ඉල්ලීම් වෙනුවෙන් පාරට බැස්ස තැපැල් වර්ජකයින්ගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

(18.06.2018 – 18:39 +0530 – sinhala.adaderana.lk)

සිය ඉල්ලීම්වලට වහාම විසඳුම් දෙන ලෙස රජයට බලකරමින් තැපැල් වර්ජකයන් අද (18) කොළඹදී විරෝධතා පා ගමනක නිරත විය.

දිවයින පුරා තැපැල් සේවකයින් විසිහය දහසක් පමණ මෙම වර්ජනයට එක් ව සිටින අතර ඒ හේතුවෙන් තැපැල් කාර්යාල 653 ක උපතැපැල් කාර්යාල 3410 ක වැඩ කටයුතු අඩාල වී ඇති බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

මධ්‍ය තැපැල් හුවමාරුව ඇතුළුව දිවයින පුරා තැපැල් කාර්යාල වල ලිපි ලක්ෂ 20 ක් පමණ සාමාන්‍යයෙන් දෛනිකව හුවමාරු වන අතර දඩ මුදල් ගෙවීම , විභාග කුවිතාන්ති නිකුත් කිරීම , විදෙස් තැපැල් බෙදාහැරීම් ඇතුලු එම සියලු කටයුතු මේ වන විට අඩපණව තිබේ.

එවන් පසුබිමක තැපැල් වර්ජකයන් බලධාරීන්ට බලපෑම් කරමින් අද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසළින් විරෝධතා පා ගමනක් ආරම්භ කළේය.

අනතුරුව පාගමින් පිරිස කොටුව දුම්රියපළ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවීමෙන් ඒඅවට මාර්ග තදබදයක්ද හට ගත්තේය.

පසුව විරෝධතාකරුවන් දුම්රියපොළ සිට කොළඹ ලෝටස් මාර්ගය හරහා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ගත් අතර ඒ අවට ආරක්ෂාවට පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබුණි.

පසුව විරෝධතාකරුවන් අතුරින් පස්දෙනෙකුට ජනාධිපති සහකාර ලේකම්වරයෙකු සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමි විය.

කෙසේ වෙතත් සාකච්ඡා අසාර්ථවීම නිසා ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

+++++++++++++++++++++++++++++++++

හෙට (19) නොඑන සියලු සේවකයන් තනතුරු හැරගියා සේ සලකනවා – තැපැල්පති
(18.06.2018 – 20:46 +0530 – hirunews.lk/sinhala)

නිවාඩු අවලංගු කර ඇති නිසා හෙට (19) සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයන් තනතුරු හැරගියා සේ සලකන බව තැපැල්පති ප්‍රකාශ කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++

ගුවන් හමුදා පුහුණු වීමක් අතර තුර හිස් පතොරම් වැටීමෙන් නිවාස 2 කට අලාභ
(18.06.2018 – 17:02 +0530 – sinhala.adaderana.lk)

මිග් ප්‍රහාරක යානා දෙකක් මඟින් සිදුකල පුහුණු වීමක් අතර තුර කල්පිටිය කන්දකුලිය ඊච්චන්කාඩුව ධිවර ගම්මානයේ නිවාස දෙකක් මතට හා වතු කීපයකට හිස් පතොරම් කොපු කීපයක් වැටීමේ සිදුවීමක් පිළිබඳව කල්පිටිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අද (18) පෙරවරුවේ සිදුවූ මේ සිදුවීමෙන් ප්‍රදේශයේ නිවාස දෙකකට අලාභහානි සිදුව තිබේ.

කල්පිටිය කන්දකුලිය ගම්මානයට යාබඳව ගුවන්හමුදා පුහුණු කදවුරක් පිහිටා ඇති අතර අද පෙරවරුවේ ගුවන් යානා කීපයක් මේ කඳවුරට ඉහළ අහසේ පුහුණුවීම සිදු කර තිබේ.

මේ ගුවන් යානා අතර මිග් ප්‍රහාරක ගුවන් යානා දෙකක්ද තිබී ඇති අතර ඉන් එකක් මඟින් හෙලන ලද පතොරම් හිස් කොපු මෙලෙස නිවාස හා වතු මතට පතිතව ඇත.

මේ ගුවන් හමුදා කඳවුර ආශ්‍රිත පුහුණුවීම සඳහා ගෙන එන ලද බෝම්බයක් පුපුරා යාමෙන් මිට වසර කීපයකට පෙර කුඩා දරුවන් දෙදෙනෙකු මියගිය අතර තවත් තිදෙනෙකු තුවාල ලැබිය.

ඊයේ (17) මෙලෙස පතොරම් පතිතව ඇත්තේ එලෙස තුවාල ලබා සිටින දරුවෙකුගේ වත්තට වන අතර ඊයේ සිදුවීම වන අවස්ථාවේ මේ දරුවාගේ මාව ගෙවත්ත අතුගාමින් සිට ඇති අතර ඇය අසලටද එක් පතොරමක් පතිතව ඇත.

මිට පෙර තවත් අවස්ථා කීපයකදී ද කන්දකුලිය අවට ගම්මාන කීපයක ජනතාවට හා නිවාස දේපොළවලට මේ කඳවුර ආසන්න පිපිරීම් හේතුවෙන් හානි සිදුව තිබිණි.

මෙවැනි පුහුණුවීම් ජනශුන්‍ය ප්‍රදේශවල සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ ප්‍රදේශවාසින් අඩු තරමින් මෙවැනි පුහුණු වීම් සිදුකිරීමේදී ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට හෝ වගබලා ගත යුතු බව පැවසුහ.

මේ පතොරම් කොපු වැටීම හේතුවෙන් අලභාහානි වූ නිවාස දෙක අද පෙරවරුවෙම අලුත්වැඩියා කර දීමට ගුවන්හමුදා නිලධාරීන් පියවර ගෙන තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *