අලි ප්‍රශ්නය විසඳන්න බැරි වුණොත් ‍ෆොන්සේකා ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

(19.06.2018 – 19:27 +0530 – sinhala.adaderana.lk)

මාස 3 ක් ඇතුළත සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දිමට රජයෙන් සහයක් නොලැබුනහොත් තමා අමාත්‍යධූරයෙන් ඉවත් වන බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

වන අලීන් සම්බන්ධයෙන් අද (19) රඹුක රජවත්ත විහාරස්ථානයේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා හොරොව්පතාන ප්‍රදේශයේ රක්ෂිතයට ගෙනයාමට සැලසුම් කොට ඒ සඳහා මෙහෙයුමක් ආරම්භකෙරුණේ ඉකුත් 14 වැනිදායි.

කෙසේ වෙතත් එම වන අලින් දෙදෙනා ඉන් පිටමං කිරීම සඳහා දියත් කළ මෙහෙයුම ජනපති නියමයෙන් නැවැත්වූ වීමට ඉකුත් ඉරිදා තිරණය කෙරුණි.

මේ අතර වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහත්වරුන් අද රඹුක රජවත්ත විහාරස්ථානයට පැමිණ වන අලි තර්ජනයට ලක් වි සිටින ප්‍රදේශවාසින් හමුවි සාකච්ඡාවක් ද කළේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, සමහර පරිසරවේදීන් දැක ඇත්තේ පෙරහැරේ යන සහ කොළඹ අවට ඉන්න ඇත්තු පමණක් බවයි.

රජයෙන් අලි දෙන්නා ගාල් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව පැවසුවත් එය ලබා නොදුන්නොත් තමා කිසිවිටෙකත් අමාත්‍යධූරයේ රැදී නොසිටින බව ද අමාත්‍යවරයා මෙහිදී තරයේ කියා සිටියේය.

කෙසේ වෙතත් අද මාධ්‍ය හමුවක් කැඳවමින් පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ද සිංහරාජයේ වනාන්තරයේ සිටින වන අලි ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

අද වන විට මෙම අලීන් දෙදෙනා දේශපාලන ඉත්තන් බවට පත්ව ඇති බව ද පැවසු ආනන්ද සාගර හිමියන්, අද වන විට අමාත්‍යවරයා අලියටත් වඩා තිරිසන් ලෙස හැසිරෙන බව ද කියා සිටියේය.

**************************************

පෞද්ගලික රෝහල්වලින් අයකරන වැට්බද්ද අහෝසියි
(19.06.2018 – 19:29 +0530 – lankadeepa.lk)

පෞද්ගලික රෝහල්වලින් අයකරන සියයට 15 වැට්බද්ද ජූලිමස 01 වැනිදින සිට අහෝසිකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදී පැවසීය.

ඒ අනුව පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුගේ සේවය ලබාගැනීම (චැනලින් ගාස්තු) ශල්‍යකර්ම හා වෙනත් සේවා මත අයකරන සියයට 15 වැට්බද්ද අහෝසි වන අතර රෝගියකු පෞද්ගලික රෝහලක නතර වී සිටින අවස්ථාවේදී අයකරන කාමර ගාස්තු මත වන වැට්බද්ද තවදුරටත් අයකරන බවද මුදල් ඇමතිවරයා එහිදී සඳහන් කළේය ෴

**************************************

**********************************************

= ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් අනතුරු වළක්වාගන්න උපදෙස් =

වැඩිම අනතුරු ප්‍රමාණයක් අළුයම් කාලයේදී වාර්තාවෙන අතර ගෑස් කාන්දුවක් වාර්තාවෙන විට අවම වශයෙන් විදුලි ස්විච් එකක් හෝ දැල්වීම අනතුරක් බව මෙහිදී අනාවරණය විය. ගෑස් සිලින්ඩරයක් පුපුරා නොයන බව සහතික කළ හැකි අතර ගෑස් කාන්දුවේ දී ක්ෂණයකින් ගිනි ගැනීම පුපුරා යෑමක් යැයි වරදවා වටහා ගනී. ගෑස් කාන්දුවෙන අවස්ථාවක හැකි ඉක්මනින් රෙගියුලේටරය ගලවා සිලින්ඩරය එළිමහන් තැනකට ගෙන යා යුතු අතර බාහිර වාතාශ්‍රය තුළ ගිනි නොගනී. සිලින්ඩරයේ ඇති හැඬලයට ආධාරකයක් යොදවා පහසුවෙන් හා ඉක්මනින් ගිනි ගන්නා සිලින්ඩරයක් පවා බැහැර කළ හැකි බව මෙහිදී දක්වන ලද අතර අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත විධි ගැන අවබෝධය අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.

ගිනි අනතුරක් තමන්ට පාලනය කරගත නොහැකි නම් ක්ෂණික ඇමතුම් 110 මගින් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට දැනුම්දීම ඉක්මන් පියවරක් වෙන අතර කොළඹ අවට ප්‍රාදේශීය කාර්යාලය පවා මූලස්ථානයේ අවසරය ගැනීමෙන් පසු ක්‍රියාත්මක වෙන බව විශේෂයෙන් සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *