පොහොට්ටුවෙන් අලුත් මෙහෙයුමක් අරඹයි…

(21.06.2018 – 12:00 +0530 – lankacnews.com)

පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයේ උණුසුම සමග අලුත් ආසන සම්මන්ත‍්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත්, මැතිවරණය කල් දමා තිබෙන උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් 03 ක් එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත් තුළ මෙම සම්මන්ත‍්‍රණ මාලාව පළමුව පැවැත් වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුමයි.

මෙම සම්මන්ත‍්‍රණ මාලාවෙහි මෙහෙයුම් සැලසුම පිළිබඳ පූර්ව සාකච්ඡුාවක් අද (21) නෙළුම් මාවත කාර්යාලයේදී පැවැත්වින.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම පළාත් නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මැති ඇමතිවරුන් සහ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ආණ්ඩුව විසින් දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙසින් කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනා ගැනීමේ මහජන අරගලය ලෙස මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආසන මට්ටමින් ක‍්‍රියාත්මක කරන බවයි.

මහජන අරගලයක් තුළින් පසුගිය පළාත් පාලන මැතිවරණය දිනාගත් පරිද්දෙන් ආණ්ඩුවට බලපෑම් කර පළාත් සභා මැතිවරණයද දිනාගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කලේය.

ආසන සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව, ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ මාලාවක්ද රට පුරා මෙහෙයවීමට සූදානම් බවත් ඔහු සදහන් කලේය.

මෙම ප‍්‍රයත්නයට අමතරව කල් දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට අවධාරණය කිරීම පිණිස පළාත් පාලන ආයතන තුළත්, පළාත් සභා තුළත් යෝජනා සම්මත කිරීමේ සූදානමක් පිළිබඳවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

යෝජිත ආසන සම්මන්ත‍්‍රණ මාලාව ජුලි 14, 15, 21, 22 සහ 28, 29 යන සති අන්තයන්හි පැවැත්වීමට නියමිතයි.

සම්මන්ත‍්‍රණ මාලාව පිළිබඳ පූර්ව සාකච්ඡුාවට මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රියංකර ජයරත්න, රංජිත් සොයිසා, එස්.සී. මුතුකුමාරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, ශේහාන් සේමසිංහ, අරුන්දික ප‍්‍රනාන්දු සහ එස්.එම්. රංජිත්, මහීපාල හේරත් යන හිටපු ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

*********************************************

පූචානම් කතා නිමයි.. නාවුක හමුදාව හම්බන්තොට වරායේ සිටිනවාට කෝටි 05 ක බද්දක් ගෙවන්නැයි චීනය දන්වයි..
(21.06.2018 – 10:40 +0530 – lankacnews.com)

මෑතකදී චීන සමාගමකට බදු දෙන ලද හම්බන්තොට වරාය පරිශ්‍රයේ නාවික හමුදාව වෙනුවෙන්ම ඉදි කරන ලද ජැටිය භාවිත කිරන්නේ නම් එම ඉඩකඩ සදහා මිලියන 52 ක බද්දක් ගෙවන්නැයි චීන සමාගම විසින් දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම දැනුම් දීම ලිඛිතවම නාවික හමුදාවට කර ඇති බවද මන්ත‍්‍රීවරයා කියයි.

මෙම වරාය චීනයට දීමෙන් ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නොවන්නේ යයි ආණ්ඩුව පැවසුවද දැන් නාවික හමුදාව වරාය ජැටිය භාවිත කිරීම සදහා චීනයට බදු ගෙවන්න වීමෙන් ජාතික ආරක්ෂාව අනතුරේ වැටී ඇතැයිද ඔහු සදහන් කරයි.

නාවුක හමුදාවට චීන සමාගම බදු ගැසීම ගැන ආණ්ඩුව ජාතියෙන්ම සමාව ගත යුතු යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *