ඥාණසාර හිමියන්ට සිර දඬුවම් – එක්නැලිගොඩ බිරිඳට වන්දියක් ගෙවන්නත් නියෝග

(14.06.2018 – 12:37 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් අද (14) නියම කළා.

ඒ, හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින්. ඊට අමතරව ඥාණසාර හිමියන්ට රුපියල් තුන්දහසක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදාල චෝදනාවට වරදකරු බව පසුගිය මැයි මස 24 වනදා තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග එම හිමියන්ට දඩුවම් නියම කිරීම අද (14) දක්වා කල් තබනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඥාණසාර හිමි බන්ධනාගාරයේදී අමුතු ඇඳුමක්
(14.06.2018 – nethnews.lk)

සිර ඳඩුවම් නියමව බන්ධනාගාර ගතකළ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවිදි වස්ත්‍රයන් ඉවත්කොට ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. තම පැවිදි වස්ත්‍ර උනා දමන්නට සැරසෙන්නේනම් උපවාසයක නිරතවන බවය උන්වහන්සේ පවසා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.

අනතුරුව අඳනය ඉවත් නොකාට සිවුර පමණක් ඉවත් කර ඒ වෙනුවට සුදු රෙද්දක් ලබා දී ඇති බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ ෴

+++++++++++++++++++++++++++++++++++++++++

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතල වැඩ සහිත මාස 6 ක සිර දඬුවම්
(14.06.2018 – gossiplankanews.com)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයේදී වරදකරු වූ අතර බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවමක් නියම කරන ලදි. වසරක සිරදඩුවම මාස 6 න් ගෙවන පරිදි මේ ආකාරයට පනවන ලදි.

මෙම තීන්දුව ලබාදුන් හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කලබලකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ.

ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ රැඳී සිටියහ.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණ සිටියාය.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැණවැදීම මෙන්ම විනිසුරුට එරෙහිව පරුෂ වචන කිමේ සිද්ධියක් නිසා එම හිමියන් චෝදනා ලැබ තිබුණි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කෝපුස් නඩුව 2016 ජනවාරි 25 දා විභාගයට ගනිද්දී භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කෑ ගසමින් සන්ධ්‍යා එක්නලිගොඩට අසභ්‍ය අයුරින් බැණ වැදී තිබුනේ එක්නැලිගොඩ කියන්නේ එල්ටීටීඊ හිතවාදියෙක් උඹ ඔහොම එන්නැතිව ‘පාරේ හිඟා කාපං’ ලෙසය. අනතුරුව නඩු විභාගය අතර විනිසුරුට ‘පොන්xxයා’ ලෙසද බැණ වැදී තිබුණි.

හිමියන් සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතීඥවරුවරුන් ඉල්ලා සිටීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන පියවර ගන්නට පොලිසියට නියෝග කර තිබු අතර දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මෙම නඩුව පවරා තිබුණි.

නඩුව විභාගයට ගනිද්දී දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අධිකරණය මගහැරීම නිසා වරෙන්තුද ලැබ සිට පසුව නඩුවට සහභාගී වී තිබුණි.

මාස 6ක සිරදඬුවමක් නියම කිරීමෙන් පසු හිමියන්ව බන්ධනාගාරයට කැඳවා යන ලද්දේ විශාල පිරිසකගේ ආරක්ෂාව මැදයි ෴

++++++++++++++++++++++++++++++++++

ඥාණසාර හිමිට, පොදු සමාවක් අපේක්ෂාවෙන්
(15.06.2018 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස සිංහල රාවය සංවිධානය ඉල්ලීමක් කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියා.

මේ අතර, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දමා තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් එම අධිකරණයටම ඉදිරිපත් කර තිබෙනවා.

තමන්ට එරෙහිව තීන්දුව ලබාදී ඇත්තේ දෙපාර්ශවයේම කරුණු විශ්ලේෂණය කිරීමකින් තොරව බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයෙන් දක්වා ඇත්තේ.

එම අභියාචනය කොළඹ මහාධිකරණයට යොමුකෙරෙනු ඇති.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.

ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන්.

නඩු විභාගයෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග තීන්දු කළේ සාපරාධී අඩන්තෙට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා දෙකටම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවයි.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වුව ද අභියාචනයක් සිදුකර ඇති බැවින් උන්වහන්සේට බරපතල වැඩ ලබාදීමට කටයුතු නොකරන බව සඳහන්.

ඥානසාර හිමියන් ඊයේ දිනයේ වෛද්‍ය පරීක්ෂණයකට ද යොමුකර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

++++++++++++++++++++++++++++++++

ඥානසාර හිමිගෙන් අභියාචනයක්
(15.06.2018 – 18:45 +0530 – hirunews.lk/sinhala)

තමන්ට නියම කළ බරපතල වැඩ සහිත සිරදඬුවම ඇතුළු දඬුවම් අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් ගොනුකර තිබෙනවා.

උන්වහන්සේගේ නීතිඥයින් සඳහන් කළේ එම අයදුම්පත හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරදුන් බවයි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 06 කින් ගෙවීයන පරිදි වසරක බරපතල වැඩ සහිත දඬුවම් ඊයේ නියම කෙරුණා.

ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.

සිරගත කළ ඥානසාර හිමියන් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ජයන්ත සමරවීර අද බන්ධනාගාරයට පැමිණියා.

කෙසේ වෙතත්, ඔවුන් හමුවීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රතික්ෂේප කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය කියා සිටියේ.

කෙසේ වෙතත්, අද පස්වරුවේ බන්ධනාගාරය වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හමුවී තිබෙනවා.

එමෙන්ම, පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියේ ජනපති පොදු සමාව යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසයි.

රැඳවියෙකු සිර ඇඳුම ඇඳීම නීත්‍යානුකූල ක්‍රමවේදය වුවත්, උන්වහන්සේට ඇප ලැබෙන තෙක් අරිහත් ධජය හෙවත් චීවරයට අගෞරව නොකරන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙස පැවිදි හඬ සංවිධානය යොමුකළ ලිපියේ සඳහන්.

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණ ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරය තුළ දී ඉවත් කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසයි.

එමෙන්ම සිංහල රාවය සංවිධානය ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙසයි.

මේ අතර, බොදු බල සේනා සංවිධානය අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ, එහිදී අදහස් දැක්වූ සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර රිය අනතුරක් සිදුකළත් ඇප හිමි වූ බවයි ෴

++++++++++++++++++++++++++++++++++++

ඥානසාර හිමියන් ජම්පරය ඇන්දත් සිවුර ඇන්දත් අපිට සිංහයෙක්
(15.06.2018 – 15:10 +0530 – sinhala.adaderana.lk)

ජනමාධ්‍ය මඟින් වාර්තා කළ අන්දමට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් එක්නැලිගොඩ මහත්මියට මරණ තර්ජන එල්ල කර නොමැති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කළේය.

ගලාබාඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් ඊට වඩා වැරදි කළ පුද්ගලයින් නිදහසේ සිටින බවද එම මාධ්‍ය හමුවට එක්වූ විතාරන්දෙනියේ නන්ද හිමියන් පැවසීය.

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිඳු නීතිමය පියවරක් නොගන්නා බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

සමත මණ්ඩලය තුළ විසඳිය හැකි නඩුවක් අධිකරණයට ගොස් වසරක සිරදඬුවමක් මාස හයකින් ගෙවී යන පරිද්දෙන් ලබාදුන් බව එම මාධ්‍යහමුවට ඒක් වූ මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසීය.

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිලෙසවත් එක්නැලිගොඩ මහත්මියට මරණ තර්ජන නොකළ බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ ” තිගේ මිනිහා කොටියෙක්” යනුවෙන් බවද ගල්කන්දේ සුදත්ත හිමියන් පැවසීය.

අද වන විට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අදින්නේ ජම්පරයද සිවුරද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බවත් උන්වහන්සේ ජම්පරය ඇන්දත් සිවුර ඇන්දත් අපට සිංහයෙක් බව සුදත්ත හිමියන් ප්‍රකාශ කළහ.

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ආරක්ෂාව සපයන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ජනාධිපති සමාවක් ඉල්ලීමට බලාපොරොත්තු නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ ෴

++++++++++++++++++++++++++++++++++

සන්ධ්‍යා එක්නැලිගොඩ කොටි ත‍්‍රස්තවාදියෙකුගේ බිරිදක්.. ඥණසාර හිමිගේ සිවුර ගලවන්න එපා…
(16.06.2018 – 06:25 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා විසින් ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි :

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

බුද්ධ චීවරයේ ගෞරවය රැකෙන ආකාරයට අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම

මේ වන විට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින්, අතුරුදහන් වී ඇතැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩ නම් කොටි ත්‍රස්තවාදියාගේ භාර්යාවට උසාවි භූමියේදී තර්ජනය කළ බවට චෝදනා එල්ල කොට උන්වහන්සේ අධිකරණය මගින් වැරදිකාරයකු බවට පත්කොට ඇත.

අධිකරණ තීන්දු පිළිබඳව විනිශ්චය දීමට අපට නීතිමය අයිතියක් නොමැති උවද උන්වහන්සේ දඩුවම් ලබන්නේ යම් ජාතික වැදගත්කමක් සහිත නඩු විභාගයකට අදාලව හැඟීම් බරව ක්‍රියාකිරීම සම්බන්ධයෙනි. ඒ පිළිබඳ මුළු රටද දන්නා බැවින් වැඩිදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශවලට අනුව උන් වහන්සේ එම දඬුවම් විදින කාලය තුළ උන්වහන්සේට චීවරය දරා සිටීමට අයිතියක් නැත. එසේ වුවහොත් එකී තත්වය සදම්බුද්ධ සාසනයේත් සංඝ සමාජයේත් ගෞරවයට, පෞරුෂයට හා අභිමානයට බළවත් හානියක් බව අප විශ්වාස කරමු. එය සම්බුද්ධ සාසනයත්, සංඝ සමාජයත් ගෟර්හාවට අපකීර්තියට හා නොසලකා හැරීමට ලක් කිරීමේ රටට හතුරු දෙස් විදෙස් බලවේගවල උවමනාවන් ඉටුකිරීමක් බවද අප අවධාරණය කරමු. මේ වකවානුව වනවිට අභූත චෝදනා නගමින් සංඝයාවහන්සේ විවිධ පීඩනයන්ට හා දණ්ඩනයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබීම මෙකී බලවේගවල උවමනාව හොඳින් පිළිඹිබු වන්නකි.

බලවත් රටක නීති සහ රීති සැම විටම සමාජ වටිනාකම් පද්ධතියට, එෛතිහාසික ශිෂ්ඨාචාරයේ උරුමයට අනුව සහ තත්කාලීන පොදු මහජන සිතුම් පැතුම් වලට අනුව ක්‍රියාත්මක විය යුතුය. රටේ රාජ්‍ය නායකයාට ව්‍යවස්ථාව මගින් යම් ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් තම අභිමතය පරිදි තීරණ ගැනීමට අවකාශය සලසා ඇත්තේ ඒ නිසාය.

එම අර්ථයෙන් ගත්විට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ තම දඬුවම ගෙවා නිම කරන කාලය තුළ උන්වහන්සේගේ චීවරය ගැලවීමට ඉඩ නොදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කිරීමට ඔබතුමාට බලයක් ඇත.

එහිදී උන්වහන්සේගේ මහජන ක්‍රියාකාරකම් සහ මත ප්‍රකාශ කිරීම් පිළිබඳව යමෙකුගේ කැමැත්ත හෝ අකමැත්ත නොසලකා බුද්ධ චීවරයේ ගෞරවය රැකීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

ජයන්ත සමරවීර (පා.ම.)
ජාතික සංවිධායක
ජාතික නිදහස් පෙරමුණ

++++++++++++++++++++++++++++++++

සත්දිනක් ජම්පරය ඇන්දොත් ඥානසාර හිමිට භික්ෂුභාවය අහිමිවන ලකුණු
(16.06.2018 – 19:32 +0530 – sinhala.adaderana.lk)

මාස හයක සිර දඬුවමක් නියම වී, බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දින හතක් යනතුරු චීවරය නොදරා සිරකරුට හිමි ඇඳුමෙන් සිටියහොත් විනය පිටකයට අනුව උන්වහන්සේගේ භික්ෂූත්වය අහිමි වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පව​සයි.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඥානසාර හිමිගේ භික්ෂූත්වය රැකගැනීම සඳහා මහ නාහිමිවරුන් මැදිහත් විය යුතු බවයි.

මාස 06 ක කාලයක් සඳහා බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය තුළ අභියාචිත නේවාසික සිරකරුවෙකු ලෙස සිටින අතර උන්වහන්සේට පැවිදි චීවරය වෙනුවට සිරකරුවන් සඳහා වන ඇඳුම ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

මේ අතර අද (16) දිනයේත් භික්ෂූන් වහන්සේ කිහිප දෙනෙකු ඥානසාර හිමියන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරය වෙත පැමිණ සිටියේය.

කෙසේවෙතත් පැපිළියාන ශ්‍රී සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් භික්ෂූන් වහන්සේ සඳහන් කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් පැවිදි චීවරය ඉවත් කිරීමට විනය පිටකයට අනුව කිසිසේත් නොවිය යුත්තක් බවයි.

++++++++++++++++++++++++++++++++++

බොදුබල සේනා සංවිධානයෙන් දෙවියන්ට කන්නලව් – සීනිගමදී පොල් ගැහිල්ලක්
(16.06.2018 – 18:17 +0530 – sinhala.adaderana.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය විසින් අද(16) පස්වරුවේ සීනිගම දේවාලයට ගොස් දේවකන්නලව්වක් සිදුකළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම දේව කන්නලව්ව සඳහා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ බොදුබල සේනා සංවිධානයේ ගිහි පිරිස් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

අනතුරුව මා‍ධ්‍ය වෙත අඳහස් දක්වමින් සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසා සිටියේ ජානාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ජුනි 19 වනදාට යෙදී ඇති සමස්ත ජාතික පිරිවෙන් දිනය වර්ජනය කරන ලෙස සමස්ථ ලංකා භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවයි.

+++++++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ලිපියක්
(16.06.2018 – 21:39 +0530 – hirunews.lk/sinhala)

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රි කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයාට, බුද්ධ ශාසන අමාත්‍යවරයාට සහ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරිය ඇතුළු බලධාරීන්ට ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් එම සංඝ සභාව පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ දැනට ස්ථාපිත නීතියට අනුව බෞද්ධ භික්ෂුවක් තත්ත්වයෙන් පහකොට චිවරය ඉවත් කිරීමේ බලය ඇත්තේ උන්වහන්සේ පැවිද්ද හා උප සම්පදාව ලද සංඝ සභාවට පමණක් බවයි.

ඒ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ද බලයක් නොමැති බව එම ලිපියෙන් පෙන්වා දෙනවා.

ඒ අනුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය උන්වහන්සේ අයත් සංඝ සභාවේ අවසරයකින් තොරව ඉවත් කිරීම පිළිබදව බලවත් අප්‍රසාදය පළ කරන බව අදාළ සංඝ සභාව දන්වා තිබෙනවා.

උන්වහන්සේගේ අකමැත්තෙන් චීවරය ඉවත් කොට සිරගත කොට තැබීමෙන් භික්ෂූත්වය රැක ගැනිම පිළිබද විනයානුකූල ගැටලු මතුවිය හැකි බැවින් ඥානසාර හිමියන් වෙතින් ඉවත් කරන ලද චීවරය නැවත ලබාදෙන ලෙස කෝට්ටේ සංඝ සභාව දන්වා සිටිනවා ෴

+++++++++++++++++++++++++++++++

17.06.2018

+++++++++++++++++++++++++++++++

ඥානසාර හිමිගේ අවනඩුව මහ නාහිමිවරුන්ට
(17.06.2018 – 21:14 +0530 – sinhala.adaderana.lk)

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සිරදඞුවම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අස්ගිරි පාර්ශවයේ මහලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙරට පවතින නීති රීති සංශෝධනය විය යුතු කාලය එළඹ ඇති බවයි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සිරදඞුවම් ලබාදීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් අද (17) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශව දැනුවත් කරනු ලැබීය.

එහිදි අස්ගිරි පාර්ශවයේ මහලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි අදහස් පළ කරමින් මේ බව පැවසීය.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සිරදඞුවම් ලබාදීමට විරෝධය පල කරමින් හෙට(18) දිනයේ කොළඹ දී සත්‍යග්‍රහයක නිරත වීමට තීරණය කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පුජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සඳහන් කළේය.

මේ අතර පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනපති සමාවක් ලබාදෙන ලෙසට තමා යළිත් වරක් ඉල්ලීමක් සිදුකරන බව නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.

කෙසේවෙතත් බන්ධනාගාර ද දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ පවතින නීතියට අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර ගත කර සිටින බවයි.

+++++++++++++++++++++++++++++++++++++

ඥාණසාර හිමි වෙනුවෙන් භික්ෂූන් වහන්සේ කොටුවේ සත්‍යග‍්‍රහයක
(18.06.2018 – 13:02 +0530 – nethnews.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් අද (18) දහවල් කොළඹ කොටුවේදී භික්ෂූන් වහන්සේ සත්‍යග‍්‍රහයක නිරත වීමට සූදානම් වනවා. මේ, පැවදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්.

හික්ෂුන්වහන්සේ නමක් සිරගත කිරීම මෙරට බෞද්ධ රාජ්‍යයක් වෙලා බුද්ධාගමට කරපු නින්දා සහගත වැඩක් ලෙසයි දකින්නේ. වරදක් කලොත් දඬුවම් කරන්න ඕනේ. නමුත් සිරගත කිරීමට තරම් ඥාණසාර හිමියන් වරදක් කලේ නැතයි උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ඥාණසාර හිමියන්ගේ චීවරය නැවත උන්වහන්සේට ලබා ගැනීමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කරමින් බෝධි පූජා පිංකමක් ඊයේ (17) පස්වරුවේ රංගිරි දඹුලූ රජමහා විහාරස්ථ ප‍්‍රාර්ථනා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සිදු කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ අතුපාරයාය ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති පූජ්‍ය අලූත්ගම උපනන්ද හිමියන්.

සිරගත කර සිටින ඥාණසාර හිමියන්ගේ භික්ෂුභාවය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා තිස්සමහාරාම නගරයේදී ඊයේ විරෝධතා පාගමනක් ද පැවැත්වුණා.

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය අද (18) කොළඹ කොටුව බෝධිය අසලදී සත්‍යග‍්‍රහයක නිරත වුණා.

ඒ සඳහා භික්ෂූන්වහන්සේලා ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ :
‘‘මෙරටේ ඉතිහාසයේ සැමදාම බෞද්ධ කමට එරෙහිව, බෞද්ධ නායකත්වයට එරෙහිව බලවේග ඇතිවුනා. එවැනි කාල සීමාවකදී බොදුබල සේනාව පිහිටුවා ගනිමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ක්‍රියා කළ ආකාරයෙන් බොහෝ දෙනා වේදනාවට පත්වුනා.’’

මෙම අවස්ථාවට වැඩම කළ පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් කවි කිහිපයකින් රැස්ව සිටි පිරිස අමතනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

ඤාණසාර හිමි හිරේ.. උතුර නැගෙනහිරට වෙනම නීතියක්…
(19.06.2018 – 08:40 +0530 – lankacnews.com)

ඤාණසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි :

අතිගරු ජනාධිපති
පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි සම්බන්ධවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට වරදකරු බව අධිකරණයේ නිග‍මනය වී ඇත. මෙවැනි කාරණා සම්බන්ධයෙන් පැනනැගී ඇති නීතිමය කරුණු ඉතා පරිස්සමෙන් හා ඉවසීමෙන් කටයුතු කළයුතු බව සිහිපත් කළ යුතුය. රටක නීති පද්ධතිය ශක්තිමත් වීම හා බුදුන් වහන්සේ රටේ නීතියට ගරු කළ යුතුය යන බුද්ධ නියමය වන අතර අද පවතින ලෝක සම්මුතින් හා රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍යයට කරන බලපෑම මෙහිදි අප විසින් අවබෝධ කරගත යුතුය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ආවේගකාරී හැසිරීම් රටාව සහ අදහස් ප්‍රකාශනයේ ශෛලය අප කිසිසේත් අනුමත නොකරන අතර උන්වහන්සේගේ විසින් දරණ මතවාදය බැහැර නොකරන බවද අවධානය කරමු.

අප ද ඉතා දිගු කලක සිට කියා සිටින්නේ රටකට එක නීති පද්ධතයක් අවශ්‍ය බවයි. එහෙත් අප රට තුළ ජාතින් අනුව නීති පද්ධතියට වෙනස් කරගෙන ඇත. නැගෙනහිර පළාතේ හා උතුරු පළාතේ අධිකරණ පද්ධතින්ට ගල්ගසන අයුරු අප විද්‍යුත් ජනමාධ්‍ය තුලින් දැක ගත හැකි විය. ධනය බලය ඇති අය සදහා නීතිය ක්‍රියා කරන අයුරු මෙරට පොදු ජනතාවගේ අපැහැදිලිතාවක් තිබෙන බව පොදුවේ පිළිගත යුතු කරුණකි. මෙවැනි සිදු වීම් මගින් රට අරාජික වී දේශපාලන හා ආර්ථික වාසි ලබා ගැනිමට කටයුතු කරන පිරිසක් ද සිටින බව අප මතක තබා ගත යුතුය.

මෙහි දි ශාසනික සම්ප්‍රදායන් අනුව විනය ක්‍රියාමාර්ග මත භික්ෂු වහන්සේගේ සිවුර ගැලවිම සිදු කළ නොහැකිය. බුදුන් දවස වැඩ සිටි දේවදත්ත හිමි, පාරාජිකා වු සුදින්න හිමි, මෙන්ම උදායි හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය තථාගතයන් වහන්සේ බැහැර කළ ද සිවුර ගැලවිමට ක්‍රියා නොකලහ. යටත්විජිත සමයේ දි පුජ්‍ය වාරියපොල සුමංගල හිමියන් යාපනයට ගොස් සිරගත කළ ද සිවුරු ගැලවිමට ක්‍රියා නොකලහ. කොලොන්නාවේ තෙල් ටැංකියට ප්‍රහාර එල්ල කිරිමට ගෙනා ලොරි රථය තබා ගැනිමේ වරද, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරිමේ වරදට ද හසු වූ උන්වහන්සේලාගේ දෙනමගේ සිවුරු ගැලවීමක් සිදු නොවිය.

මෙම සිදුවිම ආදර්ශයට ගෙන දැනට අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැවින් ඒ පනත හරහා ම ත්‍රෛනිකායික දැන උගත් මහා සංඝයාගේ මැදිහත් වීමෙන් ශාසනික අනන්‍යතාවයකින් හෙබි නෛතික රාමුවකින් සමන්විත සංඝාධිකරණයක් ඇති කිරිමේ බලවත් අවශ්‍යතාවක් පැන නැගී ඇත. එසේ නොකර ඤාණසාර හිමියන් සිවුර ඉවත් කර සිරබත් කෑමට යොමු කිරිමෙන් බෞද්ධයන් තුළ ගොඩනැගි ඇති ගැටළු සදහා විසදුමක් නොවන බව මෙහිදි අපි දැඩි සේ අවධානය කර සිටිමු.

තෙරුවන් සරණයි!

බුදුගල ජිනවංස හිමි
සභාපති

++++++++++++++++++++++++++++++++++

මහ නාහිමි ඇතුළු අස්ගිරි ශ‍්‍රී කාරක සංඝ සභාවම ජම්පර අන්දවා හය මසකට හිරේ…? ඥාණසාර හිමිට බලපෑ නීතියමයි…
(19.06.2018 – 09:20 +0530 – lankacnews.com)

ඥාණසාර හිමියන් සිරගත කරන ලද ආකාරයටම අස්ගිරි මහ නාහිමියන් ඇතුළු එම අස්ගිරි ශ‍්‍රී කාරක සංඝ සභාවම ජම්පර අන්දවා හය මසකට හිරේ දැමීමට ඉඩක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.

‘අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්න අත උස්සන අයගේ පාංශකූලයට අපි නෑ’ යයි මෑතකදී අස්ගිරි සංඝ සභාව විසින් කරන ලද ප‍්‍රකාශයක් හේතුවෙන් මෙම දඬුවම ලබා දිය හැකි යයි මන්ත‍්‍රීවරයා කීය.

අස්ගිරි සංඝ සභාවේ මෙම ප‍්‍රකාශය බිය වැද්දවීම යන වරදට සංඝ සභාවම හිරේ දමන්න යයි පොලීසිය පැමිණිලි කල හැකි බවත් ඉන් පසු සාපරාධී බිය වැද්දීම යයි නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කලහොත් මහ නායක හිමියන් ඇතුළු අස්ගිරි ශ‍්‍රි කාරක සංග සභාවම හය මසකට සිවුරු ගලවා ජම්පර් අන්දවන්න ආණ්ඩුවට හැකියාව ඇතැයිද මන්ත‍්‍රීවරයා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

+++++++++++++++++++++++++++++++++++

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි
(19.06.2018 – 11:01 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම ලබන 22 වන දා දක්වා කල් දමා තිබෙනවා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම අභියාචනය අද සලකා බැලීමට නියමිතව තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙනුයි එය මෙලෙස කල් දමා ඇත්තේ.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව විවිධ සංවිධාන වලට අයත් භික්ෂූන් වහන්සේ පිරිසක් ඊයේ (18) පස්වරුවේ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා ෴

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++.

20.06.2018

——————————–

++++++++++++++++++++++++++++++++

21.06.2018

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඥානසාර හිමියන් ඇප කොන්දේසි සපුරා අධිකරණයෙන් පිටව යයි
(22.06.2018 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ භූමියෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ සඳහා බන්ධනාගාර වෑන් රථයකින් වැලිකඩ බන්ධනාගාරයේ සිට උන්වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා.

හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදා හරින ලෙසයි.

——————————-

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6 ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා.

හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදා හරින ලෙසයි.

එසේම ඥානසාර හිමියන්ට විදෙස් ගමන් ද තහනම් කෙරුණා.

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (22) දෙවන දිනටත් සලකා බැලුනා.

පසුගිය 19 වනදා එම අභියාචනය ප්‍රථම වරට කැඳවූ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එදින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද පස්වරු 2 දක්වා කල් තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග නියෝග කළා.

එම අභියාචනය සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා ඥානසාර හිමියන්ට ඇප ලබාදී ඇත්තේ.

මේ අතර ඇප අත්සන් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රැගත් බන්ධනාගාර වෑන් රථයක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අධිකරණය කළ දැනුම් දීමකට අනුවයි උන්වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැදවා ඇත්තේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවී යන පරිදි වසරක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කෙරුනේ පසුගිය 14 වනදායි.

හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් සඳහන් කළේ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි.

එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.

ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ෴

++++++++++++++++++++++++++++++++

ඥාණසාර හිමි හිරේ හිටිය හැටි මාධ්‍යට කියයි (PHOTOS)

++++++++++++++++++++++++++++++++++

ඇප හිමි වූ ඥානසාර හිමිගේ චීවරය වෙනුවෙන් වියතෙක් ඉදිරියට, ඇමතිනි තලතාට දොස් .!
(22.06.2018 – nethgossip.lk)

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත වීම පුවත් මැවීමට සමත් වුනා. මේ අතර සිරගතව සිටි උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර නිතීන් වලට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීමත් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

කෙසේ වෙතත් ඥානසාර හිමියන්ට අද දින (22) අධිකරණයෙන් ඇප හිමිවුනා. ඒ ඥානසාර හිමියන්ගේ ඇප ඇයදුම හෝමාගම අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදියි. ඥානසාර හිමියන් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නියෝග කළ හෝමාගම මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා එහිමියන්ගේ විදෙස් ගමන්ද තහනම් කරමින් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන්නැයිද නියෝග කළේය

මේ අතර ඥානසාර හිමි සිරගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්‌ කථිකාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුනේ සිරදඬුවම් නියමව බන්ධනාගාර ගතව සිටින සෙසු හිමිවරුන් 15 දෙනා හා සමානව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සැලකීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවය.

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබූ නිසා බන්ධනාගාරයේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම ගැටලුවක්‌ බවද ඔහු මාධ්‍යයට පවසනවා. බන්ධනාගාරගතව සිටින හිමිවරුන් 15 දෙනාට එල්ලවී තිබූ බරපතළ චෝදනා ඥනසාර හිමියන්ට එල්ලවී නැතැයි යන්න කථිකාචාර්යවරයාගේ අදහසයි.

ඥානසාර හිමිට ඇප හිමි වූ අභියාචනය පිළිබදව අදහස් දක්වන ප්‍රතිභා මහානාමහේවා පවසන්නේ එම අභියාචනය සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීම සිදුවූයේ මහෙස්‌ත්‍රාත්වරයාගේ අභිමතය අනුව බවත් එම අවස්‌ථාවේ නීතිපතිවරයා හෝ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියෙකු සිටීම අවශ්‍ය නොවන බවත්ය.

ඥානසාර හිමියන්ට ලබාදී තිබූ සිරදඬුවමට අනුව චීවරය ඉවත් කිරීම අධිකරණ ඇමැතිනිය විසින් සාධාරණය කර තිබෙන මොහොතක අධිකරණ අමාත්‍යාංශය යටතේ සිටින නීතිපතිවරයාගෙන් කරුණු විමසීමේදී ලැබෙන පිළිතුර කුමක්‌ විය හැකිද යන්න සිතාගත හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසනවා ෴

+++++++++++++++++++++++++++++++++++

22.06.2018

++++++++++++++++++++++++++++++++++++

******************************************

ඉදිරි මැතිවරණවලදී මහා සංඝරත්නයට හිමිවිය යුතු තැන ගැන පැහැදිලි කිරීමක්
(14.06.2018 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මැතිවරණයකදී කවුරුන් බලයට පැමිණියත් විධානය කිරීමේ බලයක් මහා සංඝරත්නය සහ මහජනතාව සතුව පැවතිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (14) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *