත්තෙකුයි හැට්ටයකුයි අන්දලා එඬේරමුල්ල හන්දියේ හිටවලා තියෙනවා කියලා. මට ඒ වෙද්දිවත් ඔහු නගන චෝදනාවන්ට හේතුව හිතා ගන්න බෑ. මම කීවා මම චීත්ත අඳින්නේ නෑ හැබැයි අන්දනවානම් ඒකට හේතුවක් තියෙන්න ඕන. හේතුව කියන්න මට කියලා. තමුසෙට මම ඒක කිය කිය ඉන්නේ නෑ කරලා පෙන්වන්නම් කියලා ඔහු කීවා. කියලා බැන්නා. මගේ දරුවන්ට ඔහු නගන චෝදනා ප්‍රශ්නයක් වුණා. ඇයි තාත්තේ එහෙම කීවේ ඇහුවා. අවසානයේ මගේ දරුවෝ මගේ ගැන වැරදි ආකල්පයකට එන නිසා දරුවෝ ඉදිරියේ මගේ ආත්ම ගෞරවය රුකගන්න මම ඔහුගෙන් පසුව ඇහුවා මට නගන චෝදනාවේ පදනම මට කරුණාකරලා පැහැදිලි කරන්න මම වැරුද්දක් කරලා නෑ කියලා. වැරදි වැටහීමක් මත ඔහු ගැන මම කේලමක් කීවා කියන ආකල්පයකින් තමා ඔහු හැසිරුණේ. ඊළඟට ඔහුගේ වාහනයේ සිටි දෙන්නෙක් බැස්සා. එක්කෙනෙක් බහින ගමන් කලිසමේ බෙල්ට් එක ගැලෙව්වා. අනිත් කෙනාගේ අතේ හෙල්මට් එකක් තිබ්බා. අවසානේ මම වෙනුවෙන් තාත්තාට ගහන්න එපා කියාගෙන ඉදිරියට පැන්න මගේ ලොකු පුතාව ඔහු බිම පෙරලගෙන පුතාගේ ඇඟ උඩ නැගලා පුතාගේ බෙල්ල මිරිකගෙන දකුණු කකුලේ දනිස්සෙන් පුතාගේ වම් පපුවට ගැහුවා. මගේ පුතා ඇස් ඇරගෙන දිව එළියට දාගෙන දඟලනවා. මම උදවු ඉල්ලලා කෑගැහුවා මගේ පුතා වෙනුවෙන්. මට ඒ අයට අතින් පයින් ගහන්න හයියක් නෑ. ඉන් පසු සිදු වූ සියලු දේ මම උසාවියට කියලා තියෙනවා. අධිකරණය හා නීතිය ගැන මම දැඩි විශ්වාසයකින් බලාගෙන ඉන්නවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *